ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින්, දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ ශ්‍රී ලංකා ශාඛාව (South Asian Women in Media – SAWM) විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතව තිබේ.
මෙය සිදු කෙරෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්රියාකාරීත්වයේ දින 16ක වාර්ෂික ජාත්‍යන්තර ව්‍යාපාරයට සමගාමිව යි.
නොවැම්බර් 25 වැනිදා ආරම්භ වන මෙම ජාත්‍යන්තර ව්‍යාපාරය දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දක්වා ක්‍රියාත්මක වන අතර, එම කාලසීමාව තුළ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ පණිවිඩ මාලාවක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ ශ්‍රී ලංකා ශාඛාව සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය පණිවිඩ සහ අදහස් සකස් කිරීම වෙනුවෙන් මාධ්‍යවේදීන්, නිර්මාණකරුවන්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්, විවිධ සංවිධාන නියෝජිතයන් සහ LGBTQI ප්‍රජාව නියෝජනය කරන පිරිස් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ සම-නිර්මාණ උපදේශන වැඩමුළුවක් ඊයේ (18) කොළඹ දී පැවැත්වුණි.
එහිදී විෂය ප්රාමාණිකයන් සහ සම්පත් දායකයන් විසින් සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයේ ව්‍යාප්තිය මෙන්ම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේ පවතින ගැටලු පිළිබඳව කරුණු ගණනාවක් ඉදිරිපත් කෙරුණි.
ඉන් අනතුරුව සහභාගී වූ පිරිස් එක්ව සකස් කළ පණිවිඩ මාලාව දින 16ක ව්‍යාපාරය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් SAWM ශ්‍රී ලංකා භාරකාරිනියක වන ෂාමිනි බොයිල් සඳහන් කළේ, සමාජයේ විවිධ පාර්ශ්වයන් එකට එක් කරගනිමින් මෙම ගැටලුව පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
දකුණු ආසියානු කලාපීය ජාලයක් ලෙස 2009 වසරේදී ස්ථාපිත වූ දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව, මාධ්‍ය ක්ෂේත්රයේ නියුතු කාන්තාවන්ගේ වෘත්තීය කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීම, ඔවුන්ගේ නියෝජනය ඉහළ නැංවීම සහ නායකත්ව තනතුරු කරා ළඟා වීමට අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් ද කටයුතු කරයි.






