බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය විකට නළුවෙකු, රූපවාහිනී ශිල්පියෙකු මෙන්ම ලොව පුරා පිටපත් මිලියන 60කට අධික සංඛ්‍යාවක් අලෙවි වූ සුප්‍රකට ළමා කතා රචකයෙකු වන ඩේවිඩ් වෝලියම්ස් හට එරෙහිව එල්ල වී ඇති බරපතළ ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් ලන්ඩන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
‘ද ගාඩියන්’ පුවත්පත සහ ‘අයි.ටී.වී. නිවුස්’ මාධ්‍ය ආයතන එක්ව සිදුකළ වසර තුනක ගවේෂණාත්මක වාර්තාවකින්, 55 හැවිරිදි වෝලියම්ස් සිය ප්‍රසිද්ධිය සහ බලය අයුතු ලෙස භාවිත කරමින් වයස අවුරුදු 15ක් තරම් ලාබාල දැරියන් සහ තරුණ කාන්තාවන් ලිංගික කටයුතු සඳහා පොළඹවා ගත් බවට කාන්තාවන් කිහිප දෙනෙකු චෝදනා කර ඇත.
මෙම මාධ්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ, වයස අවුරුදු 50 ගණන්වල පසුවන පුද්ගලයෙකු විසින් මීට පෙර සිදුකරන ලද බරපතළ ලිංගික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම තමන් වෙත ලැබී ඇති බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය නිවේදනය කළේය. මෙම පැමිණිලි මාධ්‍ය මගින් අනාවරණය කළ සිදුවීම්වලට පරිබාහිරව අලුතින් ලැබුණු ඒවා වන අතර, ඊට අමතරව ගාඩියන් සහ අයි.ටී.වී. මාධ්‍ය වාර්තාවල අඩංගු තොරතුරු තුළ අපරාධමය සාක්ෂි තිබේද යන්න පිළිබඳව ද රහස් පරීක්ෂකයින් විමර්ශනය කරමින් සිටී. කෙසේ වෙතත්, වෝලියම්ස් මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම තොරතුරු ප්‍රසිද්ධ වුවහොත් තමා සියදිවි නසා ගන්නා බව පවසමින් ඒවා පළ කිරීම වැළැක්වීමට ඔහු අධිකරණ වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළද, මාධ්‍ය නිදහසට එය බරපතළ බාධාවක් බව පවසමින් මහාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් වෙත පෞද්ගලික ලිපියක් යොමු කරමින් වෝලියම්ස් සඳහන් කර ඇත්තේ, තමා ඇතැම් අවස්ථාවලදී සබඳතා පැවැත්වූ කාන්තාවන් කෙරෙහි නොසැලකිලිමත් ලෙස හැසිරී ඇති බව පිළිගන්නා නමුත්, කිසිවිටෙකත් සිය බලය අයුතු ලෙස භාවිත කර නොමැති බවයි.
මෙම චෝදනා කරළියට පැමිණීමත් සමඟ බ්‍රිතාන්‍යයේ කලා හා ප්‍රකාශන ක්ෂේත්රය තුළ වෝලියම්ස් දැඩි ලෙස ප්‍රතික්ෂේප වීමට පටන් ගෙන තිබේ. බී.බී.සී. ආයතනය ඔහුගේ වැඩසටහන් සිය ඩිජිටල් වේදිකාවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඔහුගේ සාහිත්‍ය නියෝජිතායතනය ද ඔහු සමඟ පැවති සබඳතා අත්හිටුවා ඇත. මීට පෙර, 2025 දෙසැම්බර් මාසයේදී ඔහුගේ ප්‍රකාශන ආයතනය වූ ‘හාපර්කොලින්ස්’ (HarperCollins UK) ආයතනය ද, එහි කනිෂ්ඨ කාන්තා සේවිකාවන්ට හිරිහැර කළ බවට එල්ල වූ චෝදනා මත ඔහුව සේවයෙන් ඉවත් කර තිබුණි.
මෙම විමර්ශනය මෙහෙයවන රහස් පරීක්ෂක අධිකාරී මයික් කැග්නි ඉල්ලා සිටින්නේ, මෙය කවදා සිදු වූවක් වුවද, ලිංගික අපරාධයකට ගොදුරු වූ ඕනෑම අයෙකු බියකින් තොරව ඉදිරියට පැමිණ පොලිසියට ප්‍රකාශ ලබා දෙන ලෙසයි.
මූලාශ්‍ර
USNews




