මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගා වික්‍රමසිංහ ‘Women Icon Award 2026’ සම්මානයෙන් පිදුම් ලබයි

0
17

2026 ඔක්තෝබර් 27 වන දින මුම්බායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (World Trade Center Mumbai) පැවැති 04 වන වාර්ෂික කාන්තා සමුළුව සහ සම්මාන උළෙලේදී (4th Annual Women’s Summit & Awards) ඇය වෙත මෙම ගෞරව සම්මානය පිරිනමන ලදී.

“ගොඩනගන සහ නායකත්වය දෙන සුවිශේෂී කාන්තාවන් ඇගයීම” (Celebrating Remarkable Women Who Create, Lead & Inspire) යන තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබුණේ MVIRDC මුම්බායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ ‘Women Icons of India’ ආයතනය එක්ව යි.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය, ජාත්‍යන්තර සබඳතා, වෙළඳාම, රාජ්‍ය පරිපාලනය, ව්‍යවසායකත්වය සහ සමාජ සංවර්ධනය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශිෂ්ට සේවාවක් ඉටුකළ කාන්තා නායකයන් 40 දෙනෙකුට වැඩි පිරිසක් මෙහිදී සම්මානයට පාත්‍ර වී තිබේ. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, කලාපීය වෙළඳ සහකාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර සහයෝගිතාව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ඉටුකළ මෙහෙවර මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය.

මුම්බායි හි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ප්‍රභූවරුන් ඉදිරියේ මෙම සම්මානය පිළිගනිමින් අදහස් දැක්වූ කොන්සල් ජනරාල්වරිය ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය කොන්සල් ජනරාල් කාර්යාලයේ සමස්ත කණ්ඩායමේම සාමූහික කැපවීමේ ප්‍රතිඵලයක් බවයි. කොන්සල් ජනරාල් කාර්යාලයේ නායකත්ව කණ්ඩායම කාන්තාවන්ගෙන් සමන්විත වන බවත්, පිරිමි නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන එම සමස්ත කණ්ඩායමේ එකමුතුකම සහ කැපවීම මෙම සාර්ථකත්වයට හේතු වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

කාන්තාවන්ගේ ජයග්‍රහණ ඇගයීම, කාන්තා නායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ පරිපූර්ණ සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් MVIRDC මුම්බායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ ‘Women Icons of India’ විසින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here