ශ්‍රී ලංකාවේ අනාගතයට ග්‍රාමීය කාන්තාවන්ගේ දායකත්වය අතිශයින්ම අත්‍යවශ්‍යයි

0
11

ශ්‍රී ලංකාව පුරා පිහිටි ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් දිනපතාම ගොවිතැන් කටයුතුවල නිරත වෙමින්, කුඩා පරිමාණ ව්‍යාපාර මෙහෙයවමින්, පවුලේ සාමාජිකයන් පෝෂණය කරමින් සහ රැකබලා ගනිමින් සමාජයට විශාල මෙහෙවරක් ඉටු කරයි. ඔවුන්ගේ මෙම නොපසුබට උත්සාහය සහ කැපවීම පවුල් ඒකකයන් හි පැවැත්මට මෙන්ම රටේ සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරීමටද ප්‍රබල පිටිවහලක් වේ. එහෙත්, ඔවුන්ගෙන් ඉටුවන මෙම අමිල මෙහෙවර බොහෝ විට සමාජයේ ඇගයීමට ලක් නොවී අප්‍රකටව පවතී.

පසුගිය ඔක්තෝබර් 15 වන දිනට යෙදුණු ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තාවන්ගේ දිනය වනාහි මෙම කාන්තා දායකත්වය අගය කිරීමටත්, ග්‍රාමීය කාන්තාවන් සබලගැන්වීම උදෙසා වන කැපවීම නැවත අලුත් කිරීමටත් ලැබෙන වටිනා අවස්ථාවකි. ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් ආයෝජනය කිරීම ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් විය යුතුය. එය ඔවුන් හුදෙක් අසරණ හෝ අනුකම්පාව ලැබිය යුතු පිරිසක් නිසා නොව, ඔවුන් රටේ අනාගතය තීරණය කරන නායිකාවන්, සක්‍රීය ආර්ථික නියෝජිතයන් සහ අයිතිවාසිකම් සහිත පුරවැසියන් වන බැවිනි.

ග්‍රාමීය කාන්තාවන්ට ආර්ථික, සමාජීය සහ ප්‍රජා මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා පූර්ණ ලෙස දායක වීමට අවස්ථාව සැලසීම “THRIVE – Together for Her: Resilience-building, Inclusivity and Voices for Equality” ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

වසර පහක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඇතිව, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women), ක්‍රිසලිස් (Chrysalis) ආයතනය, නවෝත්පාදන සමාජ සංවර්ධන පදනම (FISD) සහ ශ්‍රී ලංකා රජය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. බදුල්ල, මොණරාගල, නුවරඑළිය, මන්නාරම, කිලිනොච්චිය සහ කොළඹ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙමගින්, කාන්තාවන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම, ව්‍යාපාර වර්ධනය කිරීම සහ තීරණ ගැනීමේ බලය වර්ධනය කිරීමට කටයුතු සම්පාදනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක හයක් පුරා පුද්ගලයන් 1,174 දෙනෙකු ඇසුරින් සිදුකළ අධ්‍යයනයකදී ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිතවල පවතින සැබෑ තත්ත්වය අනාවරණය විය. කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායිකාවක් තම අත්දැකීම විස්තර කළේ මෙසේය. “ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේදී ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීමට මට සිදුවූයේ මගේ රන් භාණ්ඩ උගස් කිරීමටයි.” ඇගේ මෙම කතාවෙන් පැහැදිලි වන්නේ ආර්ථික පීඩනය, සමාජීය බලපෑම් සහ කාලගුණික විපර්යාස හමුවේ වුවද ග්‍රාමීය කාන්තාවන් තුළ පවතින අප්‍රතිහත ධෛර්යය සහ ව්‍යවසායකත්ව හැකියාවයි.

පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාවන් උපයන ආදායමෙන් 90% ක්ම නැවතත් තමන්ගේ පවුලේ සහ ප්‍රජාවගේ සුබසාධනය උදෙසා යොදවන බවයි. එමෙන්ම, කාන්තාවන් මෙහෙයවන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මගින් සාමාන්‍යයෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකුට පමණ රැකියා අවස්ථා හිමි වන අතර, ඉන් බහුතරයක්ම අනෙකුත් කාන්තාවන් වේ. කිලිනොච්චියේ තවත් කාන්තාවක් සඳහන් කළේ අනාගතයේදී කාන්තාවන්ට මෙන්ම ආබාධිත තැනැත්තන්ටද වැඩි රැකියා ප්‍රමාණයක් ලබාදීම ඇගේ ප්‍රධාන බලාපොරොත්තුව බවයි. කාන්තාවන් සවිබලගැන්වීම තුළින් පවුලක ආර්ථිකය ස්ථාවර වන අතර, දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය මට්ටමද ඉහළ යයි.

කාලගුණික විපර්යාස සහ ස්වාභාවික ආපදා හමුවේ වැඩිපුරම පීඩාවට පත්වන්නේද කාන්තාවන්ය. ‘දිට්වා’ සුළි සුළඟ හේතුවෙන් වගාවන් සහ ජීවනෝපායන් විනාශ වූ ආකාරය වැලිමඩ ප්‍රදේශයේ ගොවි කාන්තාවක් විස්තර කළාය. මීට අමතරව, නොගෙවන ගෘහස්ථ ශ්‍රමය සහ පවුලේ ‍කටයුතුවල වැඩි බරක් කාන්තාවන් මත පැටවීම නිසා, ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හෝ ප්‍රජා නායකත්වයට පැමිණීමට ඔවුන්ට ඇති කාලය සීමා වේ.

එමෙන්ම, ව්‍යාපාර ආරම්භ කරන කාන්තාවන්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා තමන්ගේ පෞද්ගලික ඉතුරුම් මත පදනම් වේ. බැංකු ගිණුම් පැවතියද, ඇපකරුවන් නොමැති වීම, ඉඩම් අයිතිය පිළිබඳ නීතිමය ලියකියවිලි නොමැති වීම වැනි කරුණු නිසා බැංකු ණය ලබා ගැනීමට ඔවුන්ට ඇති ඉඩකඩ සීමිතය. මේවා හුදෙක් මූල්‍යමය බාධාවන් පමණක් නොව, සමාජ සම්මතයන් සහ සංස්කෘතික රාමුව තුළින් ගොඩනැඟී ඇති ගැටලු වේ.

THRIVE ව්‍යාපෘතිය මගින් කාන්තාවන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව, මූල්‍ය පහසුකම්, වෙළඳපොළ සබඳතා සහ සූර්ය බලශක්ති උපකරණ වැනි පරිසර හිතකාමී මෙවලම් ලබාදීමට කටයුතු කරයි. ඊට අමතරව, කාන්තාවන් මුහුණ දෙන අසමානතාවන් දුරලීම සඳහා පිරිමින්, පවුල්, ප්‍රජාවන් සහ රාජ්‍ය ආයතන සක්‍රීයව දායක කරගනිමින් සමාජීය මතවාදයන් වෙනස් කිරීමටද පියවර ගනිමින් සිටී.

ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් කරනු ලබන ආයෝජනය යනු හුදෙක් යහපත් ක්‍රියාවක් පමණක් නොව, මුළු රටේම ඉදිරිගමන වෙනුවෙන් කරනු ලබන ප්‍රඥාගෝචර ආයෝජනයකි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සබලගැන්වෙන විට, සමස්ත ජාතියම ප්‍රගතිය වෙත ගමන් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here