පාකිස්තානයේ ෆයිසලාබාද් හි ඉක්බාල් ක්රීඩාංගණයේදී පැවැත්වෙන යොවුන් කාන්තා තුන්කොන් T20 ක්රීඩා තරගාවලියේ පසුගිය ඔක්තෝබර් 12 පැවැති අටවන තරගයෙන් පාකිස්තාන යොවුන් කාන්තා කණ්ඩායම පරදවා කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් විය. මෙම තරග පරාජයත් සමඟ පාකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම තම පස්වන පරාජය අත්කර ගත් අතර, ඔක්තෝබර් 3 වන දින ශ්රී ලංකාවට එරෙහිව ලැබූ එකම ජයග්රහණයෙන් ඔවුන් මෙවර තරගාවලි වටය අවසන් කරන ලදී.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම් නායිකා චමුදි ප්රබෝධාගේ පිටිය රැකීමට තීරණය කිරීමත් සමඟ පළමුව පන්දුවට පහදුන් පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණි. එහිදී පාකිස්තාන ඉනිම වෙනුවෙන් පන්දු 18කදී නොදැවී ලකුණු 24ක් රැස්කිරීමට ෂහාර් බානෝ සමත් වූ අතර, ඇයගේ ඉනිමට දැවැන්ත හයේ පහර දෙකක් ඇතුළත් විය. ශ්රී ලංකා පන්දු යැවීම අංශය ඔස්සේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ලිමංසා තිලකරත්න ලකුණු 14කට කඩුලු 3ක් බිඳහෙළමින් පාකිස්තාන පිතිකාරිනියන් අඩපණ කරන්නට සමත් විය. ජයග්රහණය සඳහා ලකුණු 106ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්රීඩිකාවෝ පන්දුවාර 13.3ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 106ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්හ. ශ්රී ලංකා ජයග්රහණයේ පෙරමුණ ගත් සංජනා කාවින්දි පන්දු 28කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 46ක් රැස්කළ අතර, ඇයට ශක්තිමත් සහයක් ලබා දුන් නෙත්මි උපේක්ෂා සහ ලිමංසා තිලකරත්න පිළිවෙළින් ලකුණු 16 බැගින් ලබා ගන්නා ලදී.
තරගයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලිමංසා තිලකරත්න නම් කෙරිණි. මේ අතර, මෙම තරගාවලියේ අවසාන මූලික වටයේ තරගය අද (ඔක්තෝබර් 14) එම ක්රීඩාංගණයේදීම පැවැත්වෙන අතර, එළැඹෙන සිකුරාදා (ඔක්තෝබර් 16) පැවැත්වෙන තරගාවලියේ අවසාන මහා තරගය සඳහා ශ්රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා ඇත.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය : pcb.com.pk




