උගත්, දක්ෂ තරුණියන්ට තවමත් රැකියාව කියන්නේ අභියෝගයක්ද?

    0
    25

    අද වන විට අපේ රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයක් ලැබූ දක්ෂ තරුණියන් රැකියාවක් සොයා ගැනීමේදී මුහුණ දෙන අභියෝගය සුළුපටු නැත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෑතකදී නිකුත් කරන ලද 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල් – ජූනි) ශ්‍රමබල සමීක්ෂණ වාර්තාව මගින් මේ බව නැවතත් තහවුරු කර තිබේ. එම වාර්තාවට අනුව රටේ සමස්ත රැකියා විරහිතභාවය සියයට 4 ක් ලෙස සටහන් වුවද, තරුණ ප්‍රජාව සහ කාන්තාවන් අතර ඇති රැකියා විරහිතභාවයේ සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී එහි ඇති බරපතලකම පැහැදිලිවම පෙනී යයි.

    වයස අවුරුදු 15 ත් 24 ත් අතර පසුවන තරුණ ප්‍රජාවගේ සමස්ත රැකියා විරහිතභාවය සියයට 17.8 ක් වන අතර, එහිදී තරුණියන්ගේ රැකියා විරහිතභාවය සියයට 22.4 ක් දක්වා ඉහළ අගයක් ගනී. තරුණයන් අතර මෙම අගය සියයට 15.5 ක් ලෙස සටහන් වන අතර, වයස අවුරුදු 25 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේදීද කාන්තාවන්ගේ රැකියා විරහිතභාවය සියයට 19.7 ක් දක්වා ඉහළ යන්නේ පිරිමින්ගේ අගය සියයට 7.7 ක සීමා වෙද්දීය. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රම බලකායට අලුතින් එකතු වන අපේ තරුණියන්ට රැකියා අවස්ථා ලබා ගැනීමේදී පිරිමි පාර්ශ්වයට වඩා විශාල අභියෝගයකට සහ අසමානතාවයකට මුහුණ දීමට සිදුව ඇති බවයි. මෙම තත්ත්වයේ ඇති කනගාටුදායකම කාරණය නම් අධ්‍යාපන මට්ටම ඉහළ යත්ම කාන්තාවන් මුහුණ දෙන රැකියා විරහිතභාවයද ඉහළ යාමයි. අ.පො.ස. උසස් පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපනික සුදුසුකම් සහිත සමස්ත පිරිසගේ රැකියා විරහිතභාවය සියයට 6.7 ක් වන අතර, එතැනදීද කාන්තාවන් අතර එය සියයට 9.6 ක් වැනි ඉහළ අගයක් ගන්නා අතර පිරිමින් අතර එය සියයට 3.9 ක් තරම් අඩු අගයක පවතී. අධ්‍යාපනයෙන් ඉහළටම යන අපේ දියණියන්ට සුදුසු රැකියා වෙළඳපොළ තුළ නොමැති වීම හෝ ඒ සඳහා ඇති සමාජීය හා ආර්ථික බාධාවන් කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුව ඇත.

    එමෙන්ම අවුරුදු 15 ට වැඩි ජනගහනයෙන් ශ්‍රම බලකායට දායක වන සමස්ත ප්‍රතිශතය සියයට 50 ක් වන අතර, එහිදී පිරිමි දායකත්වය සියයට 70.3 ක් වන විට කාන්තා දායකත්වය සටහන් වන්නේ සියයට 32.7 ක් ලෙස පමණි. එනම් ලංකාවේ කාන්තාවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් තවමත් විධිමත් ලෙසින් ශ්‍රම බලකායට එකතු වී නොමැති බව පැහැදිලිය. උගත්, දක්ෂ හා උද්‍යෝගිමත් තරුණියන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනයට යොදවා ගැනීමට නම් නම්‍යශීලී රැකියා අවස්ථා, නිවසේ සිට වැඩ කිරීමේ පහසුකම්, සුදුසු ළමා සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම කාන්තා ව්‍යවසායකත්වයට ඇති මංපෙත් පුළුල් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන්නේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here