හිස්හොරි නාශක ෂැම්පු භාවිතයේදී මේ ගැනත් හිතන්න

0
13

නීරෝගි, දිදුලන කෙස් කලඹක රහස රැඳී ඇත්තේ සෞඛ්‍ය සම්පන්න හිස්කබලක් මතයි. එහෙත්, හිස්හොරි (Dandruff) ගැටලුව බොහෝ දෙනකුට අද වන විට දෛනිකව මුහුණ දීමට සිදුව ඇති පොදු අභියෝගයකි. ෂැම්පු භාවිතයේදී අප අතින් සිදුවන නොදැනුවත් වැරදි, ගර්භිණී සමයේදී සහ ළමුන් සඳහා ඒවා ගැළපෙන අයුරින් භාවිත කරන ආකාරය මෙන්ම, වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු නිවැරදි අවස්ථා පිළිබඳව මනා දැනුවත් භාවයක් තිබීම වැදගත්.

හිස්හොරි යනු හිස්කබලේ සම වියළීම හෝ තෙල් අධික වීම නිසා සුදු පැහැති ලෙස සම ගැලවී යෑමයි.

ආතතිය, හෝමෝන වෙනස්වීම්, හිසකෙස් නිසි පරිදි නොසේදීම සහ නුසුදුසු ෂැම්පු භාවිතය නිසාද මෙම තත්ත්වය වැඩි විය හැකියි. නිසි සත්කාර මඟින් මෙය පහසුවෙන් පාලනය කළ හැකිය. ඇතැමෙක් මෙය රූපලාවණ්‍ය සම්බන්ධ ගැටලුවක් කියා හැඳින්වුවත් සැබැවින්ම මෙය රෝගී තත්ත්වයකි.

හිස්හොරි වැඩි වීමෙන් හිසෙහි කැසීමක් ඇතිවේ. මෙලෙස හිස කැසීමෙන් සම තාවකාලිකව ඉවත් වුවත්, අධික ලෙස කැසීමෙන් කුඩා තුවාල, ලේ ගැලීම, කබොලු, බැක්ටීරියා ආසාදන සහ දැවිල්ල වැඩි වීම සිදුවිය හැකියි. හිස කැසීම, සමට හානි වීම සහ තවත් කැසීම යන චක්‍රයක් ඇති විය හැකියි.

හිස්හොරි සහ වියළි හිස්කබල යනු එකම දෙයක් නොවේ. වියළි හිස්කබල සහ හිස්හොරි එක සමාන ලෙස පෙනිය හැකි නමුත් ඒවා එකම තත්ත්වයන් නොවේ. වියළි හිස්කබලේදී සාමාන්‍යයෙන් වියළි, කොරපොතු ස්වභාවයක් ඇති විය හැකියි. හිස්හොරිවලදී තෙල් සහිත හිස්කබල, විශාල කොරපොතු, කැසීම සහ දැවිල්ල වැනි ලක්ෂණ ඇති විය හැකියි. ඇත්ත වශයෙන්ම හිස්කබල වියළි පුද්ගලයකුට හිස්හොරි සඳහා ප්‍රතිකාර අධික ලෙස භාවිත කිරීමෙන් දැවිල්ල තවත් වැඩි විය හැකිය.

නිවැරදිව භාවිත කළ විට බොහෝ හිස්හොරි නාශක ෂැම්පු (Anti-Dandruff Shampoo) සාමාන්‍යයෙන් ආරක්ෂිත වේ. නමුත් සමහර නිෂ්පාදන නිසා හිසකෙස් වියළි, රළු, පහසුවෙන් කැඩෙන සහ සකස් කිරීමට අපහසු විය හැකිය. විශේෂයෙන් අධික වාර ගණනකින් භාවිත කිරීමේදී මෙවැනි ගැටලු ඇති විය හැකිය.

සමහර පුද්ගලයන්ට හිස්කබල වියළීම, කැසීම, දැවිල්ල, රතු වීම, සමේ සංවේදිතාව සහ හිසකෙස්වල ස්වභාවය වෙනස් වීම වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. දැඩි දැවිල්ල, ඉදිමීම, බිබිළි, විශාල ප්‍රදේශයක රතු වීම හෝ කුෂ්ඨ ස්වභාවයක් ඇති වුවහොත් එම නිෂ්පාදනය නතර කර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

එය දරුවාගේ වයස සහ ෂැම්පු එකේ ඇති සක්‍රිය අමුද්‍රව්‍ය මත රඳා පවතී. සියලුම ඖෂධීය ෂැම්පු කුඩා දරුවන් සඳහා සුදුසු නොවේ. විශේෂයෙන් කුඩා දරුවන්ගේ හිස්කබලේ දිගටම කොරපොතු ඇතිවන්නේ නම් වෛද්‍ය පරීක්ෂාවක් වැදගත්ය. Tinea capitis හෙවත් හිස්කබලේ දිලීර ආසාදනයක්ද හිස්හොරි මෙන් පෙනිය හැකි අතර, එයට ෂැම්පු පමණක් ප්‍රමාණවත් නොවිය හැකියි.

සෑම ඖෂධීය ෂැම්පු (medicated shampoo) එකක්ම ගර්භිණී සමයේදී එකසේ සුදුසු යැයි උපකල්පනය නොකළ යුතුය. ආරක්ෂාව, සක්‍රිය ද්‍රව්‍ය, එහි සාන්ද්‍රණය, භාවිත කරන වාර ගණන සහ භාවිත කරන ප්‍රදේශය වැනි කරුණු මත රඳා පවතී. ගර්භිණී කාන්තාවක් medicated shampoo එකක් නිතර භාවිත කිරීමට අවශ්‍ය නම්, නිෂ්පාදනයේ උපදෙස් පරීක්ෂා කර වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම සුදුසුය.

eczema සහ psoriasis යනු සමේ ඇතිවන රෝගී තත්ත්වයන්ය. නමුත් ඒ අවස්ථාවන්වලදී ද ඇතැම් විට හිස්හොරි ප්‍රතිකාර භාවිත කරනු ලබයි. එමෙන්ම Seborrhoeic dermatitis සඳහා ද ඇතැම් හිස්හොරි නාශක ෂැම්පු ප්‍රයෝජනවත් විය හැකිය. නමුත් Psoriasis සහ Eczema සඳහා වෙනත් ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය. හිස්කබලේ ඝන බිබිළි, දැඩි රතු වීම, ලේ ගැලීම හෝ දිගටම පවතින දැවිල්ල තිබේ නම් ෂැම්පු පමණක් මාරු කිරීම ප්‍රමාණවත් නොවිය හැකියි.

නිවැරදි ප්‍රතිකාර භාවිත කළත් හිස්හොරි දිගටම පැවතීම, දැඩි කැසීම, හිස්කබල දැඩි ලෙස රතු වීම, වේදනාව, ඝන කොරපොතු හෝ බිබිළි, සැරව හෝ කබොලු, සැලකිය යුතු ලෙස හිසකෙස් ගැලවීම, තට්ටු ප්‍රදේශ ඇතිවීම, මුහුණ, කන් වැනි ප්‍රදේශවලට පැතිරීම, ආසාදනයක ලක්ෂණ සහ රෝගය කුමක්දැයි සැක සහිත වීම වැනි තත්ත්වයන් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.

ෂැම්පු භාවිත කිරීමේදී වැඩිපුර ප්‍රමාණයක් භාවිත කළ පමණින් වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාමාන්‍ය ෂැම්පු හිසකෙස්වලට පමණක් යෙදීම සිදු කරන අතර, හිස්හොරි ඇති ප්‍රධාන ප්‍රදේශය හිස්කබල බැවින් හිස්හොරි නාශක ෂැම්පු හිස්කබලට යෙදීම වැදගත්ය. සමහර medicated shampoo වලට ක්‍රියා කිරීමට නිශ්චිත කාලයක් අවශ්‍ය වුවද වහාම සෝදා දැමීම සිදු කරයි. අධික ලෙස භාවිත කිරීමෙන් හිස්කබලේ දැවිල්ල සහ වියළි බව ඇති විය හැකිය. එක් වරක් හෝ දෙවරක් භාවිත කර නතර කිරීම නොකළ යුතු අතර, බොහෝ ප්‍රතිකාර සඳහා නිසි කාලයක් පුරා අඛණ්ඩව භාවිත කිරීම අවශ්‍ය වේ. හිස තදින් කැසීමෙන් හිස්කබලට හානි විය හැකිය. ෂැම්පු නිතර මාරු කිරීමෙන් ප්‍රතිකාරයේ ප්‍රතිඵල තක්සේරු කිරීම අපහසු වේ.

හිස්හොරි නාශක ෂැම්පු යනු හුදෙක් රූපලාවණ්‍ය නිෂ්පාදනයක් පමණක් නොව, හිස්කබලේ තත්ත්වයන්් පාලනය කිරීමට භාවිත කරන ප්‍රතිකාරයක්ද වේ. හිස්හොරි ඇතිවීමට හේතුව අනුව නිෂ්පාදනයේ සක්‍රිය ද්‍රව්‍ය වෙනස් වේ. උදාහරණයක් ලෙස, Ketoconazole සහ Ciclopirox වැනි antifungal ඖෂධ Malassezia සම්බන්ධ තත්ත්වයන් සඳහා ප්‍රයෝජනවත් විය හැකි අතර, සැලිසිලික් අම්ලය වැනි ද්‍රව්‍ය ඝන ලෙස එකතු වී ඇති කොරපොතු සහිත සම ලිහිල් කර ඉවත් කිරීමට උපකාරි වේ. එම නිසා ෂැම්පු එකක් තෝරාගැනීමේදී එහි මිල, වෙ‍ෙළඳ නාමය හෝ දැන්වීම පමණක් නොසලකා, සක්‍රිය ද්‍රව්‍ය, නිවැරදි භාවිතය, භාවිත කරන වාර ගණන, ඔබගේ හිස්කබලේ තත්ත්වය සහ වෛද්‍ය උපදෙස් අවශ්‍යද යන්න යන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here