අද ජංගම දුරකතනය අපේ අතේ ඇති සන්නිවේදන උපකරණයක් පමණක් නොවේ. එය ලෝකය සමඟ අපව සම්බන්ධ කරන කුඩා කවුළුවකි. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රියේ නින්දට යන තුරුම අපි එම කවුළුව හරහා මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධ වෙමු. ඉගෙන ගනිමු. තොරතුරු සොයමු. රැකියා කටයුතු කරමු. විනෝද වෙමු.
එහෙත් මේ කුඩා තිරය සෑම විටම සතුට ගෙන එන්නේ නැත.
විශේෂයෙන් ඇතැම් කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එම තිරය හරහාම බිය උපදවන පණිවිඩ, අනවශ්‍ය ඇමතුම්, අපහාස, තර්ජන සහ ව්‍යාජ ගිණුම් හරහා සිදු කරන හිරිහැරවලට මුහුණදීමට සිදුවේ.
පෞද්ගලික ඡායාරූපයක් හෝ වීඩියෝවක් අවසරයකින් තොරව බෙදාහරින බවට කෙනකු තර්ජනය කරන විට එය “විහිළුවක්” ලෙස සලකා නිහඬව සිටිය හැකිද? එවැනි ක්‍රියා පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට හානි කරන අතර බිය, ලැජ්ජාව සහ මානසික පීඩනය ඇති කළ හැකිය. මෙවැනි ක්‍රියා අන්තර්ජාල හිරිහැර හෙවත් online Harassment ලෙස හඳුන්වයි.
හිරිහැරයක් කියන්නේ කුමක්ද?
කෙනකුට නැවත නැවත අනවශ්‍ය පණිවිඩ යැවීම, අසභ්‍ය හෝ ලිංගික අදහස් පළ කිරීම, බිය ගැන්වීම, අනවශ්‍ය ලෙස සම්බන්ධ වීමට උත්සාහ කිරීම වැනි ක්‍රියා අන්තර්ජාල හිරිහැරයේ ආකාර විය හැකිය.
එසේම වෙනත් පුද්ගලයකුගේ නමින් ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර අපහාස කිරීම, පෞද්ගලික තොරතුරු අවසරයකින් තොරව බෙදාගැනීම, ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ කෙනකු නිරන්තරයෙන් පසුපස යමින් නිරීක්ෂණය කිරීම වැනි ක්‍රියාද බරපතළ ගැටලු ඇති කළ හැකිය.
විශේෂයෙන් කෙනකුගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඔහුගේ හෝ ඇයගේ අවසරයකින් තොරව බෙදාහැරීම පෞද්ගලිකත්වයට එල්ල වන බරපතළ අපරාධයකි.
මතක තබාගන්න.
කෙනකු ඔබට පෞද්ගලිකව ඡායාරූපයක් එවූ පමණින්, එය වෙනත් අය සමඟ බෙදාගැනීමට ඔබට අයිතියක් ලැබෙන්නේ නැත.
මේක ඔබේ වරදක් නොවේ.
අන්තර්ජාල හිරිහැරයකට ලක් වූ විට බොහෝ දෙනෙක් තමන්ටම දොස් පවරා ගනිති.
“මම ඒ පුද්ගලයා සමඟ කතා නොකළ යුතුයි.”
“මම ඒ ඡායාරූපය නොයැවිය යුතුයි.”
“මම මේ ගැන කිසිවකුට නොකියා ඉන්න ඕනේ.”
යන සිතිවිලි ඇති විය හැකිය.
එහෙත් හිරිහැරයට ලක්වීම වින්දිතයාගේ වරදක් නොවේ.
කෙනකු විශ්වාස කිරීම වරදක් නොවේ. සමාජ මාධ්‍ය භාවිත කිරීම වරදක් නොවේ. පෞද්ගලිකව ඡායාරූපයක් යැවීම, එය ලෝකයටම පෙන්වීමට අවසරයක් ලබා දීමක් නොවේ.
වෙනත් පුද්ගලයකුගේ විශ්වාසය අයුතු ලෙස භාවිත කිරීමයි ගැටලුව.
හිරිහැරයක් සිදු වුව හොත් කළ යුත්තේ කුමක්ද?
පළමුව කලබලයෙන් පිළිතුරු දීමෙන් වළකින්න. හිරිහැර කරන පුද්ගලයා සමඟ තනිව හමුවීමට නොයන්න.
ලැබුණු පණිවිඩ, තිර රූප, ගිණුමේ නම, සබැඳිය, දිනය සහ වේලාව වැනි තොරතුරු සුරක්ෂිතව තබාගන්න. පණිවිඩ මකා දැමීමට පෙර අවශ්‍ය සාක්ෂි සුරැකීම වැදගත්ය. ඉන්පසු අදාළ ගිණුම අවහිර කිරීමටත්, එම සමාජ මාධ්‍ය වේදිකාවට සිදුවීම වාර්තා කිරීමටත් කටයුතු කළ හැකිය.
ඔබගේ මුරපද වෙනස් කරන්න
මෙය ද වැදගත් ආරක්ෂක පියවරකි. නිවෙසේ ලිපිනය, පාසල හෝ රැකියා ස්ථානය, දුරකතන අංකය සහ දෛනික ගමන් මාර්ගය වැනි සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධ නොකිරීමද ආරක්ෂාවට උපකාරි වේ. තිරය පිටුපස ඇති බලපෑම
අන්තර්ජාල හිරිහැරයක බලපෑම පණිවිඩයක් ලැබුණු මොහොතෙන් අවසන් වන්නේ නැත.
එය පුද්ගලයකුගේ දෛනික ජීවිතයටද බලපෑම් කළ හැකිය. නිතර බියෙන් සිටීම, මිතුරන් හමුවීමට අකමැති වීම, නින්දට බාධා ඇතිවීම, සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ බියක් ඇතිවීම සහ තමන් පිළිබඳ විශ්වාසය අඩුවීම වැනි අත්දැකීම් ඇති විය හැකිය.
මෙවැනි තත්ත්වයක් දැනෙන විට තනිවම එය දරාගෙන සිටීම අවශ්‍ය නැත. විශ්වාසවන්ත වැඩිහිටියකු, ගුරුවරයකු, උපදේශකයකු හෝ සුදුසු වෘත්තීය සහයක් ලබා දිය හැකි පුද්ගලයකු සමඟ කතා කිරීම වැදගත්ය.
උපකාර ඉල්ලීම ලැජ්ජාවක් නොවේ.
නීතියෙන් සහය ලබා ගත හැකියි.
ශ්‍රී ලංකාවේ Computer Crime Act, No. 24 of 2007 මඟින් අනවසරයෙන් පරිගණකයකට හෝ පරිගණකයක පවතින තොරතුරුවලට ප්‍රවේශ වීම ඇතුළත් ඇතැම් computer-related offences සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සලසා ඇත. කෙසේ වෙතත්, අන්තර්ජාල හිරිහැරයක ස්වභාවය අනුව අදාළ වන නීති සහ නීතිමය ක්‍රියාමාර්ග වෙනස් විය හැකිය.
එබැවින් “මේක අන්තර්ජාලයේ සිදුවන දෙයක් විතරයි. ඒකට නීතියෙන් කිසිවක් කරන්න බැහැ” යනුවෙන් සිතීම වැරදිය.ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ Public Complaint Desk වෙත, විශේෂයෙන් cybercrime සම්බන්ධ පැමිණිලි සඳහා 109 හෝ 011-2444444 අංක ඔස්සේ සම්බන්ධ විය හැකි අතර [email protected] වෙතද පැමිණිලි යොමු කළ හැකිය.
සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීම් සඳහා ශ්‍රී ලංකා CERT හි 101 හොට්ලයින් සේවාවද භාවිත කළ හැකිය. Social-media incidents සඳහා CERT විසින් ඔවුන්ගේ නිල incident-reporting portal එක භාවිත කරන ලෙස දැනුම් දී තිබේ.
වයස අවුරුදු 18ට අඩු දරුවකු සම්බන්ධ සිදු වීමක් නම්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක සේවය වෙත දැනුම් දිය හැකිය. එය දවසේ ඕනෑම වේලාවක් නොමිලේ ලබා ගත හැකි සේවාවක් වන අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සහය ලබා දෙයි.
දියණියගේ අත අල්ලාගෙන ඇය සමඟ ඉදිරියට යන්න
ගැහැනු ළමයකු හෝ තරුණියක මෙවැනි ගැටලුවක් පිළිබඳව පවුලේ අය සමඟ කතා කරන විට ඇයට දඬුවම් කිරීම හෝ දුරකතනය වහාම ඉවත් කිරීම පළමු විසඳුම නොවිය යුතුය.
“ඇයි එයා සමඟ කතා කළේ?”
“ඇයි ඡායාරූපය යැව්වේ?”
වැනි ප්‍රශ්න ඇයව තවත් නිහඬ කළ හැකිය.
ඒ වෙනුවට ඇයගේ කතාව සන්සුන්ව අසන්න.
“ඔබේ වරදක් නොවේ.”
“ඔබ තනිවී නැහැ.”
“අපි එකට මේක විසඳමු.”
වැනි වචන ඇයට විශාල ශක්තියක් ලබා දිය හැකිය.
දරුවන්ට සහ තරුණියන්ට අන්තර්ජාලය සම්පූර්ණයෙන් තහනම් කරනවාට වඩා, එය ආරක්ෂිතව භාවිත කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමත්, ගැටලුවක් ඇති වූ විට බිය නොවී කතා කළ හැකි පරිසරයක් නිෙවස තුළ නිර්මාණය කිරීමත් වඩා වැදගත්ය.
මිතුරියකට මෙවැනි දෙයක් සිදු වුව හොත් ඇයට දොස් නොපවරන්න. හිරිහැරකාරි ඡායාරූප හෝ පණිවිඩ නැවත බෙදාහරින්න එපා. ඇය සමඟ සිටින්න. සාක්ෂි සුරැකීමටත්, සුදුසු සහයක් ලබාගැනීමටත් ඇයට උපකාර කරන්න.
අපි නිහඬව නොසිටිමු
අන්තර්ජාලය අපේ ජීවිතයේ කොටසකි. එහි ආරක්ෂාවද අපේ අයිතියකි.
අපි පළ කරන සෑම වචනයක්ම, ඡායාරූපයක්ම සහ වීඩියෝවක්ම තවත් කෙනකුගේ ජීවිතයට බලපෑමක් කළ හැකිය. එබැවින් යමක් බෙදාගැනීමට පෙර දෙවරක් සිතමු. තොරතුරක සත්‍යතාව තහවුරු නොකර එය පතුරුවා නොහරිමු. කෙනකුට හිරිහැරයක් වන අන්තර්ගතයක් දුටුවහොත් එය නැවත බෙදාහැරීම වෙනුවට වාර්තා කර අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරමු.
කාන්තාවනි, ගැහැනු ළමයිනි, තිරය පිටුපස සැඟවෙන හිරිහැර නිහඬව විඳින්න එපා.
මවුවරුනි, පියවරුනි ඔබේ දියණියන්ගේ හඬ නිහඬ නොකර, එම හඬට ශක්තියක් වන්න.
අන්තර්ජාලය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම තාක්ෂණයේ පමණක් වගකීමක් නොවේ. එය අප සියලුදෙනාගේ වගකීමකි.
සටහන
සඳරු නිවර්තන පෙරේරා
උපුටාගැනීම
Tharunie.lk




