“අම්මා” කියන අකුරු තුනක වචනයටම මහා බරක්, සෙනෙහසක් වගේම ලෝකයක් දරා සිටිය හැකි තරම් දැවැන්ත ශක්තියක් තියෙනවා. ජීවිතයේ ඕනෑම දුෂ්කරම මොහොතක, තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ගේ සිහිනයන් අත්නොහැර, ඒ සියල්ල කරට ගෙන ඉදිරියට යන අම්මලා අප අතරත් අනන්තවත් ඉන්නවා. මේ තමයි මේ දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් විසින් බෙදා ගනිමින් තියෙන මේ ඡායාරූපයට හිමිකම් කියන ඉරාන ජාතික ෆාතිමා රෙසාපූර්ගේ (Fatemeh Rezapour) කතාව.
2017 වසරේදී අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගිය ඡායාරූපයකින් දැක්වුණේ ඉරානයේ ඉතාමත් දැඩි සහ අභියෝගාත්මක ජාතික විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට (Konkour) පෙනී සිටින තරුණ මවක්. ඇය නමින් ෆාතිමා රෙසාපූර්. ඇය මේ තරග විභාගය ලියන අතරතුර, ඇයගේ කුඩා බිළිඳා ඇය අසලම සුවසේ නිදා සිටින අයුරු එම ඡායාරූපයේ අපූරුවට සටහන් වී තිබුණා.
ඒ ඡායාරූපයේ තියෙන අපූර්වත්වය නිසාම ඉරාන සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති අංශ අතර ඉතා ඉක්මනින් ප්‍රචාරය වූවා, අනෙක් අතින් එය මාතෘත්වය නම් උත්තරීතර තත්ත්වයත් සමඟ උසස් අධ්‍යාපනය අත්හැරීම ගැහැණියක විසින් කළ යුත්තක්ද යන සමාජමය පැණයට කදිම පිළිතුරක් ලබාදීමක්ද වනවා. මේ ඡායාරූපය දැන් නැවතත් සමාජ මාධ්‍යයේ සංසරණය වෙන්න පටන් අරගෙන තියෙනවා.
ඇත්තෙන්ම සමාජයේ ඇතැමෙකු ගැහැණියක අම්මා කෙනෙක් වීම තුළ දරුවා වෙනුවෙන් තම මුළු ජීවිතයම, තමන්ගේ පුද්ගලික අරමුණු සහ සිහින පූජා කරන චරිතයක් විය යුතුය කියන වැරදි මතයේ එල්බගෙන සිටිනවා. නමුත් ෆාතිමා වැනි අම්මලා අපට පෙන්වා දෙන්නේ මවක් වීම යනු තමන්ගේ අරමුණු අතහැර දැමීමක් නොව, ඒ අරමුණු කරා ළඟා වීමට ලැබෙන තවත් ප්‍රබල ශක්තියක් බව.
තම බිළිඳාගේ රැකවරණය මෙන්ම රටේ තිබෙන අතිශය දුෂ්කරම විභාගයක බර එකවර කරටගන්නා ඇය, මවකගේ සිතේ අභ්‍යන්තරය කෙතරම් සංකීර්ණ හා විශාල පරාසයක විහිදී පවතින්නක්ද යන්න ලෝකයටම පෙන්වා දුන්නා. දරුවෙකුට ආදර්ශවත් මවක් වන අතරම, සමාජයේ තමන් අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමට වෙහෙසෙන අම්මලාගේ කැපකිරීම්වලින් පිරුණු කථාව ගැන කියන මේ අපූරු ඡායාරූපයට ලෝකයක්ම ආදරය කරන්නට පෙළඹුනේ අන්න ඒ නිසායි.
සටහන
කල්පනී ෂමල්කා
වැඩිදුර කියවීම්




