කාන්තාවන්ට එරෙහි හිංසනය, වින්දිතයන්ට දොස් පැවරීම සහ සමාජයේ මුල් බැසගත් ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව ප්‍රසිද්ධ නිළි සමන්තා රූත් ප්‍රභූ සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සංවේදී සහ ගැඹුරු පණිවිඩයක් මුදාහැර තිබෙනවා.
ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි හරහා බෙදාගත් මෙම සටනින් සමාජයේ සඟවා තබා ඇති සහ නොසලකා හරිනු ලබන බරපතල සමාජ ගැටලු කිහිපයක්ම දැඩි ලෙස මතු කර තිබේ. විශේෂයෙන්ම, ලිංගික ශ්‍රමිකයන් දැඩි විනිශ්චයකට ලක් වන නමුත් එම සේවා ලබාගන්නා පාරිභෝගිකයන් කිසිදු වගවීමකට ලක් නොවී නිදහස් වීම, මව්වරුන් සමාජයේ විවේචනයට ලක්වන විට දරුවන් අතහැර දමන පියවරුන් සමාජයෙන් සැඟවී සිටීම වැනි කරුණු ඇය මෙහිදී පෙන්වා දී තිබේ.
එමෙන්ම ලිංගික අපරාධවලට මුහුණ දෙන වින්දිතයන්ට සමාජයෙන් චෝදනා එල්ල වන අතර වැරදිකරුවන් නිදැල්ලේ සැරිසැරීමත්, අසාධාරණයට එරෙහිව කතා කරන අය සමාජයේ ඉලක්ක බවට පත්වන විට වැරදි වසන් කරන්නන් නිදහස් වීමත් ඇය එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.
“අපට තවමත් දේවල් වෙනස් කරන්න පුළුවන්” යනුවෙන් අර්ථවත් සටහනක් එකතු කරමින් සමන්තා අවධාරණය කර ඇත්තේ, වින්දිතයන්ට දොස් පවරන සංස්කෘතිය වෙනස් කර, වගවීම සහ අනුකම්පාව පිරි වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගීමට කාලය පැමිණ ඇති බවයි.
සටහන
කල්පනී ෂමල්කා




