ශ්‍රී ලාංකීය නම ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ඉහළින්ම බැබළ වූ කාන්තාවන් අතර, මානව විද්‍යා ක්ෂේත්‍රයේ ලෝක ප්‍රසිද්ධියට පත් මහාචාර්ය ශාරිකා තිරනාගමට හිමි වන්නේ සුවිශේෂී තැනකි. වර්තමානයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ඇය, ලෝකයේ බිහි වූ අතිශය දක්ෂ මෙන්ම වඩාත්ම පිළිගත් මානව විද්‍යාඥිනියක ලෙස කීර්තියක් උසුලයි.
ශාස්ත්‍රීය ජයග්‍රහණ

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඩේවිඩ්සන් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඇය, එම විශ්වවිද්‍යාලයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ කීර්තිමත් “ශාන්ත ජෝන් විශාරද” (Scholar of St John’s) ලෙස ද නම් කරන ලදී. මීට අමතරව, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් පුරාවිද්‍යාව සහ මානව විද්‍යාව වෙනුවෙන් පිරිනමන “ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සඳහා වන ජීවිතයේ සන්ධිස්ථාන සම්මානයෙන්” (Lifetime Award for Academic Achievement in Archaeology and Anthropology) ද ඇය පිදුම් ලැබුවාය.
පුළුල් පරාසයක පැතිරුණු පර්යේෂණ ක්ෂේත්‍රය

මහාචාර්ය තිරනාගමයන්ගේ මානව විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රය ඉතා පුළුල් එකකි. දුම්රිය මාර්ගවල ඉතිහාසය, බී.බී.සී. ලෝක සේවය, පුරුෂභාවය, නායකත්වය සහ ජනප්‍රිය මිලිටරිකරණය වැනි විවිධ මාතෘකා ඔස්සේ ඇය සිය අධ්‍යයන සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පාදක කරගනිමින් ඇය විසින් රචිත “In My Mother’s House: Civil War in Sri Lanka” ප්‍රථම ග්‍රන්ථය 2011 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය හරහා එළිදැක්විණි. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 32කි. ප්‍රකට මානව විද්‍යාඥ මාර්ක් විටේකර් මෙම කෘතිය හඳුන්වා දුන්නේ “මානව විද්‍යාවේ විශිෂ්ට න්‍යායික ජයග්‍රහණයක් සහ බලවත් ජනවාර්ගික අධ්‍යයනයක්” ලෙසිනි. තවත් මානව විද්‍යාඥයෙකු වන ටොම් විජර් පවසා ඇත්තේ මෙය “විශිෂ්ට මානව විද්‍යාඥවරියක විසින් ලියන ලද අමතක නොවන කෘතියක්” බවයි.
ඉන්දියානු සමාජය පිළිබඳ ගැඹුරු හැදෑරීමක්

ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගොස් ඇය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ද වැදගත් පර්යේෂණ සිදු කළාය. නූතන කෘෂිකාර්මික දලිත් ශ්‍රමික පවුල්වල ජීවිත කෙරෙහි වහල්භාවයේ සහ කුල ක්‍රමයේ දිගුකාලීන බලපෑම ඇය සිය අධ්‍යයනයන්ට ලක් කළාය.
කුල ක්‍රමය, ස්ත්‍රී පුරුෂභාවය, පවුල් ආර්ථිකය මෙන්ම නිවාස හා අසල්වැසි අවකාශයන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඇය ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කළාය. ඉන්දියාවේ නිවෙස (පොදු සහ පෞද්ගලික අවකාශයන්), අසමානතාවක් ලෙස උරුමය සහ කුල ක්‍රමය පිළිබඳ ඇය කළ අධ්‍යයනයන් ඉන්දියානු සමාජයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබඳ ගෝලීය අවබෝධයක් ලබා දීමට විශාල දායකත්වයක් සපයා ඇත.
අනාගත පරපුරට ආදර්ශයක්
ලෝකය පුරා පිහිටි විශ්වවිද්‍යාලවල විෂයමාලා සකස් කිරීමට දායක වෙමින්, විවිධ වැඩමුළු පවත්වමින් සහ පුළුල් පර්යේෂණ සිදු කර ඇති මහාචාර්ය ශාරිකා තිරනාගම, සිය සුවිශේෂී සේවය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන, ප්‍රදාන සහ ගෞරව රාශියකට පාත්‍ර වී ඇත.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල රැසක දේශන මණ්ඩල නියෝජනය කරන ඇය, ලෝක මට්ටමින් ශ්‍රී ලාංකීය කාන්තා බුද්ධිමතුන්ගේ හැකියාවන් ඉහළින්ම සනාථ කළ අභිමානවත් චරිතයකි.
සටහන
කල්පනී ෂමල්කා




