කඳුළු සඟවන ගැහැනු…

    0
    6


    අපි මෙතැන් සිට ඇයට ජයනෙත්ති කියලා කතා කරමු. ඇයගේ ජීවිතය සතුටු කතාවක ආරම්භයක් නොවේ. ඇය මේ වන විට ලිංගික ශ්‍රමික කාන්තාවකි. අධ්‍යාපනයෙන් ඉහළට යන්නටත්, හොඳ සමාජ පරිසරයක් සමග ඇසුරක් ලැබීමටත් ගැහැනියකට අවස්ථාවක් ලදොත් ඇයට හිමි වූ වාසනාවකි. ඇතැම්විට දිළිඳු වී ඉපදීමම කාන්තාවකට ජීවිතයේ සතුට අහිමි කරවන ආරම්භයක් බව සිතෙන්නේ, ඇයගේ කතාවට ඇහුම්කන් දුන් විටයි. කාන්තාවක් කිසිදුවිටක කැමැත්තෙන් ලිංගික ශ්‍රමික කාන්තාවක් බවට පරිවර්තනය වන්නේ නැත. ඒ පසුබිම නිර්මාණය වන්නට ඇය වටා ඇති සමාජ පරිසරය සම්පූර්ණයෙන් බලපෑම් කරයි.


    ඉතින් අපි ඇයගේ කුඩා කාලයේ මතකවලින්ම කතාව පටන් ගනිමු. ඉතා දුෂ්කර ගමක දැඩි ආර්ථික අපහසුතා ඇති පවුලක උපන් ජයනෙත්තිට හිටියේ මල්ලිලා දෙන්නෙක්. ගෙයක් දොරක්වත් හරියට නැති කටුමැටි පැළක ජීවත් වූ ඔවුන්ට සතුට සහ සැපත යනු ඔවුන් අසා ඇති වචන දෙකක් පමණකි. කුලී වැඩක් කිරීමෙන් දවසේ කීයක් හෝ සොයාගන්නා පියාගේ සොච්චන් වැටුපෙන් යන්තං බඩකට පුරවා ගත් මේ පවුලේ වැඩිමලා වුණේ ජයනෙත්ති.
    “අම්මා ගෙදර හිටියෙ නැහැ. එයත් ගෙවල්වල වැඩට ගියා. එහෙම දවස්වලට මම මල්ලිලා බලාගෙන ඉන්නවා. හරියට ඉස්කෝලෙ යන්න වුණෙත් නැහැ. අම්මයි තාත්තයි දුක් විඳිනවා දකිද්දි මට ඕන වුණේම රස්සාවක් කරලා මේ අපායෙන් ගොඩ යන්න. දවසම වැඩකරලා අතට ගන්න පොඩි මුදලෙනුත් තාත්ත කළේ බීපු එක. සමහර වෙලාවට මට ජීවිතේ ගැන තිබුණේ වෛරී හැඟීමක්.”
    ඇගේ කතාව ආරම්භ කළේ ඒ විදියට. ඔහොම දින ගෙවෙද්දී ඇයගේ ජීවිතේ වෙනස් මාවතකට රැගෙන යන දවස් නිර්මාණය වෙමින් තිබුණේ නොදැනීමයි.
    “ඔන්න උඹට රජ සැප විඳින්න පුළුවන්. ලෑස්ති වෙයන් කොළඹ යන්න. හොඳ නෝනා කෙනෙක් ළඟ වැඩට කෙනෙක් හොයනවා. හොඳ ගාණක් හොයාගන්නත් පුළුවන්. මට පණිවුඩේ කිව්වෙ මම වැඩ කරපු වත්තේ මහත්තයා.”
    එතකොට ජයනෙත්තිට මේ ඉරණම උදාවෙන්නේ තාත්ත නිසාද?
    “ඔව්, එයාට ඕන කළේ සල්ලි. පවුලේ බර ටිකක් අඩු කරගන්න. ඒ නිසා තාත්තා ඒ ගැන ලොකුවට හොයල බැලුවෙත් නැහැ. තාත්ත ගැන ලොකු විශ්වාසයක් නොතිබුණත්, අපි මේ විඳින ජීවිතේට මොකක් හරි සැනසීමක් තියෙයි කියලයි මම මේ ගමන යන්න ලෑස්ති වුණේ. මම වැඩට ආව ගෙදර හරිම ලස්සනයි. ඒ ගෙදර හිටියේ ලස්සන නෝනා කෙනෙක්. එයාගෙ මහත්තයා රට කියල තමා කිව්වෙ. නිදහසේ වැඩ කරලා අම්මගේ අතට කීයක් හරි යවන්න පුළුවන් කියලා මට හරි සතුටක් දැනුණා.”
    මාස දෙකක් විතර මේ ගෙදර වැඩ කරන ජයනෙත්තිට ඇයගේ ස්වාමි දියණිය හොඳින් වැටුප් ගෙවා තිබුණි. ඒ විතරක් නෙවෙයි ඇයට හොඳ කෑම බීම, ඇඳුම් පැලඳුම් මේ හැමදෙයක්ම ලැබුණි. නෝනා තනියම හිටියට සතියට දවස් දෙකක් තුනක් යාළුවො ඇවිත් පාටි දානවා. බොනවා නටනවා. ඒ වගේ පරිසරයක් තමයි එහේ තිබුණේ. මුලින්ම මට බයක් දැනුණත් මම පස්සෙ ඒ පරිසරයට හුරු වුණා. ඒ ගෙවෙමින් තිබුණේ ජයනෙත්තිගේ ජීවිතේ දහනව වැනි අවුරුද්දයි.
    “දවසක් නෝනගේ යාළුවෙක් බීල මට අනවශ්‍ය විහිළු තහළු කළා. මම ඒක ප්‍රතික්ෂේප කරද්දි ඒ හිරිහැර එන්න එන්න වැඩි වුණා. නමුත් නෝනට ඒ ගැන ගාණක්වත් තිබුණෙ නැහැ. එක දවසක් රෑ පාටිය වෙලාවේ ඒ මනුස්සයා මගේ කාමරේට ආවා. ඒක විශාල ගෙයක්. පහළ තට්ටුවේ කට්ටිය කකා බිබී නටනවා සද්දෙට. එතැනින් එහාට සිදුවුණු දේවල් ගැන මම මතක් කරන්න කැමති නැහැ.”
    දුක් විඳපු ඔවුන්ට ජීවිතේ දුකම තමයි උරුම කියලා ආයෙ ආයෙත් පසක් කරමින් ඒ අකාරුණික රැය කඳුළු මත ඇය පහන්කර තිබුණි.
    “මේ සිදුවුණු කිසිදෙයක් ගැන නෝනට ගාණක්වත් තිබුණෙ නැහැ. මම ඒ ගැන උදේ කියද්දි, මේ හැමදෙයක්ම ඇයගේ දැනුවත්කම ඇතිව සිදුවුණු දේවල් කියලා මට සැක හිතුණා. මොකද ඊට පස්සේ මේ ජීවිතේ ඇතුළෙ ඕනෑතරම් සල්ලි හොයන්න පුළුවන් විදිය ගැන මට පැහැදිලි කළේ ඇයමයි.”
    වසර කිහිපයක් එලෙස ගත වූ ජීවිතයෙන් පසු අවසානයේ ජයනෙත්තිට කොළඹ කුඩා කාමරයක් හැරෙන්නට කිසිවක් උරුම වූයේ නැත. නිවසින් පන්නා දමන ඇය එතැන් සිට අකමැත්තෙන් හෝ ලිංගික ශ්‍රමික කාන්තාවක් බවට පත්වන්නේය.
    “හිටපු ගමන් පොලීසි යනවා. දඩමුදලක් ගෙවලා එළියට එනවා. මිනිස්සුන්ගෙන් බැණුම් අහනවා. දැන් මේවා ජීවිතේට හරි හුරුයි. මට දැන් අවුරුදු 52ක්. මගේ පවුලට වෙච්ච දෙයක්වත් මම දන්නෙ නැහැ.” ඇය කතාව අවසන් කළේ කඳුළක් පිස දමමින් සුසුමක් පිටකරමින්ය.
    දැන් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගත යුතුය. අකුරු දෙකේ කැත වචනයකින් ඇගේ ආත්මය හංවඩු ගැසී අවසන්ය. නමුත් ඒ ආත්මය නිර්දෝෂීය. සමාජයෙන් ගැරහුම් ලබන්නේ ජීවිතයේ තිත්ත පමණක් රසවින්ද, අමිහිරිම දවස්වලට පමණක්ම මුහුණ දුන් ගැහැනියක්ය. එවැනි මිනිසුන් වෙනුවෙන් වචන විසිකරන්නට කලින් බොහෝ දේ සිතිය යුතුය.
    නම් ගම් මනඃකල්පිත සත්‍ය සිදුවීමකි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here