නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,056 දෙනෙකුට පත්වීම්!

0
33

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණා. වසර එකහමාරක සාර්ථක පුහුණුවකින් පසු පත්වීම් ලබන මෙම නිලධාරිනියන් දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කෙරෙනු ඇති.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් සෞඛ්‍ය සේවයේ පරිවර්තනීය කාල වකවානුවක මෙම නිලධාරිනියන් සේවයට එක්වන බවයි. පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” වැඩපිළිවෙළ යටතේ රජය සියලු අංශ මෙහෙයවන බවත්, පිළිසිඳ ගැනීමේ සිට වියපත් වන තෙක් මුළු ජීවන චක්‍රයටම අවශ්‍ය සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.

පසුගිය මාර්තු මස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976ක් බඳවා ගත් අතර, මෙම වසර දෙක තුළ පමණක් එවැනි නිලධාරිනියන් 2,071ක් බඳවා ගැනීමට හා උසස්වීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ජනතාවට ප්‍රශස්ත සේවයක් ලබාදීමේ අරමුණින්, අවශ්‍ය පහසුකම් සලසමින් පවුල් සේවිකාවන් 2,900කට පමණ දෙසැම්බර් මස වන විට ‘ස්කූටි’ වර්ගයේ යතුරුපැදි ලබාදීමට නියමිත බවත්, ඉදිරි වසර කිහිපය තුළ ක්ෂේත්‍රයේ සියලු දෙනාටම එම පහසුකම ලබාදීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here