යුරෝපයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වලට දෙන අරමුදල් කපා හරියිද?

    0
    8

    යුරෝපා රටවල කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට දැන් බරපතළ අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ප්‍රංශය, ස්වීඩනය, හංගේරියාව සහ පෝලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන ස්ත්‍රී අයිතිවාසිකම් සංවිධානවලට ලැබෙන මූල්‍ය ආධාර හා ප්‍රතිපාදන කප්පාදු කිරීමට යුරෝපා සංගමය සූදානම් වීමත් සමඟ, ඔවුන්ගේ ක්‍රියාකාරී අවකාශය වේගයෙන් හැකිළෙමින් පවතිනවා.

    ස්වීඩන් කාන්තා ලොබිය (Swedish Women’s Lobby), ප්‍රංශ කාන්තා ලොබිය (CLEF), හංගේරියානු කාන්තා ලොබිය සහ යුරෝපා සංක්‍රමණික කාන්තා ජාලය (ENoMW) වැනි ප්‍රධාන සංවිධාන එකතුවී නිකුත් කරන ලද ඒකාබද්ධ වාර්තා සහ “MOTERIS” ව්‍යාපෘතියේ නිල නිවේදන මඟින් මෙම අරමුදල් අර්බුදය මනාව හෙළිදරව් කර තිබෙනවා. මීට අමතරව යුරෝපා සංගමයේ මීළඟ දිගුකාලීන අයවැය ක්‍රියාවලිය (MFF 2028–2034) යටතේ සිවිල් සංවිධානවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන අඩුවීම පිළිබඳව EUobserver ඇතුළු ප්‍රධාන මාධ්‍ය වාර්තා සහ යුරෝපා පාර්ලිමේන්තු පර්යේෂණ වාර්තා මඟින් ද මෙම තත්ත්වය පුළුල් ලෙස අනාවරණ කොට තිබීමත් විශේෂත්වයක්.

    මෙම අසාධාරණ අරමුදල් කප්පාදුවට එරෙහිව යුරෝපයේ ක්‍රියාකාරීහු කිසිසේත්ම නිහඬව සිටියේ නැහැ. පසුගිය සැප්තැම්බර් 29 වැනි අඟහරුවාදා, “MOTERIS “ව්‍යාපෘතියේ හවුල්කරුවන් සහ යුරෝපා පුරා පිහිටි කාන්තා අයිතිවාසිකම් සංවිධාන යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වී දැවැන්ත විරෝධතාවක නිරත වූවා. සංවිධාන 200කට අධික සංඛ්‍යාවක් එකතු වී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ යුරෝපා සංගමයේ කවුන්සිලයට ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ඉදිරි අයවැය ප්‍රමුඛතා අතරින් කාන්තා අයිතිවාසිකම් සඳහා වන අරමුදල් කිසිසේත් කපා නොහරින ලෙසයි.

    ලෝකයේ මානව අයිතිවාසිකම් ගැන නිරන්තරයෙන් කතා කරන යුරෝපා රටවලම, කාන්තා සංවිධානවලට මෙලෙස මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවීම විශාල අභියෝගයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here