උදේ ද, රෑ ද කියලා වෙනසක් නෑ ලස්සනට ගැළපෙන්න අඳින්න

0
9

ඕනෑම උත්සවයකට හෝ විශේෂ අවස්ථාවකට සහභාගී වෙද්දී අපේ ලස්සන මෙන්ම පෞරුෂයත් ඉහළින්ම පෙන්වන්න අපේ ඇඳුම් පැළඳුම් විලාසිතා ලොකු බලපෑමක් කරනවා. කොයි තරම් රැල්ලට එන විලාසිතා තිබුණත්, අවස්ථාවට සහ වෙලාවට ගැළපෙන ලෙස ඇඳුම්තෝරාගැනීම නියම විලාසිතා තෝරා ගන්නන්ගේ අදහසයි. අද අපි බලමු උදේ වරුවට සහ රාත්‍රී කාලයට ගැළපෙන්න, ගෞරවයත් පෞරුෂත්වයත් රැකෙන්න ලස්සනට අඳින්නේ කොහොමද කියලා.

දවල් කාලයේ පැවැත්වෙන උත්සව බොහෝවිට සංවිධානය වන්නේ සංවෘත ශාලාවල වුවත්, දහවල් කාලයේ තද හිරු රශ්මිය සහ රස්නය පවතින නිසා අපේ ඇඳුම් තේරීම ගැන සැලකිලිමත් විය යුතුයි. දවල් වරුවට වඩාත්ම සුදුසු වන්නේ ළා පැහැති ඇඳුම්. ළා රෝස, ළා නිල්, කහ, සුදු හෝ ළා පැහැති ඕනෑම වර්ණයක් දහවල් කාලයට ඉතා ලස්සනයි. එමඟින් ඇඟට සප්‍රාණික බවක් සහ එළියක් ලබා දෙනවා. ඔබ කලිසමක් හෝ සායක් අඳිනවා නම් උඩ කොටසට ළා පාටක් තෝරාගෙන, යට කොටසට ඊට ගැළපෙන පරිදි වෙනත් තද පැහැයක් තෝරාගැනීමෙන් හොඳ කොන්ට්‍රාස්ට් එකක් ලබාගන්න පුළුවන්. ඒ වගේම උදේ වරුවට සරල මාලයක්, ඉයරින්ස් දෙකක්, මුද්දක් සහ කුඩා බෑග් එකක් සමඟින් සරල හීල්ස් යුගලක් පැළඳීමෙන් ඉතා චාම් මෙන්ම ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැකියි.

රාත්‍රී කාලයේ පැවැත්වෙන සාදයකදී ආලෝක ධාරා සහ ඒවායේ ප්‍රතිබිම්බ සමඟ අපේ ඇඳුම් කැපී පෙනෙන ආකාරයට තෝරාගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කළු, තද නිල් හෝ දිලිසෙන සුළු ඇඳුම් රාත්‍රී සාද සඳහා ඉතාමත් සුදුසුයි. මෙහිදී ඇඳුමේ දිග ප්‍රමාණයට වඩා වැදගත් වන්නේ ඔබේ උසට සහ සිරුරේ හැඩයට එය කොතරම් ගැළපෙනවාද යන්නයි. රාත්‍රී කාලයට රස්නය අඩු නිසා අත් දිග ඇඳුම් හෝ සාරි වුවද බිය නැතුව තෝරාගත හැකියි. එමෙන්ම සාදයේ රැඳී සිටින කාලය ගැන සිතා, පයට පහසු නමුත් ලස්සන හීල්ස් යුගලක් තෝරාගැනීමටත් අමතක කරන්න එපා.

අප යන උත්සවය කුමක්ද යන්න අනුව ඇඳුම තීරණය කිරීම ඉතා නුවණට හුරුයි. සාමාන්‍යයෙන් මඟුල් ගෙදරකදී මනමාලිය සුදු පැහැයෙන් සැරසෙන බැවින්, ඇයට මුල් තැන දෙමින් අමුත්තන් ලෙස අප සුදු පැහැයෙන් සම්පූර්ණයෙන්ම සැරසීමෙන් වැළකීම ගෞරවයක්. එමෙන්ම පිරිමි අය කළු ඇන්දත්, කාන්තාවන් මඟල් ගෙවල්වලට කළු ඇඳීම අපේ සංස්කෘතියේ සාමාන්‍යයෙන් සිදු වන්නේ නෑ. විශේෂයෙන්ම ඔසරිය හෝ සාරිය කියන්නේ අපේ ජාතික ඇඳුම නිසා, උඩරට ඇඳුම අඳින විට අනවශ්‍ය ලෙස විවෘත නොවන සේ ඊට හිමි ගෞරවය සහ අභිමානය රැකෙන පරිදි ඇඳීම අත්‍යවශ්‍ය වෙනවා. අපේ ඇඳුම නිසා අන් අය අපහසුතාවයට පත්වන තරමට හෝ ඕනවට වඩා කැපී පෙනෙන සේ ඇඳීම සුදුසු නැහැ.

අපේ විලාසිතාවකින් කියැවෙන්නේ අප ගැන අන් අය තුළ ඇතිවන ආකල්පයයි. ඒ නිසා ඇඳුම් මිල අධික ඒවාම විය යුතු නැහැ. කොණ්ඩය ලස්සනට පීරා, අවස්ථාවට ගැළපෙන පරිදි සරලව සකසා ගැනීමෙන් හොඳ පිළිවෙළක් පෙනෙනවා. අතේ පලඳින අත් ඔරලෝසුව, අතැති බෑගය, කොණ්ඩයේ විලාසිතාව සහ මේකප් එක යන සියල්ලම එකිනෙකට ගැළපෙන විට ඔබේ පෞරුෂය ඉහළින්ම කැපී පෙනෙනු ඇත. උදේ, දවල්, රෑ කියලා වෙනසක් නැහැ. වැදගත් වෙන්නේ ඔබ තෝරාගන්නා ඇඳුමෙන් ඔබේ චාම් බව, ලස්සන සහ පෞරුෂය නිරූපණය වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here