නමට නොව රටටම ප්‍රතිභාවක් වූ ප්‍රතිභා

    0
    7

    ප්‍රතිභා ලියනාරච්චි නමින් ඇය පිළිබඳව නොදන්නා අයෙකු නොමැති තරම් ය. ලෝක රූ රැජින වැනි දැවැන්ත ජාත්‍යන්තර වේදිකාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, රටවල් සියයකට අධික සංඛ්‍යාවක තරගකාරිත්වය මැද අපූරු දස්කම් දැක්වීමට සමත් වූ ඇය මෙම තරඟාවලියේදී දැක්වූ දස්කම් හුදෙක් සුන්දරත්වයට පමණක් සීමා නොවූ, දේශීයත්වය, නිර්මාණශීලීත්වය, අරමුණක් සහිත සමාජ සත්කාරය සහ කාන්තා සවිබල ගැන්වීම ලෝකය හමුවේ මොනවට ඔප්පු කළ ගමනක් විය.

    කොළඹ විශාකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා, අනතුරුව මොරටුව විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණික නිර්මාණවේදය පිළිබඳ ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව උපාධිය දිනාගත් ප්‍රතිභා, රූ රැජිනක මෙන්ම දක්ෂ තාක්ෂණික නිර්මාණකාරිනියක, දේශකවරියක සහ නිරූපිකාවක ලෙසද කටයුතු කරයි. සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නියයි. චිත්‍ර ඇඳීම, සාම්ප්‍රදායික නැටුම්, සංචාරය කිරීම මෙන්ම සර්ෆින් සහ යෝග අභ්‍යාසවල යෙදීමට විශේෂ කැමැත්තක් දක්වන ඇය, ” Revive to Inspire ” යන්න සිය ජීවන දර්ශනය කරගත් තරුණියකි.

    ලෝක රූ රැජිණ වේදිකාව තුළ ඇය තරවලියේ ප්‍රධාන අංශ කිහිපයකදීම කැපී පෙනෙන ස්ථාන හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. ඒ අනුව, ‘දැක්මක් සහිත සුන්දරත්වය ‘ (Beauty With a Purpose) යටතේ ලෝකයේ හොඳම 24 දෙනා අතරටත්, ‘දක්ෂතා දැක්වීමේ’ අංශයෙන් හොඳම 23 දෙනා අතරටත් ඇය තෝරාගනු ලැබීය. මීට අමතරව ‘ක්‍රීඩා තරගයෙන්’ හොඳම 24 දෙනා අතරටත්, ‘දක්ෂම නිරූපිකාවන්’ 60 දෙනා අතරටත් පිවිසෙමින් ඇය තමා සතු බහුකාර්ය කුසලතා මනාව ඔප්පු කර පෙන්වීය.

    ප්‍රතිභාගේ මෙම ජයග්‍රහණයේ වඩාත්ම අර්ථවත් සහ වැදගත් අංශය වූයේ ‘Beauty With a Purpose’ හිදී ඇය ඉදිරිපත් කළ සමාජ සත්කාරක ව්‍යාපෘතියයි. ‘HOOP The Label’ හි නිර්මාතෘවරිය වන ඇය, ශ්‍රී ලංකාවේ අන්ත අසරණ සහ අඩු පහසුකම් සහිත කාන්තාවන් සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම හරහා ආර්ථිකව සවිබල ගැන්වීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළාය. එම කාන්තා ශිල්පිනියන්ට අවශ්‍ය පුහුණුව, මාර්ගෝපදේශකත්වය සහ ආදායම් මාර්ග සපයමින්, ඔවුන්ගේ නිර්මාණ පුළුල් වෙළඳපොළකට ගෙන යාමට ඇය පියවර ගෙන ඇත. ලෝක මට්ටමින් හොඳම ව්‍යාපෘති 24 අතරට මෙන්ම ආසියානු සහ ඕෂියානු කලාපයේ හොඳම නියෝජිතයන් හය දෙනා අතරටද මෙම ව්‍යාපෘතිය තෝරා ගැනීම ඇයගේ කැපවීමට ලැබුණු කදිම වටිනාකමක් සහ ඇගයීමකි.

    වියට්නාමයේදී පැවති මෙම තරඟාවලිය පුරාම ඇය විදේශීය වේදිකාවලදී දේශීය නිර්මාණකරුවන්ගේ සහ ශිල්පීන්ගේ ඇඳුම් සහ නිෂ්පාදන භාවිත කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අද්විතීය කලා කුසලතා මුළුමහත් ලෝකයටම ප්‍රකට කළාය. ගෝලීය වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකන බව පවසන ඇය, ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් හමුවී අත්දැකීම් හුවමාරු කර ගැනීමට ලැබීම අගනා අවස්ථාවක් වූ බවද කිහිප අවස්ථාවකම සඳහන් කළාය .

    ‘HOOP’ හරහා ශ්‍රී ලංකාවේ දක්ෂ ශිල්පීන්ගේ හැකියාවන් ඉදිරියට ගනිමින්, කාන්තාවන්ට තිරසාර ජීවනෝපායන් ගොඩනඟා ගැනීමට ඉදිරියටත් කැප වන බව ප්‍රතිභා පවසන්නීය. ඇයගේ මෙම සාර්ථකත්වය හුදෙක් රූ රැජිනකගේ ජයග්‍රහණයකට වඩා, අරමුණක් සහ දැක්මක් සහිත ලාංකික තරුණියකගේ අභිමානවත් ගමන් මගක කඩඉමක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here