කේරළ සිනමා උලෙළේ ජූරිය නියෝජනය ලාංකේය සිනමාවට අභිමානයක්

    0
    11

    Independent Experimental Film Festival of Kerala – 2026 අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ මෙවර ශ්‍රී ලාංකේය අපටද ගෞරවය ගෙන දෙන්නක් විය. මාධ්‍යවේදිනියක, කතුවරියක, නිවේදිකාවක, රංගන ශිල්පිනියක, තිරපිටපත් රචිකාවියක මෙන්ම අධ්‍යක්ෂවරියක ලෙසින්ද ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැද්දූ නදී වාසලමුදලිආරච්චි පළමුවරට මෙවර එහි ජුරිය සඳහා තේරී පත්වූවාය. පසුගිය වසරේ එහි හොඳම සිනමා නිර්මාණය බවට පත්වු ‘පැන්ත්‍රම්‘ නිර්මාණය කළ නදී මෙම වසරේ එම සිනමා උලෙළේම ජූරිය සඳහා තේරී පත්වීම ඇයගේ කලා දිවියේ ස්වර්ණමය සංධිස්ථානයක් ලෙසින් ඉතිහාසගත වනු ඇත.

    පසුගිය මැයි 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ කේරළයේ කොෂිකෝඩ්හිදී පැවැති මෙම සිනමා සම්මාන උලෙළ ලාංකේය කලා ශිල්පිනියකට ජාත්‍යන්තරයට යෑමට ලැබුණු දුලබ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය. වසරක් තුළ අන්තර්ජාතික සම්මාන උලෙළ 25ක් නියෝජනය කරමින් සම්මාන රැසක් හිමිකර ගෙන ඇති නදී කලාව හඳුනාගන්නේ නිවේදිකාවක ලෙසිනි. එමෙන්ම ඇය තුළ දක්ෂ ලේඛිකාවක්ද සිටින්නීය. ඇය විසින් රචිත වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් නවකතාව ස්වර්ණ පුස්තක හොඳම නවකතා නිර්දේශිත නාම අතරට එක්විම එයට හොඳම නිදසුනකි. ජාත්‍යන්තරයේ අවධානයට ලක්වූ සිය පළමු අධ්‍යක්ෂණයෙන් ලබාගත් පන්නරය විනිසුරුවරියක ලෙස අබිසෙස් ලබන්නට හේතු වූ බව ඇය රසඳුනට පැවසුවාය.

    ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළක ජූරිය සඳහා තේරී පත්විම සුවිශේෂී අත්දැකීමක්. කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ?

    Independent Experimental Film Festival of Kerala කියන්නේ ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ සිනමා සම්මාන උලෙළක්. ඒ වගේ සම්මාන උලෙළක ජුරිය සඳහා ආරාධනා ලැබෙනවා කියන්නේ ලොකු අවස්ථාවක්. ලංකාවේ අයට මේ වගේ අවස්ථාවක් ලැබෙනවා හරිම අඩුයි. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. පසුගිය 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ කේරලයේ කොෂිකෝඩ්හිදී මේ සම්මාන උලෙළ පැවතුණා. මේක මට තවත් පැත්තකින් විශේෂයි. පසුගිය වසරේ මගේ පළමු සිනමා නිර්මාණය ‘පැන්ත්‍රම්‘ හොඳම චිත්‍රපටය විදිහට සම්මාන ලබන්නෙත් මේ සිනමා උලෙළදීමයි. ‘පැන්ත්‍රම්‘ ලෝක දැක්ම තිබුණෙත් කේරළයේ. ඒ හරහා තමයි මෙවර සිනමා උලෙළේ ප්‍රධාන තරගකාරී අංශයේ ජූරිය සඳහා මට ආරාධනා ලැබෙන්නේ. ඒක මගේ ජීවිතේ සුවිශේෂී කඩයිමක්.

    ජීවිතේ පළමු වතාවට ලැබු ජූරියක අත්දැකීම මොන වගේද?

    ඉතාලිය, හොංකොං, ඉන්දියාව, රුසියාව, එක්වදෝර් ඇතුළු රටවල් රැසක් මෙම සිනමා උලෙළ නියෝජනය කරල තිබුණා. විද්වත් විනිසුරු මඩුල්ලකගේ අධීක්ෂණයෙන් තේරුණු තරගකාරී චිත්‍රපට 10ක් අතරින් අවසන් තීරණ ලබාදීම තමයි අපේ රාජකාරිය වුණේ. අවසන් ජුරිය සඳහා සභිකයන් තුන්දෙනයි. ඉන්දියාවෙන් පිට ඒ සඳහා අවස්ථාව ලැබුණේ මට විතරයි. සම්මානලාභී සිනමා විචාරකයකු, ලේඛකයකු සහ වාර්තා චිත්‍රපට අධක්ෂකවරයකු වන මහාචාර්ය සී. එස්. වෙන්කිටේස්වරන් සහ ඉන්දියානු සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ, තිර පිටපත් රචක අභිජිත් මසුම්දර් අනෙකුත් ජූරි සභිකයින් විදිහට කටයුතු කළා. සූම් හරහා විනිශ්චය සාකච්ඡා වුණේ. අපි අතරේ බොහෝ එකඟතා තිබුණු නිසා තීරණ ගන්න පහසු වුණා.

    ප්‍රකාශයට පත්කෙරුණු ජුරියේ තීරණ ගැනත් සඳහන් කරමු?

    ඔව්. අංශ අටක ජයග්‍රහණය ජුරිය හරහා ලබාදුන්නා.

    Best film

    Magic memory (documentary film)

    Best Director

    Wilson Burbano Del Hierro

    Magic Memory (documentary film)

    Best film special mention

    Feature film: Rock

    Sreekrishnan KP

    Best Script

    Shihab Ongallur

    (documentary film: Ricard Dance)

    Special mention

    Elah Ajene

    Judah Iyunade

    (Experimental feature Film: The colour of the sky)

    Best Cinematography

    Ashok Meena

    (Feature Film: In retreat)

    Shihab Ongallur

    (documentary film: Ricard dance)

    Best Editing

    Magic memory (documentary film)

    Best sound

    Magic memory (documentary film)

    Best Music

    None

    Best Performance

    Remya Valsala

    (Experimental feature Film: Rock)

    ඔබට මේ සුවිශේෂී අවස්ථාවට මාවත සලසා දුන් ‘පැන්ත්‍රම්’ ගැනත් මතක් කරමු?

    ‘පැන්ත්‍රම්’, වසරක් තුළ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල 25ක් නියෝජනය කරලා මේ වනවිට සම්මාන 10ක් දිනාගෙන තියෙනවා. දකුණු ආසියාවේ පැරණිතම සිනමා සම්මාන උලෙළක් වන ඩකා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ, නේපාල ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ, දිල්ලි ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ ඇතුළුව ඉන්දියාවේත් ප්‍රාන්ත පහකින් තේරුණා. ඉන්දියාවේ අට වතාවක් ප්‍රදර්ශනය වුණා. වැඩිම ප්‍රතිචාර ලැබුණෙත් ඉන්දියාවෙන්. ඒ වගේම බංග්ලාදේශයෙන් සහ නේපාලයෙන්. එංගලන්තයේ බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ වන ෆිෂ්අයි ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්හි බෙස්ට් එක්ස්පෙරිමන්ටල් පීචර් ෆිල්ම් කියන සම්මානය හිමිවුණා. ඒ වගේම එංගලන්තය, යූ. එස්. ඒ, පේරු, ස්වීඩනය, ග්‍රීසිය, රෝමය වැනි රටවල් රැසක ප්‍රදර්ශනය වුණා. ජැෆ්නා ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ඔෆීෂියල් සිලෙක්ෂන් එකක් විදිහට පැන්ත්‍රම් ප්‍රදර්ශනය වුණා. පැන්ත්‍රම් සිනමාපටයට මේ වෙද්දි ගොඩක් ප්‍රතිචාර, සම්මාන වගේම ලෝකයේම අවධානයත් යොමුවෙලා තියෙනවා.

    පැන්ත්‍රම් හරහා කේරළයෙන් ඔබට සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිවුණා නේද?

    පැන්ත්‍රම් සිනමාපටයට කේරළයෙන් ලොකු අවස්ථාවක් ලැබුණා. පුවත්පත් සාකච්ඡා, රේඩියෝ, ටීවී වැඩසටහන් ලැබුණා. එක පුවත්පතකින් කවරය සමඟ පිටු අටකට අවස්ථාව දුන්නා. ඒ වගේම පී.කේ. සුරේන්ද්‍රන් කියන ජාත්‍යන්තර සම්මානලාභී සිනමා විචාරකයා පැන්ත්‍රම් ගැන ගොඩක් කතා කළා. ඔහු ලියපු පොතක ආර්ටිකල් එකක් ලියන්නත් මට අවස්ථාව ලබාදුන්නා. මේ හැමදේකම එකතුවෙන් තමයි මට මේ වගේ ජාත්‍යන්තර ජුරියකට අවස්ථාව ලැබෙන්නේ. මේක මගේ පළමුවැනි ජුරිය නියෝජනය. ඊට අමතරව ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත දකුණු ආසියාවේ පැරණිතම සිනමා සම්මාන උලෙළකින් සහ තවත් ජාත්‍යන්තර සම්මාන උලෙළකින් ජූරිය සඳහා ආරාධනා ලැබිල තියෙනවා. මේ වෙද්දිත් අපි ඒ සඳහා වැඩ කටයුතු කරමින් ඉන්නවා.

    ඒ වගේම නේපාල ෆිල්ම් ‍ෆෙස්ටිවල් එකේ තිබුණු ෆෝරම් පහෙන් එකකට මටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒකත් විශේෂ අවස්ථාවක්. එහිදී මාත් එක්ක මේ වසරේ කෑන්ස් ෆෙස්ටිවල් එකේ හොඳම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් හිටියා. ඊට අමතරව හොංකොං සහ මකාවෝ නියෝජනයන් දෙකක් තිබුණා. එහිදී අපි සාකච්ඡා කළේ දකුණු ආසියාවේ සම සිනමා නිෂ්පාදන සහ සහයෝගිතා නිෂ්පාදන කරන්නෙ කොහොමද කියන එක.

    වසරක් තුළ මේ තරම් ජාත්‍යන්තර සම්මාන උලෙළ ගණනක් නියෝජනය කරන්න තරම් පැන්ත්‍රම් සුවිශේෂී වෙන්න හේතුවක් ඇති?

    පැන්ත්‍රම් හරහා මං විශේෂයෙන්ම කතා කරන්න උත්සාහ කළේ පශ්චාත් යුද සමයේ මනුෂ්‍ය ගනුදෙනු බේරගන්නේ කොහොමද කියන එක ගැන. අවුරුදු 30 යුද්ධයකට පසුව තමයි අපි මේ ගෙවන ජීවිතය ගොඩනඟාගෙන තියෙන්නේ. මනුෂ්‍ය සබඳතා දිහා අලුතෙන් බලන්නෙ කොහොමද? මනුෂ්‍ය සබඳතා අලුතෙන් ගොඩනඟා ගන්නෙ කොහොමද කියන එක එහි අන්තර්ගත වෙනවා. ප්‍රධාන වශයෙන් කතාව ගලාගෙන යන්නේ තාත්තෙක් සහ පුතෙක් ගැන. උපන්දා සිට නොහඳුනන තාත්තා කෙනෙක් සහ පුතෙක් එක්තරා මොහොතක හමුවෙලා තමන් කවුද කියලා දැනගත්තට පස්සේ ඔවුන්ගේ මනුෂ්‍ය ගනුදෙනු සිදුවෙන්නේ කොහොමද කියන එක තමයි පැන්ත්‍රම් ඔස්සේ ගලාගෙන යන්නේ.

    පැන්ත්‍රම් ශ්‍රි ලංකාවේ ප්‍රදර්ශනය වෙන්නේ කවද්ද?

    මේ වසරේ පැන්ත්‍රම් ලංකාවේ ප්‍රදර්ශනයට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා චිත්‍රපට සංස්ථාවෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. විශේෂයෙන්ම චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. කුලුඳුල් චිත්‍රපට නිර්මාණකරුවන්ට වගේම ජාත්‍යනත්ර සම්මාන උලෙළ නියෝජනය කළ සහ සම්මාන දිනූ චිත්‍රපට සඳහා ඔවුන් විශේෂ අවස්ථාවක් ලබාදී තියෙනවා. මේක මගෙත් කුලුඳුල් සිනමාපටය. ඒ වගේම ජාත්‍යන්තර සම්මාන උලෙළ නියෝජනය කර සම්මාන දිනලත් තියෙනවා. මං ඒ අවස්ථා දෙකටම සුදුසුකම් ලබල තියෙනවා. 2023 වසරේ රූගත කරලා 2025දී ලෝක ප්‍රදර්ශනය සිදු කළ ‘පැන්ත්‍රම්‘ මේ වසරේ ලංකාවේ ප්‍රදර්ශනය කරගන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ ප්‍රවීණ, සම්මානලාභී සිනමා විචාරක P. K. Surendran විසින් සංස්කරණය කර මලයාලම් බසින් පළවූ මගේ ලිපියක් ඇතුළත් සිනමා කෘතියෙහි, යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධානී සාමිනාදන් විමල් විසින් කරන ලද සිංහල පරිවර්තනය මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ ලංකාවේදී එළිදක්වන්නත් සූදානමින් ඉන්නවා.

    මෙවන් සුවිශේෂී අවස්ථාවක් ඔබට ලැබෙන්නේ විශාල පිරිසකගේ සහයෝගයෙන්. ඔවුන් ගැනත් සිහිපත් කරමු

    විශේෂයෙන්ම කාන්තාවක් විදිහට මේ වගේ ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළක ජූරිය සඳහා ලංකාව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් ලොකු සතුටක් දැනෙනවා. ඒක මගේ මහන්සියේ ප්‍රතිඵලය. මට හීනයක් තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වෙන්න. ඒ හරහා ජාත්‍යන්තරයට යන්න. ජූරියට අවස්ථාවක් ලැබීම මගේ ජීවිතේ සුවිශේෂීම අවස්ථාවක්. මෙහි සියලු ගෞරවය හිමිවිය යුත්තේ මගේ සැමියා සම්පත් ගුණවර්ධනට. ඔහු තමයි මාව චිත්‍රපට අධ්‍යක්ෂවරියක් කරන්නේ. ඒ වගේම මගේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත් ඔහු. සම නිෂ්පාදනයෙන් දායක වෙන්නේ උදාර පල්ලියගුරු. ඒ වගේම මගේ කණ්ඩායම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් නිසා තමයි අද මං මෙතන ඉන්නේ. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරනවා Independent Experimental Film Festival of Kerala අධ්‍යක්ෂ (Festival Director) ප්‍රතාප් ජෝසප් සහ අර්ජුන්ට. ඒ වගේම රාම්දාස් සහ P. K. Surendran.

    ඔබ ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්නේ අවුරුදු 20කට පසුව. අලුතින් ක්ෂේත්‍රයට එන කෙනෙකුට ඒ කතාව ආදර්ශයක් වේවි?

    ඇත්තටම ඒ ආ ගමන කෙටියෙන් හෝ සිහිපත් කිරීම මගෙත් යුතුකමක්. මුලින්ම මං ක්ෂේත්‍රයට එන්නේ සිරස නාළිකාවේ නිවේදිකාවක් විදිහට. පස්සේ එහි ප්‍රවෘත්ති නිවේදිකාවක් වැඩසටහන් අධ්‍යක්ෂිකාවක් බවට පත්වුණා. මාකටින් පැත්ත වගේම දැන්වීම් ක්ෂේත්‍රයේත් අත්දැකීම් ලැබුවා. ඒ වගේම මං ලේඛිකාවක්. වෘත්තිය ජීවිතය වගේම අධ්‍යාපන මට්ටමත් මට මේ තැනට එන්න ලොකු පිටිවහලක් වුණා. පුංචි කාලෙ මට ඕන කළේ කවදහරි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වෙන්න. මගේ පළමුවැනි චිත්‍රපටය නිර්මාණය කරන්න මට අවුරුදු 20ක් ගියා. ඒ අවස්ථාව ලබාගන්න මං ගොඩක් මහන්සි වුණා. අද මං ඉන්නෙ හිතුවටත් වඩා එහා තැනක. අලුතින් ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් මං කියන්නේ කවදාවත් තමන්ගේ හීන අතහරින්න එපා. මහන්සියෙන් ඒ සඳහා අවශ්‍ය වටපිටාව හදාගන්න. ජාත්‍යන්තර සිනමා උලෙළකට යනවා කියන්නෙම ලෝකෙට විවෘත වීමක්. ඒක මිල කරන්න බැරි අවස්ථාවක් වගේම අත්දැකීමක්. එතැනදි අපි නියෝජනය කරන්නේ අපේ රට. තමන්ගේ රටේ නමින් හඳුන්වද්දී දැනෙන හැඟීම පුදුමාකාරයි. ඒ හරහා ගොඩනැඟෙන සබඳතා ගොඩක් වැදගත්. මං කේරළයට ගිය නිසා තමයි ඔවුන් මගේ දැනුම, හැකියාව දැකලා මට මේ අවස්ථාව ලබාදුන්නේ.

    rasanduna

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here