පොලිස් විශේෂ කාර්ය බලකායේ ( STF) හිටපු ප්‍රධානියා දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරන බව මිනීමැරුම් නඩුවක ප්‍රධාන සාක්කිකාරිය නීතිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් පැමිණිලි කොට සිටි.
“සාක්ෂිකාරිණියක වූ මා හට බලපෑම් එල්ල කිරීමක් සම්බන්ධවයි” නම් ලිපි ශිර්ෂය යටතේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වෙත එසේ අදාල ලිපිය යොමු කොට තිබෙන්නේ වසර තුනහමාරකට ඉහතදී අත් අඩංගුවේ දී මරුමුවට පත් මහේෂ් ඉන්දික ප්‍රභාත් ගේ විවාහාපේක්ෂිත බිරිඳ වු බෙලිදෙණිය, කෝට්ටේගොඩ පදිංචි පියුමි වත්සලා බැංකු නිලධාරිනිය විසිනි.
2022 ඔක්තෝබර් 13 දින ඉන්දික ප්‍රභාත් බලහත්කාරයෙන් පැහැගෙන ගොස් කෲර වධහිංසාවන්ට ලක් කොට වෙඩි තබා මරා දමන ලද බවට චෝදනාවට ලක්ව සිටින්නේ එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි වූ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහ පොලිස් පරික්ෂක ලක්ෂ්මන් සමරතුංග කොළඹගේ ප්‍රමුඛ කණ්ඩායමකි.
වරුණ ජයසුන්දර අධිකරණයටත් ඉහළින් ද?

සිය ස්වාමී පුරුෂයා මරා දැමීමේ සිට මේ දක්වා තමන් හට වරුණ ජයසුන්දරගෙන් සහ පොලිසියෙන් ද විඳින්නට සිදුව ඇති බවට චෝදනා කෙරෙන අයුක්ති සහගත මෙන්ම හිංසා පීඩා සිදු කිරීමේ චෝදනා ගණනාවක්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කරමින් ඇය පවසන්නේ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කමඩාන්ට්වරයා සහ ඔහුට හිතැති පිරිස් අනිසි ලෙස බලපෑම් කරමින් සිටින බවකි.
සිය සැමියා වු ඉන්දික ප්‍රභාත් ඝාතනය කිරීමට අදාලව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික සාක්ෂි විමසීමේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන තමන්ගේ ජීවිතයට හානී කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියා අවස්ථා කිහිපයකදීම තැත් දැරූ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලීසියට, නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සහ මානව හිමිකම් කොමිසම වෙතද අවස්ථා ගණනාවකදිම වාචිකවත්, ලිඛිතවත් පැමිණිලි කළ බවද අදාල ලිපිය මගින් ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයාගේ අවධානයට යොමු කරයි. එමෙන්ම තමන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් මගින් අධිකරණය වෙත කරුණු සැල කළ බවට ද ඇය පවසයි. එම ලිපියෙන් ඇය අවධාරණය කරන්නේ අපරාධයක වින්දිතයකු වුණු තමන්ට වඩා එම අපරාධයේ සැකකරුවකු බවට පත්ව සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ට නීතිය ක්‍රියාත්මක කෙරෙන ආයතනවල රැකවරණය සහ වරප්‍රසාද හිමිව ඇති බවකි.
මරණීය තර්ජන
“මාගේ සැමියාගේ ඝාතනයට විරුද්ධව බලපිටිය ගරු මහේස්ත්‍රාත් ඇසුනු නඩුවේ ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකාරිය මම වෙමි. 2022 නොවැම්බර් 01 දින අංක 750118619 දරණ දුරකතන අංකයෙන් ලද කෙටි පණිවිඩයක දක්වා තිබුණේ එදින සාක්ෂි දෙනු ලැබුව හොත් මා මරා දමන බවකි. නමුත් එම තර්ජනය නොතකා එදින මා විසින් සාක්ෂි දෙනු ලැබු අතර පසුව, පසු දින රාත්‍රීයේ දි නැවතත් දුරකතනය මගින් මා හට මරණීය තර්ජනය කරමින් වහාම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට පැවසුනි. ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මා පසු දින දික්වැල්ල පොලිසියට ගොස් පිටතට පැමිණිමේදි මෝටර් බයිසිකලයකින් පැමිණි අයෙක් මා හට වෙඩි තැබීමට උත්සහ දරණ ලදි. ඒ පිළිබඳව ඒ අවස්ථාවේම මා විසින් දික්වැල්ල පොලිසියේ නිලධාරින්ව දැනුවත් කළද ඔවුන් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබීම නිසා එවකට දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වු අජිත් රෝහණ හට දුරකතනය මගින් පැමිණිලි කලෙමි,” යනුවෙන් පියුමි වත්සලා විසින් වෙත යවා ඇති ලිපියෙහි දැක්වේ.
පිටු 11කින් යුත් එම ලිපිය අපටද දැකගන්නට ලැබී ඇත.
තමන් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට එළැඹීම නොරුස්සනා ජ්‍යෙෂ්ට නියේජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ප්‍රමුඛ පිරිසට එරෙහිව විවිධාකාරයේ ක්‍රම අනුගමනය කරමින් තමන්ට හිංසා පීඩා සහ තර්ජන ගර්ජන සිදුකිරීම අඛණ්ඩව සිදුකරමින් සිටින බවත් පවසන ඇය, ඇතැම් අවස්ථාවල ඔවුන් සතු පොලිස් සහ දේශපාලන බලය භාවිතා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකරිය පවා ඒ සඳහා අනීතිකව යොදා ගනු ලබන්නේ යැයි ද චෝදනා කරයි.
” 2023 .10.27 දා මාව සීඅයිඩී යේ සමූහ මංකොල්ලකෑම් අංශයට කැඳවලා ‘වරුණ ජයසුන්දරට එරෙහිව මා විසින් ගරු අධිකරණය හමුවේ ලබා දී තිබෙන සාක්ෂිය වෙනස් කරන්නැයි එහි නිළධාරින් මට තර්ජනය කළා,” යනුවෙන් පියුමි වත්සලා ඇගේ ලිපියේ ලියා තිබේ.
” වරුණට විරුද්ධ වුණොත් උඹට බොරු නඩු දානවා”
උසාවියට දුන්න සාක්ෂිය වෙනස් කරන්න බැරි බවත්, තම සැමියාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජේ.නි.පොලිස්පති වරුණ ජයසුන්දර සහ අනෙක් පිරිසට එරෙහිව නගන චෝදනා ඉල්ලා අස්කර ගන්නටත් නොහැකි යැයි තමන් විසින් කියු විට ‘උඹට විරුද්ධව High Court එකේ නඩුවක් දානවා’ යනුවෙන් එහි නිලධාරින් විසින් තමන්ට දිගින් දිගටම තර්ජනාත්මකව ප්‍රකාශ කළ බවත් ඇය එහි තවදුරටත් කරුණු දක්වයි.
” ශ්‍රි ලංකා සමාජවාදි ජනරජයේ පවතින නීතිය පසඳලීමේ කර්තව්‍යයට සහාය දෙන ආයතනයක් වන ශ්‍රි ලංකා පොලීසියේ මෙන් නිලධාරින් සිටීම මෙරට වින්දිතභාවයට පත්වු මා වැනි අය තවත් වින්දිතභාවයට ඇද දැමීමකි,” යි ඇය සිය ලිපියෙහි දක්වා තිබෙන්නේ තවමත් නිමා නොවුණු පොලිස් හිංසන ගණනාවක්ම සඳහන් කරන අතරවාරයේ ය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියාගේ අනීතික කටයුතු ආරක්ෂා කරමින් ඔහු වෙනුවෙන් තමන්ට එරෙහිව කටයුතු කරනු ලැබුවේ පොලීසිය පමණක් නොවේ යැයි චෝදනා කරන පියුමි වත්සලා, බලපිටිය එවකට සිටි මහේස්ත්‍රාත් ආර්.ඩී ජානක විසින් සිය සැමියාගේ ඝාතනය ආත්මාරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද්දක් නොවන බවට තීරණය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට නියෝග කර තිබියදීත් එයට එරෙහිව යමින් වරුණ ජයසුන්දර ප්‍රමුඛ සැකකාර නිලධාරින් ආරක්ෂා කරන්නටත්, නඩුව නීති විරෝධි ලෙස ඉල්ලා අස්කර ගන්නටත් නීතිපතිවරයා කටයුතු කරන ලද බවත් පෙන්වා දෙන්නේ නීතිපතිවරයාගේ එම අනිසි ක්‍රියාව මගින් යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියට මරු පහරක් එල්ල වුණු බවද මතක් කර දෙමිනි.
වරුණ වෙනුවෙන් සියල්ලන්ම එක පෙලට?
එපමණක් නොව නඩුව ඇරඹුණු දිනයේ සිට මේ දක්වාම තමන්ට විඳින්නට සිදුව ඇති හිරිහැර, මරණීය තර්ජන මෙන්ම විවිධාකාර අවලාද ආදී සියල්ලම පිළිබදව තමන් අවස්ථා ගණනාවකදීම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට මෙන්ම ජාතික මානව හිමිකම් කොමිසම ප්‍රමුඛ ආයන ගණනාවකටම පැමිණිලි කලත් කිසිදු සහනයක් අත් නොවුණු බවත් පෙන්වා දී තිබේ.
විශේෂ කාර්ය බලකාය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් වෙඩි තබා මරා දැමුණු බවට විශ්වාස කෙරෙන සිය සැමියාට යුක්තිය ඉටු කර ගැනීමට ඇති බාධාවන් ඉවත් කර දෙන්නැයි ඉල්ලමින් පියුමි වත්සලා විසින් පසුගිය 05 වන දා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වෙත යවන ලද ලිපියට පෙරාතුව ලිපි ගණනාවක්ම ආණ්ඩු දෙකක ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට , මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරුන් සහ එම අමාත්‍යාංශවල ලේකම්වරුන්ට ද යොමු කොට ඇතත් ඒ කිසිදු පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් මේ දක්වා ඇයට අපේක්ෂිත සහනයක් තබා සෑහිමකට පත් විය හැකි මට්ටමේ පිළිතුරක් හෝ ලැබී නැත.
යුක්තිය අයැදු ලිපි කන්දරාව
ඇය විසින් යවා තිබෙන ලිපි ගණනාවක් අතරින් කිහිපයක දින පහත දක්වනුයේ රටේ පුරවැසියකුට තමන් හට යුක්තිය ඉටු කර ගැනීම සදහා කෙතරම් අරගලයක්, දුක් ගැහැට කන්දරාවක් විඳින්ට සිදුවන්නේ දැයි පෙන්වා දීම සඳහාය.
ජනාධිපතිවරුන්ට,
2024 ඔක්තෝබර් 21, දෙසැම්බර් 12
2025 පෙබරවාරි 14, මාර්තු 20, දෙසැම්බර් 29
2026 මාර්තු 12, මාර්තු 15, මාර්තු 20
අගමැතිවරුන්ට,
2024 දෙසැම්බර් 14,
2025 පෙබරවාරි 14
මහජන ආරක්ෂක ඇමැතිවරයාට සහ ලේකම් ට
2023 දෙසැම්බර් 28
2025 අගෝස්තු 04 සහ 23, ඔක්තෝබර් 10 සහ 16
මේ හැරුණු විට නීතිපති දෙපාර්තමේන්තුවට, ජාතික මානව හිමිකම් කොමිසමට, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට, ජාතික පොලිස් කොමිසමට සහ ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට මෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මූලස්ථානයට ද අවස්ථා ගණනාවකදී ම පැමිණිලි කොට තිබෙන්නේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් ඔහු සතු පොලිස් බලය යොදා ගනිමින් ඇයට විරුද්ධව කරනු ලබන බවට චෝදනා කෙරෙන හිරිහැර පිළිබඳව අවධානය යොමු කොට සාධාරණය ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.
වරුණ ජයසුන්දර රකින දේශපාලනය
විශේෂයෙන්ම පොලීසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය මේ අයුක්ති සහගත ක්‍රියාදාමයේ ඉදිරියේම සිටිති. කවර හේතුවක් මත හෝ වරුණ ජයසුන්දරට එරෙහිව කටයුතු නොකරන්නැයි පසුගිය රජය සමයේදි මහජන ආරක්ෂක ඇමතිවරයා වූ ටිරාන් අලස් විසින් ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානීන් හට තර්ජනාත්මකව දැනුම් දී තිබුණු බවද එකල කියැවුණි.
වර්තමාන රජය යටතේ ද ඉහලම දේශපාලන රැකවරණයක් සහ මුක්තියක් වරුණ ජයසුන්දරට හිමිව ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔහු විසින් පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරිවරයාව සිටිමින් සිදුකර ඇතැයි පැවසෙන මනුෂ්‍ය ඝාතන, වධහිංසා පැමිණ වීම් ඇතුළු බරපතල ගණයේ අපරාධ ගණනාවක් පිළිබඳව සිදු කෙරෙන්නට නියමිත පරික්ෂණවලට ද මේ නිසාම තිරිංග වැටී ඇතැයි දැනගන්නට තිබේ. ඒ ඉහළම දේශපාලන හස්තයකින් සිදු කෙරෙන වළකාලීමක් හේතුවෙනි.
කෙසේ නමුත් තමන් විසින් නීතිපතිවරයා සහ එහි අතිරේක සොලිටර් ජනරාල් දිලීප පීරිස් වෙත යවන ලද ලිපියට තවමත් පිළිතුරක් ලැබී නැතැයි පවසන පියුමි වත්සලා, එසේ මුත් එහි සඳහන් කරුණු කෙරෙහි නිසි අවධානය යොමු කොට තමන් හට යුක්තිය ඉටු කිරීම සඳහා නීතී බලධාරින් කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන්නීය.
(සටහන | කේ විජේසිංහ)




