මුහුණු පොත මාව රසිකයන් අතරට ගෙන ගියා

0
11

ඇය සංගීත චිකිත්සාව උදෙසා එස්රාජ් වාදන සංගීත ප්‍රසංග පවත්වමින් කුලියාපිටිය ජනතාවගේ ආදරය දිනා සිටින විශ්‍රාමික සංගීත ගුරුවරියකි. අහම්බෙන් දවසක ඇය තම එස්රාජයෙන් ‘පරසතු මල්’ චිත්‍රපටයේ ‘පරවුණු මල්වල සුවඳ අතීතේ..’ ගීතය හැඟුම්බරව වාදනය කරමින් සිටියාය. ඇයගේ පුතා එය ඇයටත් නොදැනෙන්නට පටිගත කර මුහුණු පොතට මුදා හැර තිබුණි. ඒ සඳහා ඉහළ රසික ප්‍රතිචාර ලැබුණු හෙයින් එතැන් පටන් ඔහු තම මවගේ එස්රාජ් වාදනයන් පටිගත කර ජනගත කරන්නට වූයේය. මේ වනවිට ඇය සමාජ මාධ්‍ය ජාල හරහා බෙහෙවින් ජනප්‍රිය එස්රාජ් වාදන ශිල්පිනියකි.

ඇය නමින් කුසුමා පතිරාජ මැණිකේය. ඇය ප්‍රකට වන්නී කුසුම් පතිරාජ ලෙසිනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නක්කවත්ත ප්‍රදේශයේ රුක්ගස්සාගාර ගමේ පුංචි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ, එම පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වූ ඇය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූවාය. කුසුම් සිය මවගේ උනන්දුවෙන් සංගීතය කෙරෙහි කුඩා කල පටන් යොමු වූවාය. මවටත්, මාමාටත් ගීත ගැයීමේ හැකියාව හොඳින් තිබුණු අතර පියාට ද යම් හැකියාවක් ගායනය සම්බන්ධයෙන් තිබිණි. මවුපිය ආභාසයෙන් දරුවන්ට ද ගීත ගැයීමේ හැකියාව උරුම විය.

ඇයට නංගිලා දෙදෙනෙක්, මල්ලිලා දෙදෙනෙක් සහ අක්කලා දෙදෙනෙක් සිටී. ඒ අතර සිටි එක් නැඟණියක වන සෝමා පතිරාජ මැණිකේ ශ්‍රී ලංකා රජරට සේවයෙන් බිහි වූ ගායන ශිල්පිනියකි.

“මම ජෝර්ජ් පල්ලෙවත්ත ගුරුතුමාගෙන් එස්රාජ් වාදනය ඉගෙන ගත්තා. එස්රාජ් වාදනයට යොමු වීම හරිම අහම්බෙන් සිදු වූවක්. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සංගීත කාමරයේ හුරුබුහුටි එස්රාජයක් තිබුණා. මම සංගීත ගුරුවරයාගෙන් ඒක ඉල්ලගෙන සංගීත කාමරයෙන් පොඩ්ඩක් එළියට ගිහින් පොඩි කණ්ඩියක් උඩ වාඩිවෙලා මට දැනෙන විදිහට කනට හුරු සංගීත අනුවාදනයට අනුව එස්රාජයෙන් ‘සෝක සැනසුම් වේදනාවන්..’ ගීතය වාදනය කළා. සර් මගේ වාදනය අහගෙන ඉඳලා පස්සේ මට ස්වර ටික වයන්න ඉගැන්නුවා. මම පාසලේ නේවාසිකාගාරයේ නැවතිලා සිටියා. සර් මට එස්රාජය නේවාසිකාගාරයට අරගෙන යන්න දුන්නා. මට හොඳට පුහුණු වෙන්න කිව්වා.

සංගීත විභාගවලට මම ඉදිරිපත් වුණෙත් එස්රාජ් වාදනයෙන්මයි. ඊට පස්සේ සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළත් සමත් වෙලා සෞන්දර්ය අධ්‍යයනායතනයට ගිහින් අනිල් මිහිරිපැන්න සර්ගෙන් එස්රාජ් වාදනය වැඩිදුර ඉගෙන ගත්තා. පස්සෙ මට ගුරු පත්වීමක් ලැබුණා. මුල්ම පත්වීම ලැබුණේ කුලියාපිටිය වැවගම මහා විද්‍යාලයටයි. ඊට පස්සේ පාසල් කිහිපයකට ස්ථාන මාරු වුණා. නිකවැරටිය වළල්ල මහා විද්‍යාලයේත් මම ඉගැන්වීම් කළා. දුෂ්කර කාලය අවසන් කළාට පස්සේ කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලයට ස්ථාන මාරු ලැබුණා. අන්තිමට හිටියේ නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලයේයි. පාසලේදී දරුවන්ට ඉගැන්වීම් සඳහා යොදා ගත්තේ සර්පිනාවයි. නමුත් විවිධ උත්සවවලදි දරුවන්ට එස්රාජ් වාදනය කරන්න මම ඉගැන්නුවා. ඒ වගේම සමස්ත ලංකා තරගවලට දරුවෝ එස්රාජ් වාදනයෙන් ඉදිරිපත් කරවලා ඒ අයට ජයග්‍රහණ රැසක් මගේ ගුරු ජීවිතයේදී ලබා ගන්න මඟ පෙන්වීම් කර තිබෙනවා. මගේ ශිෂ්‍ය පිරිස අතර ලංකාවේ නම ප්‍රකට වූ අයත් බොහෝ දෙනෙක් ඉන්නවා.

මගේ දුක සැප විමසන විශාල ශිෂ්‍ය පිරිසක් අදටත් ඉන්නවා. විශ්‍රාම ගත්තාට පස්සේ ගෙදර නිදහසේ ඉන්න වෙලාවට මම එස්රාජය වාදනය කරනවා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලාත්, මගේ සැමියාත් මේ වාදන රසවිඳින්න ගොඩාක් කැමතියි. පුතා මගේ නමින් මුහුණු පොතක් නිර්මාණය කරලා මගේ වාදනයන් ජනතාව අතරට අරගෙන යනවා. මගේ සැමියාටත් ගීත ගයන්න හැකියාව තියෙනවා. එයා ක්‍රීඩා ගුරුවරයා හැටියට නක්කාවත්ත පාසලේ විශ්‍රාමයට පෙර සේවය කළා.

මගේ පුතාලා දෙන්නාම තබ්ලා වාදන විශාරද විභාගය සමත් වුණා. ලොකු පුතා සු‍බෝධ චන්දිම විජේරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලබාගෙන තායිලන්තයේ රැකියාව කරනවා. පොඩි පුතා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් හැටියට රැකියාව කරනවා.”

විශ්‍රාම ගැනීමෙන් පසුව කුසුම් පතිරාජ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග සම්බන්ධ වූවාය. එහි පැවති සෑම සංස්කෘතික සහ අනෙකුත් උත්සවලදී සංගීත කටයුතු සංවිධාන කිරීම එතැන් පටන් කුසුම් පතිරාජ වෙත පැවරුණි. ඇය එම කාර්ය බොහොම කැමැත්තෙන් හා උනන්දුවෙන් සිදු කළාය. එහි පැවති එක් ප්‍රසංගයකදී ඇය එස්රාජ් වාදනයක් ඉදිරිපත් කිරීමෙන් ඇය බොහෙවින් ජනප්‍රිය වන්නට විය. එසේම ඇයට ප්‍රසංගවලින් ආරාධනා ගලා එන්නට ද විය.

කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි මණ්ඩලයේ සිටි සඳවතී රාජකරුණා මියගේ අදහසකට අනුව කුසුම් පතිරාජ පසු දිනක එස්රාජ් වාදන සංගීත චිකිත්සාමය ප්‍රසංගයක් උත්සවශ්‍රීයෙන් පවන්වන්නට යෙදුණි. ඇය එවැනි ප්‍රසංගයක් මුලින්ම පැවැත්වූයේ 2013 වර්ෂයේ නක්කාවත්ත මහා විද්‍යාලයේදී ය. පසුව එවැනි ප්‍රසංග කිහිපයක්ම ඇය පැවැත්වූවා ය. 2024 දී ඇය විසින් පවත්වන ලද ‘කුසුමක තත්සර’ ප්‍රසංගය මුළුමනින්ම සංගීත චිකිත්සක (Music Therapy) වාදන ප්‍රසංගයකි. ඇය එවැනි ප්‍රසංග ද කිහිපයක් ම පවත්වා ඇත. එසේම තවදුරටත් එම ප්‍රසංග පැවැත්වීමට විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක් ඇයට ඇරියුම් කර ඇත. එසේම මුහුණු පොතෙන් ඇය මේ වනවිටත් දෙස් විදෙස් සහෘදයන්ගේ හදවත් වෙත සමීප වී හමාර ය.

silumina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here