දිගින් දිගටම ගබ්සා වීම ගර්භාෂ ගෙඩි නිසා විය හැකියි

    0
    7

    කාන්තා රෝග අතර ෆයිබ්‍රොයිඩ් හෙවත් ගර්භාෂ ගෙඩි ඇතිවීම පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්වෙයි. මෙවැනි තත්ත්වවලදී බොහෝවිට ගර්භාෂ ආශ්‍රිත ශල්‍යකර්මවලට යොමු කිරීමට සිදුවන බැවින් බොහෝ කාන්තාවන් රෝග සඟවාගෙන සිටින අවස්ථාද අපට අසන්නට දකින්නට ලැබේ. මේ නිසා මේ සම්බන්ධයෙන් ආයුර්වේද විග්‍රහයක් ගෙන එන්නට අපි සිතුවෙමු.

    01. ෆයිබ්‍රොයිඩ් හෙවත් ගර්භාෂ ගෙඩි යනු මොනවාද?

    ආයුර්වේදයට අනුව ගර්භාෂයේ ඇතිවන ගෙඩි හිංසක අර්බුද සහ හිංසක නොවන අර්බුද ලෙස වර්ග කර දක්වයි. හිංසක අර්බුදය යනු ගර්භාෂයේ ආශ්‍රිතව පිළිකා තත්ත්වයකි. හිංසක නොවන අර්බුද අතරේ සූත්‍ර අර්බුද ලෙස ෆයිබ්‍රොයිඩ් තත්ත්වය හඳුනා ගනී. මෙය ගර්භාෂයේ ඇතිවන ගැටිති විශේෂයකි. වටකුරුය. එමෙන්ම තද ගතියෙන් යුක්ත ළාරෝස පැහැයක් ගනී. මෙම ගැටැතිවලින් හිංසාවක් හෝ බලපෑමක් වීම අඩුය. එනම් ගර්භාෂයේ මෘදු මාංශ පටක එකතුවීමෙන් මෙම ගෙඩි සෑදේ. කාන්තාවන්ගෙන් සියයට දහයකට වැනි ප්‍රමාණයකට මේ තත්ත්වය ඇතිවිය හැකිය. ඒ අතරිනුත් අවිවාහක කාන්තාවන්ට හා සම කළු කාන්තාවන්ට වැඩි වශයෙන් මෙම තත්ත්වය ඇතිවන බව පවසයි.

    02. මෙය පිළිකා තත්ත්වයක් විය හැකිද?

    මෙම ගෙඩිවලින් වැඩි බලපෑමක් ඇති නොවන නමුත් මේ තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් සියයට එකකට වැනි ඉතා සුළු ප්‍රමාණයකට පිළිකා තත්ත්වයක් දක්වාත් සංකීර්ණ විය හැකිය. බොහෝවිට ෆයිබ්‍රොයිඩ් තත්ත්වයේදී අවදානමක් ඇත්තේ අවුරුදු පහළොව සිට පනහ දක්වා වයසේ කාන්තාවන්ට වන අතර ඒ අතරිනුත් දරුවන් ඇති කාන්තාවන් හා දරුවන් අඩු කාන්තාවන් විශේෂ වෙයි.

    03. ගර්භාෂයේ ගෙඩි හටගන්නේ කෙසේද

    ෆයිබ්‍රොයිඩ් සඳහා බොහෝ විට ඊස්ට්‍රජන් හොර්මෝනය බලපෑම් කරයි. මෙම ගෙඩි ගර්භාෂයේ පිටත බිත්තිය ඇතුළත බිත්තිය ගර්භාෂය ඇතුළත ඇති ආවරණය ගැබ් ගෙලෙහි වැනි ස්ථානවල හට ගනී. ඉතා කුඩා ප්‍රමාණයේ ගෙඩි මෙන්ම උදර කුහරයම වසාගන්නා ආකාරයට ගෙඩි වර්ධනය විය හැකිය. එම ගෙඩිවල විශාලත්වය මත එහි ඇතිවන ලක්ෂණ වෙනස් විය හැකිය.

    04. රෝග ලක්ෂණ මොනවාද‍?

    ගර්භාෂ ෆයිබ්‍රොයිඩ්වල රෝග ලක්ෂණ ගෙඩිවල ප්‍රමාණය, පිහිටීම සහ පවතින ෆයිබ්‍රොයිඩ් ගණන අනුව වෙනස් විය හැකිය. සමහර කාන්තාවන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැකි අතර අනෙක් අයට දරුණු හෝ දිගු කාලීනව ඇතිවන ෆයිබ්‍රොයිඩ්වලින් පීඩා විඳිය හැකිය.

    පහත ලක්ෂණ පවතීනම් වෛද්‍යවරයෙක් වෙත යොමු වී ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක්ද යන්න හඳුනාගැනීම වැදගත් වේ.

    ආර්ථව සමයේදී අධික රුධිර වහනයක් වීම

    ආර්ථව සමයේදී රුධිරය කැටි ලෙස පිටවීම

    යටි බඩෙහි අධික වේදනාව

    අධික කොන්දේ වේදනාව

    වැඩි වාර ගණනක් මූත්‍රා පිටවීම

    මලබද්ධය

    වමනය

    ෆයිෆ්‍රොයිඩ් තත්ත්වය උත්සන්න වීමෙන් බඩ ඉදිරියට නෙරා ඒම වළලුකර පහළ කොටසේ ඉදිමීම නහර ගැට ගැසීම මලපහ කිරීමේ අපහසුතාව ආදී තත්ත්වයන් ඇති විය හැකිය.

    05. දරු පිළිසිඳ ගැනීම් සඳහා ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් බාධාවක් ද ?

    ෆයිබ්‍රොයිඩ් නිසා ගබ්සාවීම් විය හැකියි. ඒ නිසා දිගින් දිගටම ගබ්සාවීම් සිදුවන විට ස්කෑන් පරීක්ෂණයකින් එයට හේතුව ෆයිබ්‍රොයිඩ් දැයි පරික්ෂා කළ යුතුයි. ෆයිබ්‍රොයිඩ් සමග පිළිසිඳ ගැනීමකදී ඒ සඳහා ප්‍රතිකාර කළ හැකි වන්නේ ප්‍රසූතියට පසුවයි.

    06. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම මොනවාද

    මේ සඳහා බටහිර මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පවතී. වර්තමානය මේ සඳහා MRI වැනි පරීක්‍ෂණ කෙරේ. මේ රෝගය සඳහා ප්‍රතිකර්මවලට යොමුවීමේදී බොහෝ විට අර්බුදයේ ප්‍රමාණ, පිහිටි ස්ථානය, රෝගියාගේ වයස, විවාහක අවිවාහක බව, යන බොහෝ කාරණා සලකා බලයි. ඒ අනුව ආයුර්වේදයේ මේ සඳහා ශෝතන, ශ්‍රමණ තර්පන ආදී ක්‍රම යටතේ ප්‍රතිකාර කෙරේ. නිතිපතා නාරිවේද පරීක්ෂණ මගින් ෆයිබ්‍රොයිඩ් මුල් අවධියේදී හඳුනාගැනීමට උපකාරී විය හැකිය. කල් ඇතිව හඳුනාගැනීම සහ වෛද්‍ය ප්‍රතිකාර මගින් විශාල හෝ රෝග ලක්ෂණ සහිත ෆයිබ්‍රොයිඩ් හා සම්බන්ධ සංකූලතා වළක්වා ගත හැකිය.

    07 මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාගැනීමට කළ හැක්කේ මොනවා ද?

    ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් වැළැක්වීම සඳහා සහතික කළ ක්‍රමයක් නොමැති වුවද, ඇතැම් ජීවන රටා වෙනස්කම් උපකාරී විය හැකිය. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න. අධික බර හෝ තරබාරුකම ෆයිබ්‍රොයිඩ් වර්ධනය වීමේ අවදානම වැඩි කරයි. එම නිසා, ආහාර සහ ව්‍යායාම මගින් සෞඛ්‍යසම්පන්න බරක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න. එමෙන්ම සමබල ආහාර වේලක් ගන්න කාබනික පලතුරු, නැවුම් එළවළු සහ ධාන්‍ය වර්ගවලින් පොහොසත් ආහාර වේලක් ෆයිබ්‍රොයිඩ් අවදානම අඩු කිරීමට උපකාරී වේ. මත්පැන් පානය සීමා කරන්න. අධික ලෙස මත්පැන් පානය කිරීම ෆයිබ්‍රොයිඩ් අවදානම වැඩි කිරීමට සම්බන්ධ වී ඇත. යෝග, භාවනා, ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම හෝ සොබාදහමේ ඇවිදීම ඔබේ දෛනික චර්යාවට ඇතුළත් කළ හැකිය.

    ආයුර්වේද වෛද්‍ය අභයතිලක දේවගිරි

    aruna.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here