මුස්ලිම්වරුන්ගේ රාමසාන් උපවාස මාසය ඉකුත් 19 වන දා ආරම්භ විය. ඒ ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයට අනුව එහි නව වන හෙවත් රාමසාන් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟය.
ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයේ දස වන හෙවත් ෂව්වාල් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟ රාමසාන් උපවාසය නිමා කොට ඊදුල් ෆිතර් (Eid-ul-Fitr) උළෙල හෙවත් රාමසාන් උත්සවය සැමරීමට මුස්ලිම්වරු කටයුතු කරති. ඒ අනුව මෙම උපවාස කාලය සාමාන්‍යයෙන් දින තිහක් පමණ වේ. එහෙත්, ඒ රාමසාන් උත්සව දිනය ද අප රටේ සෙසු සැමරුම් මෙන් කල් ඇතිව කිව නොහැක. ඒ එය ෂව්වාල් මාසයේ නව සඳ දර්ශනය වීම මත පදනම් වන බැවිනි.
මුස්ලිම්වරුන්ගේ මෙම උපවාස සමය ශ්‍රී ලාංකික බහුතරය දැන සිටිනුයේ “නෝම්බි ඇල්ලීම” වශයෙනි. එහෙත් මේ ‘නෝම්බි’ යන වදනේ ගැඹුරු අරුත මුස්ලිම් නොවන බොහෝ දෙනෙක් හරිහැටි නොදනිති. ‘නෝම්බි’ යන වදනේ මූල රූපය ‘නෝන්බු’ වන අතර එය දෙමළ භාෂාවට අයත් වූවකි. එහි සරල අර්ථය වන්නේ ‘ව්‍රතයක් රැකීම’ හෝ ‘උපවාසයේ යෙදීම’ යන්නයි. උපවාසය යන්න මුස්ලිම්වරුන්ට පමණක් සීමා වූවක් නොවේ. ලොව බොහෝ ආගම්වල මෙය සිදු කළ යුතු බව නියම කොට තිබේ. ඒ පොදුවේ ආත්ම දමනය හෙවත් ස්වයං ශික්ෂණයක් සඳහා බව ඒ සම්බන්ධ කරුණු විමසීමේදී පෙනී යයි.

ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන්ට රාමසාන් උපවාස සමය යනු ස්වයං විනය පුහුණු කරන, අධ්‍යාත්මික ගුණවගාවන් ප්‍රගුණ කරන සහ දැඩිව යාච්ඤා කරන ශුද්ධ වූ මාසයකි. එමෙන්ම ලොව සෑම මිනිසකුටම එක සේ පොදු කුසගින්න අත්දැකීම පිණිස ද නියත ලෙසම යොදා ගත හැකි මෙය අපගේ හදවත් තුළ සහකම්පනය (Empathy) පුබුදුවාලීමට සමත් වන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ. මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුර්ආනය, මුහම්මද් නබි තුමාණන්ට දේව හෙළිදරව්වක් ලෙස මුල්වරට අනාවරණය වන්නට පටන් ගත්තේ ද මෙම මාසයේදී ය. එබැවින් මෙම මාසය මුස්ලිම්වරුන්ට ඉතා සුවිශේෂී වේ.
රාමසාන් උපවාස සමය සෑම විටම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසයට අයත් වේ. චන්ද්‍ර වර්ෂය පදනම් කරගත් ඉස්ලාමීය දින දර්ශනය ලෝක සම්මත දින දර්ශනය මෙන් වසරේ මාසවල දින අඩු වැඩි කොට කෘතිමව සකසා ගත් එකක් නොවේ. එබැවින්, රාමසාන් මාසය සෑම වසරකම දින 10-11 ක් පමණ ඉදිරියට පැමිණේ. මුස්ලිම් වරුන් සිය එදිනෙදා ලෞකික කටයුතු සඳහා සාමාන්‍ය දින දර්ශනය භාවිතා කළ ද, සියලුම ආගමික වතාවත් සඳහා ‘හිජ්රි’ (Hijri) දින දර්ශනය භාවිතා කරති.

නිරාහාරව සිටීම හෙවත් උපවාසය රැකීම ඉස්ලාමයේ මූලික මූලධර්ම හෙවත් ඉස්ලාමයේ කුළුණු පහ (අර්කානුල් ඉස්ලාම්) වන Shahada (විශ්වාශය ප්‍රකාශ කිරීම), Salah (නමැදුම), Zakat (පරිත්‍යාගය), Sawm (උපවාසය), Hajj (වන්දනාව) යන පංච මහා වගකීම්වලින් එකකි. මුස්ලිම්වරුන්ට නිරාහාරව සිටීම හුදෙක් සිරිතක් නොව, එය අල්ලාහ් දෙවියන්ගේ අණට කීකරුව ඉටුකළ යුතු අනිවාර්ය ආගමික වගකීමකි. රාමසාන් උපවාසයේ වැදගත්කම අල් කුර්ආනය සහ අල් හදීස් ආදී ඉස්ලාමීය මූලාශ්‍රවල මැනවින් දක්වා තිබේ. ඒවායේ සඳහන් අන්දමට රාමසාන් උපවාස සමයේ සෑම දිනකම අලුයම හිරු උදාවට පෙර සිට හිරු බැසීම දක්වා කිසිදු ආහාරයක් හෝ පානයක් ලබා නොගත යුතු ය. එලෙසම මෙම කාලය තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී අපිරිසිදු සිතුවිලි සහ නරක හැසිරීම්වලින් ඉස්ලාම් භක්තිකයා සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට වගබලා ගත යුතු වේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛනවල, පුවත්පත්වල සහ අධ්‍යාපනික ප්‍රකාශනවල බහුලවම භාවිත වන්නේ “රාමසාන්” යන අක්ෂර වින්‍යාසයයි. නමුත් මෙය අන් ආකාරවලින් දැක්වෙන අවස්ථා ද තිබේ. ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල උර්දු/පර්සියානු ආභාෂය සහිතව මෙම වචනය බහුලව භාවිත වේ. අරාබි භාෂාවේ නියම උච්චාරණයට (Ramadan) සමීපව ඉංග්‍රීසි බසින් ලියන විට මෙම වචනය භාවිත වේ. ඇතැම් ශාස්ත්‍රීය ලේඛනවල අරාබි ‘ළ’ ශබ්දය (Dhad) නිරූපණය කිරීමට මෙය භාවිත වේ. කෙසේ වෙතත්, සාමාන්‍ය සිංහල ව්‍යවහාරයේදී වඩාත් උචිත සහ සම්මත වචනය වන්නේ රාමසාන් යන්නයි.

ඉස්ලාමය ලොව සෙසු බොහෝ ආගම්වලින් වෙනස් වනුයේ එහි කිසිදු පැවිදි පාර්ශ්වයක් හෝ පූජක පන්තියක් නොමැති බැවිනි. ඒ අනුව ඉස්ලාමීය තීන්දු තීරණ ගැනීම ‘ෂරීආ’ (Sharia) නීතිය සහ ‘මස්ජිද්’ (Masjid) හෙවත් පල්ලිය කේන්ද්‍ර කරගත් ප්‍රජා ව්‍යුහයක් මඟින් සිදු කෙරේ. ඒ සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා (All Ceylon Jamiyyathul Ulama) හෙවත් මුස්ලිම් ධර්මධරයන්ගේ සභාවේ ද සක්‍රිය දායකත්වයක් හිමි වේ. ඉස්ලාමය අදහන සියලුම මුස්ලිම්වරු අල්ලාහ් ඉදිරියේ එක සමාන වෙති. ඔවුන්ගේ උසස් පහත් බව තීරණය වනුයේ ධනයෙන්, බලයෙන් හෝ තරාතිරමෙන් නොව, අල්ලාහ්ගේ නියමයන්ට අනුකූලව ජීවත් වෙමින් ලබන ආධ්‍යාත්මික හා සදාචාරාත්මක සංවර්ධනය මත පමණි.
මේ අතර මෙම නෝම්බි ඇල්ලීම හෙවත් රාමසාන් උපවාසය පිරිමින්ට සේම කාන්තාවන්ටත් පොදු ද යන පැනය මුස්ලිම් නොවන අපගේ හිතවතුන් සිය දහස් වර අසා තිබේ. ඒ ඉස්ලාමයේ කාන්තාවන් නොවැදගත් කොට සලකන බවට පවතින වැරදි සමාජ මතය නිසා බව අපගේ වැටහීමය.

ඉස්ලාම් දහමට අනුව රාමසාන් මාසයේ උපවාස කිරීම (Sawm) වැඩිහිටි සෑම මුස්ලිම් කාන්තාවකටම සහ පුරුෂයෙකුටම අනිවාර්ය (Fard) වූ වගකීමකි. කෙසේ වෙතත්, මෙම අනිවාර්ය බව ක්‍රියාත්මක වීමේදී සෞඛ්‍යමය සහ ශාරීරික තත්ත්වයන් මත පදනම්ව යම් යම් නිදහස් කිරීම් සහ සහන ලබා දී ඇත. උපවාසය අනිවාර්ය වන කොන්දේසි අතර මුස්ලිම් අයෙකු වීම හෙවත් ඉස්ලාම් භක්තිකයෙකු වීම මුල් තැනක් ගනී.
කුඩා දරුවන්ට උපවාසය අනිවාර්ය නොවන අතර, ඔවුන් එය පුහුණුවක් ලෙස පමණක් සිදු කරයි. එමෙන්ම උපවාසයේ යෙදෙන්නන් මානසික නීරෝගීභාවයකින් යුක්ත විය යුතුය. උපවාසය දරාගත හැකි සෞඛ්‍ය තත්ත්වයක් තිබීම ද වැදගත් වේ.
මෙම රාමසාන් උපවාසය කාන්තාවන් විසින් ද අනුගමනය කළ යුතු මුත්, ඔවුන්ට ඒ සඳහා වන විශේෂ සහන ද ඉස්ලාමයෙන් ලබා දී ඇති බව ශුද්ධ වූ අල් කුර්ආනය සහ සුන්නහ්ව ආදී මූලාශ්‍ර පරිශීලනයේදී පෙනී යයි. කාන්තාවන්ගේ ජෛව විද්‍යාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉස්ලාමය ඔවුන්ට උපවාසයෙන් තාවකාලිකව මිදීමට අවසර දීම ඒ සම්බන්ධ විශේෂිත තත්ත්වයකි.

ඔසප් සමය සහ ප්‍රසව කාලය යන කාලසීමාවන් තුළ කාන්තාවන් උපවාසයේ යෙදීම නොකළ යුතු මුත්, එම අතපසු වූ දින ප්‍රමාණය වසරේ පසුව එළඹෙන දිනයකදී සම්පූර්ණ කළ යුතුය. ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට උපවාසය නිසා මවගේ හෝ දරුවාගේ සෞඛ්‍යයට හානියක් වේ යැයි බියක් පවතී නම්, ඔවුන්ට උපවාසයෙන් මිදීමට අවසර ඇත. පසුව එම දින සම්පූර්ණ කළ යුතුය. මේ අතර රාමසාන් උපවාස සමයේ ලිංගික කටයුතුවලට ද තහංචි පනවා ඇති බවට දුර්මතයක් සමාජගත වී තිබේ. එහෙත් එසේ තහංචි පමුණුවා ඇත්තේ උපවාසයේ යෙදෙන හිරු නැඟීමේ සිට බැස යාම තෙක් කාලය තුළ පමණි.
ශුද්ධ වූ කුර්ආනයේ 2:187 වැකිය මඟින් “උපවාස රාත්‍රීන්හි ඔබේ භාර්යාවන් වෙත යාම ඔබට අනුමත කර ඇත” යනුවෙන් පැවසෙන අන්දමට, උපවාස කාලයෙන් බැහැරව ලිංගික කටයුතු සඳහා ද මුස්ලිම්වරුන්ට අවසර තිබේ. නමුත් ඒ පසුදා අලුයම උපවාසය ඇරඹීමට පෙර හෝ අලුයම යාඥාවට (Fajr) පෙර ශරීරය සම්පූර්ණයෙන් සෝදා පිරිසිදු කර ගැනීමේ (Ghusl) කොන්දේසිය මතය.
ඒ හැරුණු කොට උපවාසය නිසා යම් රෝගයක් හට ගන්නා හෝ උත්සන්න වන බවට වෛද්‍ය උපදෙස් මත තහවුරු වුවහොත් උපවාසයෙන් අත්මිදිය හැකිය. අධික වයස්ගත වීම නිසා උපවාසය දරාගත නොහැකි අයට ද ඉන් පූර්ණ ලෙස අත්මිදීමේ ආගමික අවසරය තිබේ. ඔවුන් ඒ වෙනුවට දිළින්දෙකුට ආහාර ලබා දීම වැනි පුණ්‍යකර්ම (Fidya) කළ යුතු බව ඉස්ලාමීය නියමයයි. එසේම දුර බැහැර ගමන් බිමන් සහ දීර්ඝ සංචාරවල නියැලෙන අයට ද මෙම උපවාසයෙන් අත්මිදී සිටිය හැක.


රාමසාන් උපවාසයේදී සෑම දිනකම සන්ධ්‍යාවේදී පවුලේ සාමාජිකයන් සහ ඥාති මිත්‍රාදීන් සමඟ එක්ව ආහාර බෙදා ගනිමින් උපවාසය අත්හරින අතර මෙම අවස්ථාව හැඳින්වෙනුයේ ඉෆ්තාර් (Iftar) යනුවෙනි. මෙහිදී පළමුව රට ඉඳි ගෙඩියක් හෝ දෙක තුනක් ආහාරයට ගැනීම සිදුවේ. ඒ මුහම්මද් නබි තුමාණන් ද එසේ කළ බව සඳහන් වන බැවිනි. මෙම උපවාස කාලය තුළ ශරීරයේ සීනි මට්ටම පහළ බැස තිබේ නම් රට ඉඳි ගෙඩියක් කා වතුර ස්වල්පයක් පානය කිරීමෙන් එය යථා තත්ත්වයට පත් වනු ඇත.
රාමසාන් උපවාස මාසය අවසානයේ ඉතා උත්කර්ෂවත් ලෙස ඊද් අල්-ෆිතර් (Eid al-Fitr) උත්සවය සමරනු ලබයි. මෙය “කෘතඥතාවේ උත්සවය” ලෙස ද ප්‍රකටය. ලොව පුරා ඉස්ලාමීය සංකේතය ලෙස භාවිතා වනුයේ අඩ සඳ සහ තරුවකි. ඊට හේතුව වන්නේ රාමසාන් උපවාසය ඇරඹීම, අවසන් කිරීම, හජ් වන්දනාව ආදිය මුස්ලිම්වරුන්ගේ සියලුම ආගමික කටයුතු තීරණය කරනු ලබන්නේ නව සඳ දැකීම පදනම් කරගෙන බැවිනි. අඳුරු රාත්‍රියක මග සොයා ගැනීමට තරු උපකාර වන්නා සේම, සඳ සහ තරු ද දෙවියන් වහන්සේ මිනිසාට මග පෙන්වීම සඳහා මැවූ මඟ සලකුණු ලෙස ඉස්ලාමීය සංස්කෘතියේ ගෞරවාදරයට පාත්‍ර වේ.

නමුත් මෙවැනි මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික සංස්කෘතික කරුණු පොදු සමාජය හමුවේ අනාවරණය නොවීම මත මෙම සිරිත් විරිත් සහ සංස්කෘතික සම්ප්‍රදායන් සම්බන්ධ අප සිනා ගන්වන දුර්මත පැතිර යමින් තිබේ. නමුත් ඒවා දුරලීම පිණිස වන අදහස් මාධ්‍ය මඟින් සමාජගත කිරීමට ව්‍යක්ත ලෙස සිංහල භාෂාව භාවිතා කළ හැකි ඇතැම් මුස්ලිම්වරුන් තුළ ද එතරම් උනන්දුවක් නොමැති බව පෙනෙයි.

(සටහන | ෆාතිමා හලල්දීන්)
උපුටා ගැනීම – vinivida.lk




