නීතීඥ සංගමයේ දෙබිඩි පිළිවෙත විවේචනය කරමින් අහිම්සාගෙන් ලිපියක්

0
62

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති පාරින්ද රණසිංහ ගත් තීරණය සහ ඔහු ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ලසන්ත වික්‍රමතුංගගෙ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතීඥ සංගමයේ සභාපති, අනුර බී මැද්දෙගොඩ වෙත ලිපියක්‍ යොමු කර තිබෙනවා.

අහිම්සා පෙන්වා දෙන්නේ, නීතිපතිවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාට සහ රජයට සැඟවුණු තර්ජනයක් ඇතුළත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය 2025 පෙබරවාරි 7 නිකුත් කර ඇති ලිපිය පිළිබඳ කණස්සල්ලට පත්වන බවයි.

නීතිපතිවරයා , ඇයගේ පියාගේ ඝාතන විමර්ශනයට හිතාමතාම බාධා කළ බවත් තවත් නඩු විභාග කිහිපයකට තෝරා බේරා ගෙන මැදිහත්වෙමින් සිය බලය අවභාවිත කර ඇති බවත් අහිම්සා සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග, සිය ජීවිත කාලය පුරාවටම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකුව සිට ඇති නමුත්, ඔහු ඝාතනයට ලක්වී වසර 16ක් වන තෙක්ම නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කිරීමට කිසිදු විටෙක මැදිහත් වී නොමැති බවද ඇය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 2022 ඔක්තෝබර් 12 වන දින ඝාතනය කරන ලද මහේෂ් ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනයට චෝදනා ලැබූ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයෙකු සාක්ෂි රැසක් තිබියදී නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ අවස්ථාවේදී නීතීඥ සංගමය මීට වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවද ඇය පෙන්වා දෙනවා.

එම අවස්ථාවේදී ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ ඔහුගේ සේවාදායකයා වූ මියගිය මහේෂ් ඉන්දිකගේ බිරිඳගේ උපදෙස් මත, 2024 ඔක්තෝබර් 21 වන දින ජනාධිපතිවරයාට ලිපියක් යවමින්, නීතිපතිවරයාගේ තීරණය සමාලෝචනය කිරීමට රජයේ සහාය ඉල්ලා සිටි බවද අහිම්සා සිය ලිපිය මඟින් සිහිපත් කර තිබෙනවා.

අහිම්සා සිය ලිපිය මඟින් අවසාන වශයෙන් අවධාරණය කර ඇත්තේ, නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය නැවත ඇති කරන නීතිපතිවරයෙකු ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බවයි.

“නීතිපතිවරයාට දෝෂාභියෝගක් ගෙන ආ යුතුයි. ඔහුගේ අසාර්ථකත්වය අතපසුවීමක් නොව හිතාමතාම බාධා කිරීමේ ක්‍රියාවකි. සාක්ෂි පිළිගැනීම ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔප්පු වන්නේ ඔහුගේ ප්‍රමුඛතාවය නීතිය ආරක්ෂා කිරීමට වඩා ඔහුගේම කීර්ති නාමය ආරක්ෂා කිරීම බවයි.

මෙම ගැටලුවේ බරපතලකම හඳුනාගෙන නීතිපතිවරයාගේ දෝෂාභියෝගය සඳහා වන මගේ ඉල්ලීමට සහාය දෙන ලෙස මම නීතිඥ සංගමයෙන් තරයේ ඉල්ලා සිටිමි. මෙය මගේ පියා පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. එය ඔබේම සේවාදායකයා සහ මහර බන්ධනාගාර සංහාරයේ වින්දිතයින් ඇතුළුව රාජ්‍ය අනුමැතිය ලත් අසාධාරණයට ගොදුරු වූ සියලු දෙනා ගැනයි.”

news19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here