ගුරුවරියන්ට සාරි අඳින්න බලකරන්න බැහැ

0
67

පහසු ඇඳුමකින් පාසලට පැමිණෙන ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කරන විදුහල්පතිවරුන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ‘මව්බිම’ වාර්තා කරනවා.

ඇතැම් විදුහල්පතිවරුන් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කරන්නැයි බලපෑම් කරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසා ඇත්තේ, මෙම සියලු විදුහල්පතිවරුන් පෞද්ගලික තීරණ අනුව ගුරුවරිය ඇඳුම වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවයි.

චක්‍රලේඛ මඟින් හෝ සේවා ව්‍යවස්ථා මඟින් ගුරුවරුන්ට නිශ්චිත ඇඳුමක් නියම කර නැති බවත් පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව තීරණ ගැනීමට නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

ඇතැම් විදුහල්පතිවරුන් පෞද්ගලිකව ගනු ලැබූ මෙවැනි තීරණ හේතුවෙන් පාසල්වල හා විභාග ඇගයීම් මධ්‍යස්ථානවල ගැටලු නිර්මාණය වී ඇති අතර විදුහල්පතිවරුන්ගේ එවැනි හැසිරීම් වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරී මට්ටමේ සාකච්ජාවක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව, ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ නොගන්නා ලෙසත්, යම් ගැටලුවක් තිබේ නම් අමාත්‍යාංශයෙන් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉදිරියේදී විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බවත් මධුර සෙනෙවිරත්න පවසා තිබෙනවා.

මේ අතර. මහරගම ජනාධිපති විදුහලේ උසස් පෙළ විභාග ඇගයීම් මධ්‍යස්ථානයේ රාජකාරී කළ ගුරුවරියන්ට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා දැනුම් දී තිබීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද ඔහු සඳහන් කර තිබුණා.

එසේම පන්නිපිටිය ධර්මපාල විදුහලේ උසස් පෙළ විභාග ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරියන්ට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා දැනුම් දී තිබීම පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවත්, එම කමිටු වාර්තාව අනුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ගුරුවරියන්ට පහසු ඇඳුමක් ඇඳ පාසලට පැමිණීම සඳහා ඇති අයිතිය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරාවට සටනක නියැලුණු ගුරුවරියක් වන තිලිනි ෂැල්වින් මේ පුවත සම්බන්ධයෙන් සිය ෆේස් ගිණුමෙහි තැබූ සටහන් කිහිපයක් පහතින්,

“අපේ ගුරු සංගම් නියෝජිතයින් ඊයෙ අග්‍රාමාත්‍ය තුමිය හමු වුණාම මේ සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් කරන බව ඇය කියා තිබුණා. මේ නිවුස් එකම අපිට තරමක සවියක් මේ වෙලේ හැටියට. කාන්තාවක්, ගුරුවරියක් විදිහට ඇඳුම කෙරෙහි පනවා ඇති අනීතික බලපෑම් නිසා බොහෝ පීඩනයන්ට ලක් වූ අයෙක් මම. මේවා විමර්ශන වලින් නොනැවතී මේ වගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන විදුහල්පතිලට දැඩි දඬුවම් දෙනවනම් අධ්‍යාපන පද්ධතියෙ බොහෝ නොකටයුතුකම් විසඳේවි. මොකද ඇඳුම නිසා විදුහල්පතිලා සීනියර් ගුරුවරු පෙළන්නෙ ගුරුවරියන්ව විතරක් නෙවේ. දෙමව්පියන්ට සහ ළමයින්ටත් මේ බලහත්කාරයන් සිදු වෙනවා රටේ අස්සක් මුල්ලක් නෑරම.”

“අවුරුදු දෙකක් අපහාස විඳලා විඳලා අන්තිමේ අපි දිනුවා… ඉක්මනින් මේ පිළිබඳ ලිඛිත චක්‍රලේකයකින් දැනුම් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භාදක පනවන විදුහල්පතිලට කලාප අධ්‍යක්ෂකලට පළාත් අධ්‍යක්ෂකලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි කියල හිතෙනව. අපිව පෙළපු අය සම්බන්ධ පැමිණිළි වලට ක්‍රියාත්මක වෙයි කියලත් හිතනව. අපිව නින්දාවට පත්කරපු විදුහල්පතිල දැන් පෙන්ශන්. ඩිරෙක්‍ටර්ස්ලනම් තාම ඉන්නව අපිට එක එක හේතු වලට ලියුම් ගගහ.

ස්තූතියි NPP රජයට. සහ අපිව අත් නොහැර අල්ලන් හිටපු ලංකා ගුරු සංගමයට”

උපුටා ගැනීම news19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here