පිරිමින්ට දඬුවමක් ලෙස කාන්තාවන් පමණක් නැරඹූ ඉරානයේ පාපන්දු තරගය

Author

Categories

Share

ඉරානයේ ඉහළම පෙලේ පාපන්දු තරගයක් නැරඹීමේ අවස්ථාව කෙල්ලන් හා කාන්තාවන්ට පමණක් ලබා දීමේ සිද්ධියක් ඉස්ෆහාන් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Naqsh-e Jahan ක්‍රීඩාංගණයේදී සෙපාහාන් (Sepahan) හා පෙසෙපලස් (Persepolis) කණ්ඩායම් අතර පැවති වෘත්තීය ලීග් පාපන්දු තරගය ක්‍රීඩා කෙරුනේ විශේෂයෙන් තරුණියන් හා කාන්තාවන්ගෙන් පමණක් සමන්විත නරඹන්නන් පිරිසක් ඉදිරියේ. සත්කාරක කණ්ඩායම වූ සෙපාහාන් ගෝල් 2-1කින් මේ තරගය ජය ගත්තා.

කාන්තාවන් පමණක් තරගය නැරඹීමේ මේ තීරණය ගෙන තිබුනේ මේ කණ්ඩායම් දෙක අතර මීට පෙර මැයි මාසයේ ටෙහෙරානයේ Azadi ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී සෙපාහාන් චියර්ලීඩර්ගේ මෙහෙයවීමෙන් එම කණ්ඩායමේ ක්‍රීඩාලෝලීන් පෙසෙපලස් කණ්ඩායමේ කාන්තා ක්‍රීඩාලෝලීන්ට නින්දිත පාඨ කෑගසමින් පරිභව කිරීම හේතුවෙන්.

ඉරාන පාපන්දු සම්මේලනය මේ කණ්ඩායම් දෙක ට ම දඩ ගසමින් ඔවුන්ගේ ඊළඟ තරග දෙක ක්‍රීඩා කළ යුත්තේ කාන්තා ක්‍රීඩාලෝලීන් ඉදිරියේ පමණක් බවට නියෝග කළා.ඉරානයේ ප්‍රධානතම පාපන්දු තරගයක් නැරඹීමට කාන්තා ක්‍රීඩාලෝලීන් දසදහස් ගණනකට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ඔහුගේ හෘදයාංගම කෘතඥතාව ඉරාන බලධාරීන්ට පළකර තිබෙනවා.


ඉස්ලාමීය ජනරජයේ පැවැත්වෙන පාපන්දු තරගවලින් නිරන්තරව කාන්තාවන් බැහැර කිරීම හේතුවෙන් ඉරානය ට 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තහනම් කරන ලෙසට කෙරුනු ඉල්ලීම්වලින් පසුව, ඉන්ෆන්ටීනෝ එරට නායකත්වය සමග පෞද්ගලිකව සම්බන්ධවීමේ ප්‍රතිපත්තියක් තෝරා ගත්තා.

ඉරානයේ දරුණුතම පාපන්දු ප්‍රතිවාදී සමාජ කණ්ඩායම් දෙකක් අතර පැවති අලුත්ම තරගය සඳහා පැමිණීමට කෙල්ලන් හා කාන්තාවන් 45,000කට පමණ අවසර ලබා දීම පිළිබඳව තමා ඉතාමත් සතුටට පත්ව සිටින බව ඉන්ෆන්ටීනෝ පවසනවා.

පාපන්දු තරග නැරඹීම සඳහා තරුණියන් හා කාන්තාවන්ට අවස්ථාව ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ජගත් පාපන්දු සම්මේලනය ඉරානයේ බලධාරීන් සමග නිරන්තර සාකච්ඡා පවත්වා ඇතැයි ස්විට්සලන්ත ජාතික ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.

“පෙසෙපලස් හා එස්ටෙග්ලාල් (Esteghlal) කණ්ඩායම් අතර පසුගිය වසරේ පැවති ටෙහෙරාන් තරගය නැරඹීම සඳහා තරුණියන් හා කාන්තාවන් 3,000ක් පැමිණීමෙන් පසුව, මේ අලුත්ම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ අපේ ක්‍රීඩාව සියලු දෙනාටම වින්දනයක් ලැබිය හැකි දීප්තිමත් නියෝජනයක් බවට පත්ව තිබෙන ආකරය. අනාගතයේදී මීටත් වඩා කාන්තාවන් හා තරුණියන් නිතරම පාපන්දු තරග නැරඹීමට පැමිණෙනු දැකීමට මම කැමතියි” ඉන්ෆන්ටීනෝ කියනවා.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉරානය ඉවත් කරන ලෙසට ඉල්ලා සිටි කාන්තා අයිතීන් මෙහෙයුම් සංවිධානය, කාන්තා ක්‍රීඩාලෝලීන් විසින් ක්‍රීඩාංගණය ‘එඩිතර විරෝධයේ සංකේතයක්’ බවට හරවා ඇතැයි සඳහන් කර තිබෙනවා.

“ක්‍රීඩාංගණවලට කාන්තාවන්ගේ ඇතුළුවීම ඉතාම සීමා කර තිබුනා. නමුත් අද, පිරිමි ක්‍රීඩාලෝලීන්ට කළ දඬුවමක් වශයෙන් කාන්තාවන්ට පමණක් තරගය නැරඹීමට ඉරාන පාපන්දු සංගමය ඉඩ දුන් අතර සෙපාහාන් ක්‍රීඩාංගණය කාන්තාවන්ගෙන් පිරී තිබුනා. ඉරාන ජාතිකයන්ට ක්‍රීඩාංගණවලට පිවිසීමේ සමාන හා සාමාන්‍ය මාර්ගයට තවදුරටත් සැලකිය යුතු අවධානයක් අවශ්‍යව තිබෙනවා” යනුවෙන් තරගයෙන් පසුව සමාජ මාධ්‍ය පෝස්ටුවකින් එම සංවිධානය සඳහන් කර තිබෙනවා.

සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

Author

Share