ශ්‍රී ලංකාවේ 250,000කට ආසන්න අලුත උපදින බිළිඳුන්ගෙන් 2,000කට වැඩි දරුවන් ගණනක් ඉපදී වසරක් යාමට මත්තෙන් මිය යන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අනාවරණය කර තිබේ.
වාර්ෂිකව උපදින බිළිඳුන් 2,500-2,600ක් අතර ගණනක් මෙලෙස මිය යන බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න බීබීසි සිංහල සේවයට පැවසීය.
2019 වසරේදී මෙරට සජීවී දරු උපත් 319,010ක් සිදුව ඇති අතර, 2023 වසර වන විට එය 247,900ක් දක්වා පහත වැටී ඇත.
ළමා මරණ අනුපාතය
ළමා මරණ අනුපාතිකය අනුව මෙරට අලුත උපදින බිළිඳුන් 1,000කින් 8 දෙනෙකු මිය යන බව වාර්තාවල සඳහන් වේ.
කලාපයේ අනිකුත් රටවල් සමග සංසන්දය කිරිමේදී එය අඩු මට්ටමක පවතින අතර, වසරකට ළමා මරණ අනුපාතිකය දහසකට ඉන්දියාවේ 26ක්, පකිස්ථානයේ 51ක්, නේපාලයේ 23ක් සහ බංගලාදේශයේ 24ක් ලෙස වාර්තා වන බව වෛද්‍ය කපිල ජයරත්න පෙන්වා දුන්නේ ය.
අලුත උපන් බිළිඳුන් මිය යන්නේ ඇයි?
මෙසේ බිළිඳුන් මිය යාමට මූලික ම හේතුවක් ලෙස විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනු ලැබුවේ උපත් ආබාධ යි.
“ඔය 2,500න් 900ත් 1,000ත් අතර ගාණක් උපත් ආබාධ නිසා මිය යනවා. ඊළඟ දේ තමයි නොමේරූ දරුවෝ, 700ක්, 800ක් විතර ඉන්නවා. ඔය දෙක අපිට අඩු කර ගන්න පුළුවන් වුණා නම් අපේ ළදරු මරණ අනුපාතිකය සෑහෙන්න අඩුයි.”
“අපේ වසරකට උපදින ළමයි 250,000න් 4,000ක් 5,000ක් විතර උපතේදී ආබාධ ඇති දරුවන්. ඒ අතරින් 900ක් 1,000ක් විතර මිය යනවා,” කපිල ජයරත්න විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
එම උපත් ආබාධවලින් 30%ක් පමණ මාරාන්තික ආබාධ ලෙස සලකන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

උපතේදී සිදුවන ආබාධ වළක්වා ගන්නේ කෙසේ ද?
උපත් ආබාධ ලෙස සැලකෙන්නේ, ප්‍රධාන ලෙස හෘද රෝග, ස්නායු ආබාධ, බඩවැල් හා වකුගඩු නොමැතිව ඉපදීම යනාදිය යි.
කිරි දරුවන් උපත් ආබාධවලින් වළක්වා ගැනීමට පෙර සූදානමක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ද විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න බීබීසි සිංහල සේවයට පැහැදිළි කළේ ය.
“අවුරුදු 35ට කලින් දරුවෝ හදන්න කියන එක. අම්මගේ වයස්ගතභාවය දරු ගැබ පිළිසිඳ ගන්නකොට තියෙන එක ප්‍රධාන සාධකයක්. තමන්ට රෝගී තත්ත්වක් තියෙනවා නම්, දියවැඩියාව, නිධන්ගත රෝගී තත්ත්ව තියෙනවා නම් හොඳින් ප්‍රශස්තව පෙර සූදානම් වූ ගර්භණී තත්ත්වයකට යන එක තමයි උපත් ආබාධ වළක්වන්න පුළුවන් ප්‍රධාන ක්‍රමය.”
එමෙන් ම, දීර්ඝ ස්ථූලභාවය අඩු කර ගැනීම හරහා ද උපත් ආබාධ දරුවන් බිහි වීම වළක්වා ගත හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ ප්‍රධානියා පවසයි.
“පළවෙනි වරට ප්‍රෙග්නන්ට් වෙන අයගෙන් 25%ක්, 30%ක් ශරීර ස්කන්ධ දර්ශකය 25ට වැඩි යි. දෙවෙනි වරට ගැබ්ගන්න කාන්තාවන් 75%කගේ විතර ස්ථූලභාවය වැඩි යි.”
ලේ ඥාතීන් අතර විවාහ සිදු නොකිරීම හරහා ද උපත් ආබාධ වළක්වා ගත හැකි ය.
උපත් ආබාධ ඇති වෙන වෙනත් හේතු
ඉතා හොඳ පෙර සූදානමකින් දරුවෙකු පිළිසිඳ ගත්ත ද, වෙනත් හේතු නිසා ද කළලයේ විකෘතිතා ඇති වන බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැහැදිළි කළේ ය.
“දරු ගැබට සති 18-20 වෙද්දි විකෘතිතා හඳුනා ගැනීමේ ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඒකෙදි ව්‍යුහාත්මක උපත් ආබාධ ඒ කියන්නේ ශරිරයේ කොටස්වල ඉන්ද්‍රියන්ගේ තියෙන උපත් ආබාධ 80%ක් විතර අඳුරගන්න පුළුවන්.”
”ඉන් ඇතැම් උපත් ආබාධ සුව කළ හැකි වුණත් ඇතැම් ආබාධ මාරාන්තික යි.”
“ඒගොල්ලෝ ඉපදුණත් ජීවත් වෙන්නේ නෑ වැඩි කාලයක්.”

ගර්භණීභාවය නිමා කර උපත් ආබාධ වැළැක්වීම
විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න අවධාරණය කළේ, ළමා මරණ අනුපාතිකය අවම කළ හැක්කේ මාරාන්තික උපත් ආබාධ සහිත කළල ඉවත් කර, ගර්භණීභාවය නිමා කිරීම හරහා බව ය.
“වෙන රටවල්වල නම් ඒකට ඔෆර් කරනවා ගර්භණීභාවය නිමා කරන්න. නමුත් අපේ රටේ මේ සඳහා නීතියක් නැහැ. අපේ නීතියෙන් දරු ගැබක් ඉවත් කරන්න පුළුවන් මවගේ ජීවිතයට හානියක් වෙනවා නම් විතර යි.”
“ඕක ගැන දන්න සල්ලි තියෙන අය ඉන්දියාවට හරි සිංගප්පුරුවට හරි ගිහින් ගර්භණීභාවය ඉවත් කරගෙන එනවා. ඕවා ඇති වෙන්නෙත් අඩු ආදායම් තියෙන අයට තමයි. ඒක තමයි අපි වැඩිපුර ම දකින දේ. කුස තුළ ඉන්න දරුවා ආබාධ විකලාංග ඇතුව කුස තුළ විඳවනවා. ඊට පස්සේ සති 40න් පස්සේ ඉපදෙනවා. ඊට පස්සේ මාසයක් දෙකක් ඉඳලා ඒ ළමයා මැරිලා යනවා.”
‘එයා දන්නවා දරුවා ඉපදුණාට මැරෙනවා කියලා. ඒක මොන තරම් විඳවීමක් ද?’
ඇතැම් අවස්ථාවල දරුවෝ උපතේ සිට මිය යන තුරු ම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.
“ඉපදිච්ච දරුවා ආබාධ එක්ක ඔහේ දාලා තියෙනවා. දෙමව්පියෙක් වශයෙන් කොහොම ද ඉවසා දරාගෙන ඉන්නේ. ඒ වගේ ම දරු ගැබ දරාගෙන ඉන්න කාලය තුළ ඒ ගෑනු කෙනාට මොන තරම් විඳවීමක් ද, එයා දන්නවා දරුවා ඉපදුණාට මැරෙනවා කියලා.”
ආබාධ සහිත ජීවත් නොවන දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැරීමට සිදුවන වියදම හා ශ්‍රමය ද විශාල බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ඇතැම් අවස්ථාවල මාරාන්තික ආබාධ සහිත දරුවකුට ප්‍රතිකාර කිරීම ජීවත් විය හැකි දරුවෙකුගේ ජීවිතය අහිමි වීමට පවා බලපෑ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.
“වෙන්ටිලේටර් එකට හයි කළාට පස්සේ අපිට ගලවන්න බෑනේ. ඒ නිසා ජීවත් වෙන්න තියෙන නියුමෝනියාව හැදිලා ආපු දරුවෙකුට වෙන්ටිලේටර් එකක් නැති වෙන්න පුළුවන්.”

තවමත් පමා වී ඇති නීතිය
වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ උපත් ආබාධ සහිත කළල ඉවත් කර ගර්භණීභාවය නිමා කිරිමට අවශ්‍ය නීති සම්පාදනය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සභාපතීත්වය දරන ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය මහත් සේ වෙහෙසෙමින් කටයුතු කරයි.
මීට අදාළ සියලු සාකච්ඡා අවසන් කර නීති කෙටුම්පත ද සකසා අවසන් බව කී විශේෂඥ වෛද්‍යවරයා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව තමවත් ප්‍රමාද බව පවසයි.
“ඒකට ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. පළවෙනි දේ මේක තහවුරු වෙන්න ඕනේ ස්කෑන් පරීක්ෂණයකින් සහ අනිත් පරීක්ෂණවලින්, ජීවත් වෙන්න බැරි කළලයක් තමයි තියෙන්නේ කියලා. ඊළඟට ක්ෂේත්‍ර දෙකක ඉන්න වෛද්‍ය විශේෂඥවරු දෙන්නෙක් තහවුරු කරන්න ඕනේ මේක කම්පැටිබල් නැහැ කියලා ඉස්සරහට යන්න. තුන් වෙනි එක මව ඒකට ඉල්ලීමක් කරන්න ඕනේ. හතර වෙනි එක ඒක කරන්නේ රජයේ රෝහලක විතර යි,” සකසා ඇති නීති කෙටුම්පතින් පනවා ඇති ප්‍රධාන කොන්දේසි කිහිපයක් විශේෂඥ වෛද්‍යවරයා එලෙස පැහැදිළි කළේ ය.
මාරාන්තික උපත් ආබාධ සහිත කළලයක් දරා සිටින කාන්තාවගේ කැමැත්ත නොමැතිව කිසිදු අවස්ථාවකදී ගර්භණීභාවය නිමා නොකරන බව ද විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පෙන්වා දුන්නේ ය.
“දැනටමත් අපි හිතමුකෝ අධිරුධිර පීඩනයෙන් අම්මා කෙනෙක් ආවා කියලා ඔය අනංමනං මුකුත් බලන්නේ නෑ, දරු ගැබ අයින් කරනවා. සමහර විට සති තිස් ගණන්වල ළමයි. මවගේ ජීවිතයට හානියක් වෙන නිසා කරනවා,” ඔහු පැහැදිළි කළේ ය.
උපුටා ගැනීම BBC