Chemsex: ‘එයාව බේර ගන්න ඇවිල්ලා මමත් ඒකට පුරුදු වුණා’

    0
    137

    ‘මම මුලින්ම මේකට පුරුදු වුණේ මගේ හිටපු පෙම්වතා නිසා. එයාගෙන් තමයි මම මේකට පුරුදු වුණේ.’ 27 වන වියේ පසුවන නයෝමි සිය අත්දැකීම පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවාය.

    සමාජයේ බහුලව ‘අයිස් මත්ද්‍රව්‍ය’ ලෙස හැඳින්වෙන ‘මෙතැම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය’ භාවිත කිරීම සඳහා තමන් මීට වසරකට පමණ පෙරදී හුරු වී සිටි බව නයෝමි පැවසුවාය.

    ඇය වැඩිදුරටත් තම අත්දැකීම පිළිබඳ හෙළිකරමින් කියා සිටියේ ලිංගිකව එක්වීමේදී තමන්ට මෙන්ම හිටපු පෙම්වතාට ද මත්ද්‍රව්‍ය නැතිවම බැරි තත්ත්වයකට පත්වූ බව යි.

    සිය අනන්‍යතාවය ආරක්ෂා කරන ලෙස සිදුකළ ඉල්ලීම අනුව ඇය මෙන්ම මෙම ලිපිය සඳහා සිය අත්දැකීම් ගැන අදහස් දැක්වූ පුද්ගලයින් අන්වර්ථ නාමවලින් හැඳින්වීමට බීබීසී සිංහල සේවය කටයුතු කර තිබේ.

    මොකක්ද මේ Chemsex කියන්නේ ?

    ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ වැඩි ලිංගික ආස්වාදයක් ලබා ගැනීම සඳහා ලිංගික ක්‍රියාවලියට පෙර මත්ද්‍රව්‍ය හෝ ඖෂධ භාවිත කිරීම ‘Chemsex’ යනුවෙන් හඳුන්වන බවයි.

    ”මොනවා හරි කෙමිකල් සබ්ස්ටන්ස් එකක් සෙක්ස් කරන්න කලින් අර ගන්නවා නම් අපි ඒකට Chemsex කියලා හඳුන්වනවා. සෙක්ෂුවල් ප්ලෙෂර් එක වැඩි කරන්න තමයි මේක ගොඩක් අය භාවිත කරන්නේ. අපි මේ භාවිත කරන සබ්ස්ටන්ස් මොනවාද කියලා කියන්නේ නැහැ.”

    “මේ වගේ අවස්ථාවලදී වෛද්‍ය අනුමැතියෙන් යුක්තවන ඖෂධ හෝ අනුමැතියෙන් තොරව තියෙන ඖෂධ හෝ කෙමිකල්ස් වෙන්න පුළුවන්. ගොඩක් අය මේවා පාවිච්චි කරන්නේ පාර්ටිස් වලදී. මොකද ඒ වගේ තැන් වලදී අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්වලට යොමු වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝග වලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

    “හුඟක් තෝරා ගත් කණ්ඩායම් වලට මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරනවා. දැනට ලංකාවේ මේ ගැන දත්ත ඒකරාශී කිරීමේ වැඩසටහනක් මේ වසරේදී ආරම්භ කරන්න පටන් ගන්නවා.’ විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

    ස්ත්‍රී පුරුෂ සබඳතාවයකදී ලිංගික ක්‍රියාවලිය වැඩි කාලයක් සිදුකිරීමට සහ එම ක්‍රියාවලිය පහසු කරලීම සඳහා ‘Chemsex’ හෙවත් ලිංගික ක්‍රියාවලිය වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට යුරෝපයේ රටවල පුද්ගලයින් පෙළඹී සිටින බව ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් 2024 ජුනි මස 25 වැනිදා නිකුත් කර ඇති වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

    විශේෂයෙන් සමලිංගික ප්‍රජාව ඇතුළුව විවිධ ප්‍රජාවන් අතර මෙම Chemsex හෙවත් ලිංගික ක්‍රියාවලියන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව එම පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

    HIV/AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන වන UNAIDS විසින් 2024 වසරේ නොවැම්බර් මස 13 වැනිදා නිකුත් කර ඇති වාර්තාවකට අනුව 2023 වසර වන විට, ආසියා පැසිෆික් කලාපයේ නව HIV ආසාදිතයින්ගෙන් සියයට 43% ක් පමණ පුරුෂයින් සහ පුරුෂයින් අතර ලිංගික ක්‍රියාවලියේ නිරතවූවන් බව අනාවරණ වී තිබේ.

    ඒ අතරම, මෙම ප්‍රජාව තුළ කෙම්සෙක්ස් භාවිතය රටවලට අනුව 3% සිට 31% දක්වා පරාසයක පවතින බවට සාක්ෂි තිබෙන නමුත් සමරිසි ප්‍රජාව තුළ Chemsex භාවිතය වඩාත් ඉහළ අගයක් ගනු ලැබුව ද මෙය අනෙකුත් පුද්ගලයින් ද භාවිතා කරනු ලබන බව එම වාර්තාවේ සඳහන්ව ඇත.

    ‘එයාව බේර ගන්න ඇවිල්ලා මමත් ඒකට යොමු වුණා’

    ඇය මෙන්ම මෙරට තරුණ සහ වැඩිහිටි ප්‍රජාව ලිංගිකව එක්වීමේදී වැඩි කාලයක් එම ක්‍රියාවලියේ නිරතවීම සඳහා අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවීම කලක සිට පවතින බව බීබීසී සිංහල සේවයට කරුණු හෙළිවිය.

    සිය හිටපු පෙම්වතා නිසා තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම සම්බන්ධයෙන් නයෝමි මෙලෙස බීබීසී සිංහල සේවය වෙත කරුණු පැහැදිළි කර සිටියා ය.

    ‘ මගේ හිටපු බෝයි ෆ්‍රෙන්ඩ් රට හිටපු කෙනෙක්. එයා රට ඉන්න කොටයි අයිස් මත්ද්‍රව්‍ය ගන්න එකට පුරුදු වෙලා තිබුණේ. ඒ වෙද්දී එයා වෙන ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙන්නේ. පස්සේ එයා ලංකාවට ඇවිත් අයිස් මත්ද්‍රව්‍ය ගන්න එක නතර කරලා තිබුණා. ඒ වෙද්දී අපි දෙන්නා යාලුවෝ වගේ ආශ්‍රය කළේ.”

    ”එහෙම ඉන්න අතර වාරයේදී තමයි මගේ හිටපු බෝයි ෆ්‍රෙන්ඩ් යාලුවෙලා හිටිය ගර්ල් ෆ්‍රෙන්ඩ් එක පාරටම වෙන විවාහයක් කරගෙන තිබුණේ. ඒ සිද්ධියත් එක්ක ආපු පීඩනය නිසා එයා ආපහු අයිස් මත්ද්‍රව්‍ය ගන්න පෙළඹුණා.”

    ”මගේ හොඳම යාලුවෙක් වුන නිසා මම එයාව ඒකෙන් ගලවා ගන්න උත්සාහ කළා. ඒ නිසා මම එයාගේ හිත හදන ගමන් හෙමීට මේක නතර කරමු කියලා එයාගේ හිත වෙනස් කළා. මෙහෙම කාලයක් යනකොට තමයි අපි දෙන්නා අතර එෆෙයාර් එකක් ඇති වුණේ.”

    ”මම සාමාන්‍යයෙන් මත්පැන්, සිගරට් වගේ දේවල් භාවිත කරනවා වුනත් අයිස් වගේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න පුරුදු වෙලා හිටියේ නැහැ. කාලයක් යද්දී එයාම තමයි මට ට්‍රයි කරන්න කියලා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න දුන්නේ එක දවසක්. මට තිබුණු කුතුහලයත් එක්ක මම ට්‍රයි කළා.” ඇය පැවසුවාය.

    ‘කාලයක් යද්දී එයාම තමයි මට ට්‍රයි කරන්න කියලා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න දුන්නේ එක දවසක්. මට තිබුණු කුතුහලයත් එක්ක මම ට්‍රයි කළා.’

    ‘ඒක අරන් සෙක්ස් කරද්දී දැනෙන්නේ වෙනම ෆීලින් එකක්’

    අයිස් මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසුව ලිංගික ක්‍රියාවලියේ යෙදීමේදී තමාට දැනුණේ මින් පෙර ඇති නොවුණු හැඟීමක් බවත් එමෙන්ම කිසිම තෙහෙට්ටුවක් නොදැනුණු බවත්, තමන් ඉන් පසුව දිගින් දිගටම එය භාවිත කිරීමට යොමු වූ බවත් නයෝමි පැවසුවාය.

    “මම යි බෝයි ෆ්‍රෙන්ඩ් දෙන්නා හම්බ වෙනකොට අපි මේක යූස් කරන්න පුරුදු වෙලා හිටියා. මුලින්ම එයා මේ ඩ්‍රග් එක හොයන් එනවා ගෙදර ඉදලා එද්දී. අපි දෙන්නම අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරලා සෙක්ස් කරද්දී ඒකෙන් දැනෙන ෆීලින් එකේ වෙනසක් තිබුණා.”

    ”කොච්චර වෙලාවක් වුණත් සෙක්ස් කරන්න පුළුවන්කම වගේම වැඩි වාර ගණනක් සෙක්ස් කරන්න පුළුවන් වුණා. ඒක අරන් සෙක්ස් කරද්දී ලොකු හයිප් එක්ක දැණුනා.”

    ”අපි අවුරුද්දකට ආසන්න කාලයක් අයිස් මත්ද්‍රව්‍ය අරන් සෙක්ස් කරන්න යොමු වෙලා හිටියේ. අන්තිමේදී අපි දෙන්න හම්බ වෙනවනම් මේ ඩ්‍රග් එක අපිට නැතිවම බැරි තැනට ඇවිත් තිබුණා.”

    ”කාලයක් යද්දී මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඩ්‍රග් එක හොයා ගන්න බැරි වෙද්දී මට කන්ටැක්ස් තිබ්බා ඒවා හොයා ගන්න. අන්තිමේදී මම එයාව බේර ගන්න ඇවිල්ලා මම ම එයාට ඒවා ගෙනල්ලා දෙන තැනට ඇවිල්ලා තිබුණා.”

    ”කාලයක් යද්දී මට තේරුණා මෙයා මාව හොයාගෙන එන්නේ ඩ්‍රග් එක යූස් කරන්න කියලා. මොකද ඒ වෙද්දී එයාට ඒක හොයා ගන්න බැරි තැනට ඇවිල්ලා තිබ්බ නිසා.” ඇය පැවසුවාය.

    මම යි බෝයි ෆ්‍රෙන්ඩ් දෙන්නා හම්බ වෙනකොට අපි මේක යූස් කරන්න පුරුදු වෙලා හිටියා. මුලින්ම එයා මේ ඩ්‍රග් එක හොයන් එනවා ගෙදර ඉදලා එද්දී. අපි දෙන්නම අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරලා සෙක්ස් කරද්දී ඒකෙන් දැනෙන ෆීලින් එකේ වෙනසක් තිබුණා’

    ‘මට ම බරපතලකම තේරුණා’

    කාලයක් ගත වන විට සිය පෙම්වතාගේ හැසිරීම සම්පුර්ණයෙන්ම වෙනස් වූ බවත්, ඔහු මෙන්ම තමන් ද මානසිකව සහ ශාරීරිකව දුර්වල වූ බවත් නයෝමි හෙළි කළාය.

    ”මට ටික කාලයක් යද්දී තේරුණා මම යි මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මත්ද්‍රව්‍ය ගැනීම නිසා දුර්වල වේගන එනවා කියලා. මොකද ඒක යූස් කරලා දවසක් යනකම් කිසිම දෙයක් කන්න බැරි වෙනවා. බොන දේවල් විතරයි ඇගට වැටෙන්නේ. ඒකත් එක්කම අපි දෙන්නම කෙට්ටු වේගන ආවා. යාලුවෝ පවා අපෙන් අහන්න පටන් ගත්තා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඩ්‍රග් එක පාවිච්චි කරන්න පටන් අරන් අවුරුද්දක් වගේ යද්දී මගේ බෝයිෆ්‍රෙන්ඩ්ට සෙක්ස් කරන්න පවා අමාරු වුණා. එයා අන්තිමේදී ලිංගික උත්තේජන ඖෂධ පවා අර ගත්තත් එයාට හරියට සෙක්ස් කර ගන්න බැරි තැනට ආවා.”

    ”මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගෙදර ගියාම සතියක් වගේ යනකම් කාමරෙන් එළියටවත් එන්නේ නැහැ කියලා එයාගේ යාලුවෝ කියද්දී තමයි මට ඒකෙ බරපතලකම තේරුණේ. මම ඒ වෙද්දී මේ ගැන හොයන්න පටන් අර ගත්තා. සමහර වෙලාවට මට නිකම් ඉද්දි රේඩියෝ එකක් දාලා වගේ එහෙමත් නැත්නම් මියුසික් සවුන්ඩ්ස් ඇහෙන්න පටන් ගත්තා.”

    ”එහෙම කාලයක් යද්දී මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ නහයෙන් ලේ පවා වහනය වෙන්න පටන් අර ගත්තා. මම අවස්ථා කිහිපයකදීම ඩොක්ටර් කෙනෙක් ළඟට යමු කියලා කිව්වත් එයා අන්තිම මොහොතේදී ඒකට කැමති වුණේ නැහැ. එයා ගොඩක් මුරණ්ඩු වෙන්න පටන් ගත්තා වගේම මාත් එක්ක රණ්ඩු කරන්න වගේම සැක කරන්න පටන් ගත්තා. අන්තිමේදී එයා එක පාරටම මටවත් කියන්නේ නැතිව රට යන්න තීරණය කළා. මම මනෝ උපදේශන සේවාවන්වලට යොමු වෙලා දැන් ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට පත්වෙන ගමන් ඉන්නේ.’ නයෝමි තමන් මුහුණ දුන් අත්දැකීම ගැන කියා සිටියාය.

     'ඒක යූස් කරලා දවසක් යනකම් කිසිම දෙයක් කන්න බැරි වෙනවා. බොන දේවල් විතරයි ඇගට වැටෙන්නේ.'

    ‘ලිංගාශ්‍රීත රෝග වලට ගොදුරුවීමට ඇති අවස්ථාව වැඩියි’

    “මත්ද්‍රව්‍ය භාවිත කරන අය එකෙන් පස්සේ අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවලියන් වලට යොමු වෙනවා. ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට HIV, හෙපටයිටිස් B වගේ ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වෙන්න තියෙන අවස්ථාව වැඩියි.” ලිංගාශ්‍රීත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය නිමාලී ජයසූරිය බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

    ”ලංකාවේ ඇතුළෙත් දැන් මේ ක්‍රමය තියෙනවා කියලා තොරතුරු තියෙනවා. නමුත් අපිට හරියට ඒ ගැන දත්ත නැහැ. හෙරොයින් පානයට ඇබ්බැහි වෙලා ඉන්න අය වගේ නෙමෙයි, හොදට අධ්‍යාපනයක් ලබලා තියෙන වයස අවුරුදු 20 – 40 අතර අය පවා අයිස් වගේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම හරහා වැඩි වශයෙන් අවදානම් කාණ්ඩයේ සිටින්නේ” විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

    ‘මගේ ෆීල්ඩ් එකත් එක්ක මේකට පුරුදු වුණේ’

    බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ 26 හැවිරිදි තරුණයෙකු වන යොමාල් කියා සිටියේ තමන් ඇතැම් අවස්ථා වලදී සංගීත ප්‍රසංග වලට සහභාගී වූ අවස්ථාවන් වලදී ඇතැම් මත්ද්‍රව්‍ය වර්ග භාවිතයට පෙළඹුණු බවයි.

    ”මම වැඩ කරන ඉන්ඩස්ට්‍රී එකත් එක්ක ගොඩක් වෙලාවට සංගීත ප්‍රසංග වලට සහභාගී වෙනවා. ඒ ප්‍රසංගවල මියුසික් එක ෆීල් වෙන්න නම් සමහර පාර්ටි ඩ්‍රග්ස් තියෙනවා. ඒවා මමත් යූස් කරනවා.”

    ”එහෙම ඩ්‍රග්ස් යූස් කරාම සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ යද්දී ඒ ඩ්‍රග් එකෙ එෆෙක්ට් එක මගේ ඇගට දැනෙන්න ගන්නවා.”

    ”එහෙම වෙලාවට පැය 7-8ක් වුනත් නටලා උඩ පැනලා තමයි නතර වෙන්නේ. ඊට පස්සේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක මම සෙක්ස් කරලා තියෙනවා. ඒ වෙලාවට මට ගොඩක් වෙලාවට සෙක්ස් කරන්න පුළුවන්.”

    ”හැබැයි මට මේ ඩ්‍රග්ස් යූස් කළාට පස්සේ දවස් කිහිපයක් යනකම් ඒකෙ තියෙන බලපෑම ඇගේ තියෙනවා. සමහර වෙලාවට හකු පවා වේව්ලනවා. ඒ වගේම මගේ ළඟ ම ඉන්න යාලුවෝ පවා මම හොයනවා. ඒ ඩ්‍රග් එකේ එෆෙක්ට් එක නිසා. කෑම කන්න එහෙම බැරි වෙනවා දවසක් දෙකක් වගේ යනකම්.” ඔහු තමාගේ අත්දැකීම එලෙස බෙදා ගත්තේය.

    ‘එහෙම වෙලාවට පැය 7-8ක් වුනත් නටලා උඩ පැනලා තමයි නතර වෙන්නේ.’

    ‘දැන් මම මේකෙන් ගැළවෙන්න ට්‍රයි කරනවා’

    මේ අතර බීබීසී සිංහල සේවය කළ සොය බැලීමකදී හමු වූ තවත් 36 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන පැතුම් කියා සිටියේ වැඩි කාලයක් ලිංගික ක්‍රියාවලියේ යෙදීමට ඇති ආශාව හේතුවෙන් තමන් ද විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුණු බවයි.

    ”මම මැරී කරලා දැන් අවුරුදු 08ක් වෙනවා. දැනට බබාලා දෙන්නෙක් ඉන්නවා.”

    ”මට මුලින්ම මගේ යාලුවෙක් තමයි කිව්වේ මෙහෙම අරන් සෙක්ස් කළාම ගොඩක් වෙලා සෙක්ස් කරන්න පුළුවන් කියලා.”

    ”මම එක දවසක් මගේ යාලුවා එක්ක ට්‍රයි කළා. පස්සේ ස්පා එකකට ගියා. එදා ඒක ඇත්ත කියලා තේරුණා. පස්සේ මම සාමාන්‍යයෙන් මාසෙකට එක පාරක් හරි දෙපාරක් වගේ අයිස් කියන මත්ද්‍රව්‍ය වගේම පාර්ටිස් වලදී යූස් කරන්න තියෙන සමහර ඩ්‍රග්ස් යූස් කරන්න පටන් ගත්තා.”

    ”ඒත් දැන් මම ඒක නතර කර ගන්න උපරිම ට්‍රයි කරනවා. මොකද මට ම තේරෙනවා දැන් මගේ කතා කරන විදිහේ ඉදලම වෙනසක් තියෙනවා කියලා. නින්ද යන්නේ නැහැ මේවා ගත්තම. මගේ වයිෆ් වුනත් අහනවා ඇයි කියලා මෙහෙම ඉන්නේ. එයා මාව ඩොක්‌ටර්ස්ලා ළඟට එක්කන් යන්න හදනවා. ඒත් මම යන්නේ නැහැ. ”

    ”ගියොත් මම දන්නවා මේ වගේ දෙයක් මම යූස් කරන නිසා මෙහෙම වෙලා තියෙන්නේ කියලා අඳුන ගන්න එයාලට වැඩි වෙලාවක් යන්නේ නැහැ කියලා.”

    ”දැන් මම උපරිම උත්සාහ කරනවා මේකෙන් ගැලවෙන්න.” පැතුම් පැවසුවේය.

    “ගොඩක් වෙලාවට HIV, හෙපටයිටිස් B වගේ ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වෙන්න තියෙන අවස්ථාව වැඩියි.”

    ගොඩක් වෙලාවට HIV, හෙපටයිටිස් B වගේ ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වෙන්න තියෙන අවස්ථාව වැඩියි’

    වැඩි කාලයක් ලිංගික ක්‍රියාකාරම් වල යෙදීමට මත්ද්‍රව්‍ය භාවිතය උදව් වෙනවා ද?

    ලිංගික ක්‍රියාවලිය වැඩි කාලයක් කිරීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතයට පුද්ගලයින් පෙළඹී සිටින්නේ හුදෙක් ‘මිත්‍යා විශ්වාස සහ ඒ හා සම්බන්ධව ගොඩනැගී ඇති කතා හේතුවෙන් බව’ බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු පැවසීය.

    වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මානසික වශයෙන් දුර්වල පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම සුලභ තත්ත්වයක් බව යි.

    ”ගොඩක් මිත්‍යා විශ්වාස නිස යි මේ වගේ මත්ද්‍රව්‍ය ගන්න පෙළඹිලා ඉන්නේ. ලිංගික ශක්තිය වැඩිවෙනවා කියලා කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. නමුත් හැම මත්ද්‍රව්‍යයට ම ඔය කතා ටික තමයි තියෙන්නේ. හෙරොයින්, අයිස් ඉදලා පාවිච්චි කරන ගොඩක් මත්ද්‍රව්‍ය වලට එකතු වෙච්ච පොදු මිත්‍යා විශ්වාස ටිකක් තියෙනවා. ලිංගික ශක්තිය වැඩිවෙනවා, සතුටක් ලැබෙනවා වගේ ඔය කතා ටිකක් මේවට සම්බන්ධ කරලා තියෙනවා.”

    ”ඇතැම් අය මානසිකව ඇතිවන පීඩනයත් එක්ක මත්ද්‍රව්‍ය ගැනීමට පෙළඹෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ගැන ඇතිකරලා තියෙන ආකර්ෂණිය තත්ත්වයන් මේකට එක හේතුවක් වෙනවා. චිත්‍රපට වලදී දකින දේවල් වගේම මත්ද්‍රව්‍ය භාවිත කරන අය විවිධ උපක්‍රම භාවිත කරනවා ඒවාට කට්ටිය යොමු කර ගන්න. ඒ වගේම මිතුරන් සිදුකරන පෙළඹීම නිසත් බොහෝ දෙනා මත්ද්‍රව්‍ය ගන්න යොමුවුණු අවස්ථා තියෙනවා.”

    ”මත්ද්‍රව්‍ය වලට කිසිම හැකියාවක් නැහැ ලිංගික ක්‍රියාවලිය දීර්ඝ වෙලාවක් කරන්න පුළුවන් කියලා. මේ වගේ මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනා හිතන් යනවා වැඩි කාලයක් ලිංගික ක්‍රියාවලියේ යෙදෙනවා කියලා. එහෙම වුනා ම එයාලා මානසිකව හිතනවා වැඩි කාලයක් ඒ ක්‍රියාවලියේ නිරත වුණා කියලා.”

    ”සමහර අයට මත්ද්‍රව්‍ය ගත්තම නිදි මතක් වගේම අප්‍රාණිකත්වයක් දැනෙනවා සිරුරට. මේ වගේ මත්ද්‍රව්‍ය ගන්න අයට ලිංගිකව එක්වීමේදී ප්‍රාණවත් භාවයට පත්වෙන්නම ගොඩක් වෙලා යනවා. ඉතින් එයාලා හිතනවා මේ ප්‍රාණවත් භාවයට පත්වෙන්න ගත වෙන කාලයත් එක්කම එයාල ලිංගික සංසර්ගික ක්‍රියාවලියේ නිරත වුණා කියලා. නමුත් ඇත්තම දේ තමයි අයිස් හෝ හෙරොයින් එහෙමත් නැත්නම් වෙන මත්ද්‍රව්‍යය වලට හැකියාවක් නැහැ ලිංගික ක්‍රියාවලිය වැඩි කාලයක් කිරීමට හැකියාව ලබා දෙන්න.” වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු පැවසුවේය.

    *[අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා මෙහි අත්දැකීම් බෙදා ගත් පුද්ගලයින්ගේ නම් වෙනස් කොට ඇති බව සලකන්න]

    (සටහන | දිනුක් හේවාවිතාරණ)

    BBC සිංහල සේවය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here