31 හැවිරිදි ද්විත්ව ඔලිම්පික් ශූරිය කඳුතරණ අනතුරින් මිය යයි

0
147

ද්විත්ව ඔලිම්පික් ශූරියක වන ජර්මනියේ 31 හැවිරිදි ලඋරා ඩාල්මායා (Laura Dahlmeier) බිය උපදවන කඳුතරණ අනතුරකින් මිය ගියා. ඇය ඉසව් දෙකක තරගවල (Biathlon) විශිෂ්‌‌ට දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක්.

ඩාල්මායා කඹය සහිත සහකරුවකු සමග පාකිස්තානයේ කරාකොරාම් (Karakoram) කන්ද අඩි 18,700ක් පමණ උසට නැග සිටියදී ඉහළ සිට කඩාවැටුනු ගල් ශරීරය මත පතිත වීමෙන් ඇය කන්ද පහළට වැටී මිය ගියා.

බේරාගැනීමේ කණ්ඩායමක් ඇගේ මලසිරුර සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව. කරාකොරාම් ප්‍රදේශයේ ම පිහිටි Laila Peak නමැති ශිඛරයේ ගල් කඩාවැටීම හා දේශගුණය වෙනස් වීමෙන් ඇතිව තිබූ අසීරු තත්ත්වයන් යටතේ ඩාල්මියාගේ සිරුර සොයා ගැනීම පහසු කටයුත්තක් වුනේ නැහැ.

ලඋරා ඩාල්මායා

ඇය වැටුනු ස්ථානයට ළඟාවීම පිණිස හමුදා හෙලිකොප්ටර යානා උත්සාහ කළ ද අතිශය දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් ඔවුන්ට එම ස්ථානයට පිවිසීමට නොහැකි වුනා.

ඩාල්මායා මිය ගිය බව ස්ථිර වීමට පෙර කඳුනගින්නන් ඇයව බේරාගැනීමේ උත්සාහයක නිරත වීමට සැලසුම් කර තිබුනා.

පළපුරුදු කඳුතරණය කරන්නියක වූ ඩාල්මායා, ජූනි මස අග සිට පාකිස්තානයේ උතුරු කලාපයේ කරාකොරාම් පෙදෙසේ සිටිමින් මිය යාමට පෙර Trango Tower නමැති විශාල කන්ද නැග තිබුනා. ඇය වැටී සිටි ප්‍රදේශයේ තිබුනේ වර්ෂාව, සැඩ සුළං හා ඝන වලාවන්ගෙන් යුත් දැඩි දේශගුණයක් බව වාර්තා වනවා.

ඩාල්මායා ඇගේ රන් පදක්කම් දෙක ම දිනා ගත්තේ දකුණු කොරියාවේ පැවති 2018 හිම ඔලිම්පික් උළෙලේ. වේගයෙන් යාම සහ ලුහුබැඳ යාම යන ඉසව්වලින් මේ රන් පදක්කම් දිනා ගත් ඇය තනි ඉසව්වේ ලෝකඩ පදක්කමක් ද හිමිකර ගත්තා.


මේ ජර්මානු ක්‍රීඩිකාව 2019 වසරේ මැයි මාසයේදී තරග කිරීමෙන් සමුගත්තා.

එම වසරේ පසු කාලයේදී ඇය සමකතුවරියක ලෙස කටයුතු කරමින් The Climate Gang: Laura Dahlmeier and friends working for nature නමින් ළමා පොතක් නිකුත් කළා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here