මාලිනිය කලාවට කළ මෙහෙවර කවදාවත් අමතක කරන්න බෑ

0
72

ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය වන මාලිනී ෆොන්සේකා කලාවට කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි බව සභානායක, ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හෙළයේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා පිළිබඳව පාර්ලිමේන්තු ශෝක යෝජනාව සභාවට ඉදිරිපත් කරමිනි.

ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය,

“ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2010 දී මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තුවට ආවා. කලාවට කළ සේවය නිසා එතුමිය හෙළ නිල රැජිණ යනුවෙන් විරුදාවලිය ලැබුවා. ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ඇයයි.

එතුමිය කලාවට කළ මෙහෙවර කිසිදා අමතක කරන්නට බැහැ.

කලාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ දායකත්වයක් ලබාදීම වෙනුවෙන් 1985 වසරේදී කලාසූරී සම්මානය ද මෙරට සිනමා කර්මාන්තයට කරන ලද සේවය වෙනුවෙන් විශ්ව ප්‍රසාදිනී ඇගයීමේ සම්මානයද එතුමිය වෙත පිරිනමා තිබෙනවා.

1975 වසරෙහි මොස්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත්තා.1977 වසරේ පැවති පළමු දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව කුසලතා සහතිකය හිමිකර ගත් එතුමිය 39 වන ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේදී ආකාස කුසුම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය සඳහා වන රිදී මයුර සම්මානයද ලැබුවා.ඇය ලැබූ තවත් ජාත්‍යන්තර ඇගැයුම් බොහොමයි.ජාතික මට්ටමේ සම්මාන අති විශාල ප්‍රමාණයකින් ඇය පිදුම් ලැබුවා. 2012 දී ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර ජූරි සභාවේ සාමාජිකාවක් වූ ඇය සී.එන්.ඒ ආයතනය විසින් ආසියාවේ සියලු කාලයන්හි ශ්‍රේෂ්ඨ නිළියන් විසි පස් දෙනාගෙන් කෙනෙකු ලෙසද නම් කරනු ලැබුවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here