ප්‍රංශ ඔලිම්පික් කඩු සරඹ ක්‍රීඩිකා යිසවුවා ටිබූ (Ysaora Thibus) ට පනවා තිබූ සිවු වසරක තරග තහනම ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර උසාවිය (CAS) විසින් ඉවත් කර තිබෙනවා.
ඇය තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වූයේ ටිබූ ඇයගේ එකල පෙම්වතා වූ අමෙරිකානු කඩු සරඹ ක්‍රීඩක රේස් ඉම්බොඩන් (Race Imboden) සිපගැනීම නිසා බවට උසාවිය තීන්දු කර තිබෙනවා.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් foil ඉසව්වේ රිදී පදක්කම්ලාභිනියක වන ටිබූ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් කර ඇති පේශීන් වර්ධනය කිරීමේ Ostarine නමැති ද්‍රව්‍යය භාවිතා කළ බවට 2024 වසරේ ජනවාරි මාසයේ පැරිසියේ පැවති තරගාවලියකදී ඔප්පු වී තිබුණා.
කෙසේ වෙතත්, හිතා මතා සිදුකළ වැරදි ක්‍රියාවක් මෙහි නැති බවට නිගමනය කර ඇති CAS, ටිබූ ඒ කාලයේ මේ ද්‍රව්‍යය භාවිතා කරමින් සිටි ඔලිම්පික් පදක්කම්ලාභී ඉම්බොඩන්ව දින ගණනාවක් තිස්සේ නැවත නැවත සිපගැනීම නිසා විද්‍යානුකූලව මෙවැන්නක් සිදුවිය හැකි බවට ප්‍රකාශ කර තිබෙනවා.
ලෝක තහනම් මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) විසින් සිවු වසරක තරග තහනමක් ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඇපෑල උසාවිය නිෂ්ප්‍රභ කළා.
ඒ වෙනුවට ක්‍රීඩාවේ ඉහළම උසාවිය, ටිබූ කිසිම වරදක් සිදු නොකළ බවට ජාත්‍යන්තර කඩු සරඹ ක්‍රීඩා සම්මේලනයේ තහනම් මත්ද්‍රව්‍ය විනය අධිකරණ මණ්ඩලය (DDT) විසින් කලින් ලබා දී තිබූ තීන්දුව අනුමත කළා.

මේ නඩුව ප්‍රංශ ටෙනිස් ක්‍රීඩක රිචර්ඩ් ගෑස්කට් (Richard Gasquet) සම්බන්ධයෙන් 2009 වසරේදී හටගත් සිද්ධියකට සමාන කර තිබෙනවා. එහිදී ගෑස්කට් තමා කොකේන් භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වූයේ ඔහු රාත්‍රී සමාජ ශාලවකදී කවුරු හෝ කෙනෙකු සිපගැනීමෙන් පසුව බවට තර්ක කරමින් නඩුවෙන් නිදහස් වුනා.
DDT විසින් මුලින් ලබා දී තිබූ තීන්දුවෙන් පසුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග වැදීමට යිසවුවා ටිබූ ට අවස්ථාව ලැබුනු අතර එහිදී ඇය team foil ඉසව්වේ පස්වැනි ස්ථානය ලබා ගත්තා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]