රූපවාහිනිය වෙනුවෙන් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කැපකළා – වජිරා කුමාරි විතානගේ

0
7

ජාතික රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට එන සිංහල හඬ කැවූ විදෙස් කතා මාලාවන් අපට වඩාත් සම්ප වන්නේ එහි ඇති හඬ කැවීම් නිසාය. තරමටම චරිතය හා බද්ධ වී හඬත් අපට වෙනසක් නොපෙන්වා අපේම කතාවක් වෙයි. මේ අසීරු කාර්යය මහත් වෙහෙසක් දරා නිපදවන්නට නම් ඒ ගැන මනා පළපුරුද්දක් තිබිය යුතුය. එවැනි දිගුකාලීන පළපුරුද්දක් ඇති ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂිකා වජිරා කුමාරි විතානගේ සමඟය මේ කතාබහ.


රූපවාහිනී තිරයෙන් පිටුපස සිට කෙරෙන වෘත්තීය භූමිකාව මොනවගේ ද?

මම දැනට ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විදිහට සේවය කරන්නේ. වෘත්තීය මට්ටමෙන් ගත්තොත් මම මේ ක්‍ෂේත්‍රය ඇතුළේ හඬකැවීම් අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදකවරියක් වගේම පරිපාලනමය වගකීම් රැසක් දරන කෙනෙක් විදිහටයි කටයුතු කරන්නේ. තිරය පිටුපස ඉඳන් ප්‍රේක්ෂකයන්ට ගුණාත්මක නිර්මාණ දායාද කරන්න ලැබීම සතුටක්.

රූපවාහිනියට එන්න ඔබට අවශ්‍ය අධ්‍යාපන පසුබිම සකස් කර ගත්තේ කොහොමද?

මම මුලින්ම පාසල් ගියේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. ශිෂ්‍යත්වය දක්වා ඒ පාසලේ ඉගෙන ගත්තේ. පාසලේ ඉන්න කාලෙත් බාහිර වැඩවලට සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් සංගීතය පැත්තේ වැඩසටහන්වලට තමයි වැඩිපුර සම්බන්ධ වුණේ. ඒ කාලේ සමස්ත ලංකා තරගවලට ගායනය සහ වාදනය අංශ දෙකෙන්ම සහභාගි වී තියෙනවා. මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ. පාසලේදී බොහෝ සංගීතය පැත්තේ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. පාසලේ සංගීත කණ්ඩායමේ වයලීන වාදිකාවක් ලෙසත් කටයුතු කළා. මම මුලින්ම විද්‍යා විෂයන්වලින් තමයි උසස් පෙළ කළේ. නමුත් විශ්වවිද්‍යාලයට යන්නේ කලා විෂයන් කරලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තමයි උපාධිය ලබන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් තමයි ශාස්ත්‍රපති උපාධිය ලබන්නේ.

ඔබගේ ළමා කාලය ගෙවුණේ කොහොමද?

මගේ තාත්තා බන්දුල විතානගේ. මගේ අම්මත් අප යන ගමනට නිරත්තර ආශීර්වාද කළා. මගේ තාත්තා කලා ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙක් විදිහට හිටපු කෙනෙක්. මගේ තාත්තා ජාතික රූපවාහිනියේ මුල් කාලේ සාමාජිකයෙක්. තාත්තා නිසා මටත් පුංචි කාලේ ඉඳලම ජාතික රූපවාහිනියට යන්න එන්න ලැබුණා. මම උසස් පෙළ විභාගය ඉවර කරලා ඉන්න කාලයේ තමයි තාත්තාට රූපවාහිනියට නාට්‍යයක් පරිවර්තනය කරන්න ලැබෙන්නේ. තාත්තාත් ඒකට මාවත් සම්බන්ධ කරගන්නවා. ඒ කාලේ තමයි අතුල සර් මාව හඳුනා ගන්නේ. ඊට පස්සේ මට හඬකැවීම් ඒකකයේ පිටපත් රචිකාවියක් ලෙස වැඩ කරන්න ලැබෙනවා. පසුව ජාතික රූපවාහිනියේ නිෂ්පාදන සහකාරවරියක් ලෙස පුහුණුව ලබනවා. ඒ විදිහටයි මගේ ගමන මම එන්නේ.

ඔබේ ගමනට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහත්මයා නිසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාඨමාලාව කරද්දී මට මාධ්‍ය කලාව ගැන ලොකු ආසාවක් ඇති වුණා. රූපවාහිනියට ආවට පස්සේ අතුල රන්සිරිලාල් සර් නිසයි බොහෝ දේ ඉගෙන ගත්තේ. ටයිටස් තොටවත්ත මහත්මයාගෙන් ලැබුණු දැනුමත් එක්ක තමයි ඔහු අපට දැනුම බෙදා දුන්නේ.

ඔබගේ පවුලේ අයගෙන් ලැබුණ සහය මොන වගේද?

මගේ තාත්තා නිසා තමයි මට ක්ෂේත්‍ර යේ බොහෝ අය හඳුනා ගන්න ලැබුණේ. මගේ අයියා වසන්ත විතානගේ. ඔහු මුල් කාලේ සිරස, ස්වර්ණවාහිනී වැනි මාධ්‍ය ආයතනවල වැඩ කළා. මගේ මල්ලි නාලක විතානගේ දැනට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරනවා. මගේ තාත්තා 2014 වසරේදී තමයි මියගියේ. මම තාත්තාගේ වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. ඒ වගේම ඔහුගේ නාට්‍යවල වේදිකා පරිපාලනයෙන් දායක වි තිබෙනවා. ‘ඒ සුන්දර මිනිසා‘ නාට්‍යයේ සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. කුඩා කාලයේ ‘දිරිය දුව‘ සහ පසුව ‘පත්තරගෙදර‘ ආදි නාට්‍ය කිහිපයකත් රඟපෑවා. පස්සේ මම රූපවාහිනිය වෙනුවෙන්ම මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කැපකළා.

ජාතික රූපවාහිනීයෙන් විකාශය වු ‘සුජාත දියණිය‘ ඇතුළු ප්‍රේක්ෂක හදවත් දිනූ නිර්මාණ රැසක අමතක නොවන මතකයන් ඇති නේද?

මම මුලින්ම හඬකැවීමෙන් සම්බන්ධ වුණේ ‘කැස්පර්‘ කාටූන් එකට. පිටපත් රචනයෙන් ‘මායා දිවයින‘ කතාමාලාවටත්, උපසිරැසි ගැන්වීමෙන් ‘විලියම් ටෙල්‘ එකටත් මුලින්ම දායක වුණා.

ඊට පස්සේ ගොඩක් නිර්මාණ කළා. ඒ අතරින් ‘සුජාත දියණිය‘ (Jewel in the Palace) තමයි මගේ ජීවිතයේ වැදගත්ම තැන. ඒක හඬකැවීම් ක්‍ෂේත්‍රයේ ලොකු පෙරළියක් කළා. හැමදාම හවස 6.30ට ප්‍රේක්ෂකයින්ව රූපවාහිනිය ඉස්සරහා නතර කරන්න ඒකට පුළුවන් වුණා. පස්සේ කාලෙක කරපු ‘කිරිල්ලියෝ‘ සහ ‘රුවැති සිතැත්තිය‘ (True Beauty) කතාමාලාවලටත් ලොකු ප්‍රතිචාර ලැබුණා. මම පෞද්ගලිකව වඩාත්ම ආස කරන්නේ ‘අත්තටු නෑ ඒත් එයා ඉගිළෙයි‘ කියන ජපන් කතා පෙළටයි.

ක්ෂේත්‍රය වෙනුවෙන් කළ කැපකිරීම් උදෙසා ඔබ ලැබූ ඇගයීම් මොනවද?

2000 වර්ෂයේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම පරිවර්තන පිටපතට සම්මානය රූපාන්තරණ පිටපත වෙනුවෙන් ලැබුණා. 2011 වර්ෂයේදී ‘මල්ගුඩි දවස් 2‘ කතාමාලාව වෙනුවෙන් හොඳම හඬකැවීම් අධ්‍යක්ෂණයට රාජ්‍ය සම්මාන ලැබුණා. 2018 වර්ෂයේදී රයිගම් සම්මාන උලෙළේ හොඳම හඬකැවීම් අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය හිමි වුණා.

හඬකැවීම් කියන්නේ සරල දෙයක් කියලා බොහෝ අය හිතන්නේ. නමුත් මෙහි ඇති සැබෑ තාක්ෂණික සහ නිර්මාණාත්මක බව කෙබඳුද?

හඬකැවීම් කියන්නේ ඉතාම පුළුල් සහ බැරෑරුම් ක්‍ෂේත්‍රයක්. සාමාන්‍ය නළුවෙකුට තමන්ගේ ශරීර චලන, ඇස්වලින් හෝ මුහුණේ ඉරියවුවලින් හැඟීම් පෙන්වන්න පුළුවන්. හැබැයි හඬකැවීම් මැදිරියකදී හැඟීම් ප්‍රකාශ කරන්න තියෙන්නේ ‘හඬ‘ විතරයි. තිරයේ ඉන්න චරිතයේ සිනහව, කඳුළ, වෛරය, ආදරය මේ හැම හැඟීමක්ම මයික්‍රෆෝනයක් ඉස්සරහා හිටගෙන හඬින් විතරක්ම ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම පිටුපසින් අපේ සංස්කෘතියට ගැලපෙනසේ පරිවර්තනය කිරීම, තොල් හැසිරවීමට දෙබස් සැකසීම, ශබ්ද පරිපාලනය වගේම සංගීතය මුසු කිරීම වැනි විශාල තාක්ෂණික වැඩ කොටසක් තිරයෙන් පිටුපස සිද්ධ වෙනවා.

අද වන විට මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසීමට සිහින දකින නවකයින්ට ලබා දෙන උපදෙස මොකක්ද?

අද නව පරපුරේ බොහෝ දෙනෙක්ට තියෙන්නේ මාධ්‍යයෙන් පෙනී සිටින්න ඕනේ කියන අදහස විතරයි. නමුත් ඔවුන් තිරයෙන් පිටුපස සිද්ධ වෙන බැරෑරුම් කාර්යය හරියට තේරුම් ගත්තොත් ඔවුන්ට මේ ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යන්න පුළුවන්.

ඒ වගේම ක්ෂේත්‍රය තුළ දිගුකාලීන පැවැත්මක් සහ අනන්‍යතාවක් හදාගන්නත් පුළුවන්.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here