චන්දරේගේ වයිෆ්: පීඩිත ගැහැණියකගේ ආදරය සහ ආත්ම ශක්තිය පිළිබඳ සිනමා කාව්‍යයක් | Athulasiri Samarakoon

Author

Categories

Share

ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණය ‘චන්දරේගේ වයිෆ්’ මතුපිටින් බැලූ විට උක් කර්මාන්තය පසුබිම් කරගත් දුෂ්කර ගම්මානයක ජීවත්වන දුප්පත් පවුලක කතාවක් සේ පෙනේ.

එහෙත් එහි ගැඹුරට පිවිසෙන විට එය පන්තිය, වාර්ගිකත්වය, ස්ත්‍රීත්වය, ආදරය, දරිද්‍රතාවය සහ සූරාකෑම, දේශපාලන බලය සහ මනුෂ්‍යත්වය පිළිබඳ බහුස්ථරීය කියවීමකට ඉඩ සලසන සංවේදී සිනමා කෘතියක් බව පැහැදිලි වේ. ප්‍රසන්න ජයකොඩිගේ පෙර නිර්මාණවල මෙන්ම මෙහිද කතා වස්තුවට වඩා මිනිසුන්ගේ අභ්‍යන්තර ලෝකය, මතකය, හැඟීම් සහ නිහඬ වේදනාව ප්‍රධාන ස්ථානයක් ගනී.

චිත්‍රපටය ආරම්භ වන්නේ උද්වේගකර දර්ශන මාලාවක් සමඟිනි. අවුරුදු උත්සවයක ග්‍රීස් ගහට නැගීමට දගලන මිනිසුන්,  සීනි කම්හලක් වටා ගොඩනැගුණු කම්කරු උද්ඝෝෂණය, ගැහැණියක් (ගංගා) පැහැරගෙන යන වාහනයක් අනතුරට ලක්වීම, කම්කරු පෙළපාලිය අනුකරණය කර සෙල්ලමේ යෙදෙමින් “කෑම දියව්” යැයි කියමින් පෙළපාලි යන දරුවන්, උද්ඝෝෂණ කම්කරුවන් සහ කම්හලේ ඉහළ බලධාරියා අතර  ගැටුම, චන්දරේ මැල් පසුපස මෝටර් සයිකලයෙන් හඹායාම, වෙඩිහඬ,  කළමනාකරු මැල්ගේ ඝාතනයට චන්දරේ අත්අඩංගුවට පත්වීම, සැබෑ වෙඩික්කරු මගුරා බවට ලැබෙන ඉඟි සහ වෘත්තීය සමිති දේශපාලනයේ පාවාදීම ඉතා කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරයි.

ආරම්භයේදී මෙය දේශපාලන ත්‍රාසජනක සිනමා නිර්මාණයක් බවට පත්වනු ඇතැයි සිතෙන නමුත්, චිත්‍රපටය ඉක්මනින්ම වෙනත් මඟකට හැරෙයි. එහි සැබෑ කතාව වන්නේ චන්දරේ පිළිබඳ නොව, “චන්දරේගේ වයිෆ්” වන ගංගා පිළිබඳය.

නදීශා හේමමාලි නිරූපණය කරන ගංගා, සිංහල සමාජයක ජීවත්වන ද්‍රවිඩ කාන්තාවකි. ඇයගේ වාර්ගික අනන්‍යතාවය චිත්‍රපටය තුළ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් ලෙස නොපැමිණියද, එය ඇය පෙලන තනිකම සහ සමාජීය අනාරක්ෂිත භාවය තීව්‍ර කරන නිහඬ පසුබිමක් ලෙස ක්‍රියා කරයි. චන්දරේ සිරගත වූ පසු පවුලේ බර සම්පූර්ණයෙන්ම ඇයගේ උර මත වැටෙයි. පුළුන් කොට්ට මසා විකිණීම, දරුවන් පෝෂණය කිරීම, ඉවත දමන පිළුණු බත් වියළා නැවත සකස් කර ආහාරයට ගැනීම, උක්වගා බිම් අතර සහ පටු මාවත් ඔස්සේ සැරිසැරීම ඇයගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කොටස් බවට පත්වෙයි. ඇය සිය සැමියාට දක්වන ආදරය සහ සිරගතවී සිටින ඔහු නිදහස් වී පැමිණෙන තෙක් විවාහය සහ පවුල අනතුරට ලක්වීමට පවතින අනේකවිධ සමාජීය අරාජිකත්වයන් සමග කරන ජීවන සටන සමග චිත්‍රපටය ගලායයි.  

මෙහිදී මෙම චිත්‍රපටය ගැහැණියකගේ ආත්ම ශක්තිය පිළිබඳ රොමෑන්තික හෝ වීර කතාවක් ගොඩනඟන්නේ නැත. ගංගා ශක්තිමත් වන්නේ වීරත්වය නිසා නොව, ජීවත්වීම සඳහා වෙනත් විකල්පයක් නොමැති නිසාය. ඇයගේ ශක්තිය උපදින්නේ දෛනික දුෂ්කරතා තුළිනි. කසිප්පු මුදලාලිලාගේ සිට විවිධ පිරිමින් දක්වා ඇයව ලිංගික වශයෙන් ග්‍රහණය කර ගැනීමට උත්සාහ කරන සමාජයක් තුළ ඇය තම ගෞරවය, දරුවන් සහ පවුල ආරක්ෂා කර ගැනීමට කරන අරගලය චිත්‍රපටයේ ප්‍රබලම දේශපාලන ප්‍රකාශය බවට පත්වෙයි.

මෙහිදී ගංගා චරිතය ශ්‍රී ලාංකේය සිනමාවේ මින් පෙර දැක ඇති පීඩිත කාන්තා චරිතවලින් සැලකිය යුතු ලෙස වෙනස් වෙයි. ඇය සමාජය සමඟ ගැටෙන හෝ එයට වෛර කරන චරිතයක් නොවේ. ඇයගේ ජීවිතය අසාධාරණකම්, දරිද්‍රතාව, පිරිමි ආධිපත්‍යය සහ අහිමිවීම්වලින් පිරී තිබුණද, එම අත්දැකීම් සමාජීය වෛරයක් බවට පරිවර්තනය කර ගැනීමට ඇය උත්සාහ නොකරයි. චිත්‍රපටය තුළ ඇයගේ ආවේගය පැහැදිලිව පුපුරා යන එකම අවස්ථාව වන්නේ චන්දරේ අත්අඩංගුවට පත්වීමෙන් පසු වෘත්තීය සමිතිය අලවා තිබූ විරෝධතා පෝස්ටර් වියරුවෙන් මෙන් ඉරා දමන දර්ශනයයි. එම මොහොතේ ඇයගේ කෝපය යොමු වන්නේ රාජ්‍යයට හෝ පන්තියට පමණක් නොව, චන්දරේ වෙනුවෙන් සටන් කරන බව කියූ නමුත් අවසානයේ ඔහුව අතහැර දැමූ දේශපාලන ව්‍යුහයන් (වෘත්තීය සමිතිය) වෙතය. එහෙත් එම කෝපය දීර්ඝකාලීන වෛරයක් බවට පත් නොවේ. ඇය නැවතත් ජීවිතයේ දෛනික අරගලය වෙත ආපසු හැරෙයි.

මෙම චිත්‍රපටයේ වඩාත් සංවේදී දර්ශනයක් විය හැක්කේ ගංගා විසින් ඉවත දමන ලද පිළුණු බත් සෝදා, වියළා, නැවත සකස් කර දරුවන්ට ආහාර සපයන අවස්ථාය. එය දුප්පත්කම පිළිබඳ සාමාන්‍ය නිරූපණයකට වඩා බොහෝ දුර යයි. සීනි කම්හලේ කම්කරුවන් තම වැටුප් සහ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අතරතුර, ගංගා මුහුණ දෙන්නේ ඊටත් වඩා මූලික අරගලයකටය. එනම්, කුසගින්නෙන් පෙළෙන දරුවන්ගේ “අම්මේ කන්න දෙන්න” යන ඉල්ලීමට පිළිතුරු සොයා ගැනීමේ අරගලයටය. පන්ති දේශපාලනයේ මහා සටන් සහ දෛනික ජීවිතයේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා අතර ඇති පරතරය මෙම දර්ශන ඉතා සංවේදීව ප්‍රකාශ කරයි. වැටුප් වැඩි කිරීම සඳහා සටන් කරන කම්කරුවන්ගේ දේශපාලන ඉල්ලීම්වලට සමගාමීව, තම දරුවන්ගේ කුසගින්න නිවාලීමට සටන් කරන ගංගාගේ නිහඬ අරගලය චිත්‍රපටයේ සැබෑ කේන්ද්‍රය බවට පත්වෙයි.

මේ අර්ථයෙන් ගංගා යනු විප්ලවවාදිනියක් නොවූවත්, පැවැත්ම සඳහා සටන් කරන කාන්තාවකි. ඇයගේ දේශපාලනය වන්නේ විරෝධතා පෙළපාලිවල හෝ කම්කරු රැස්වීම්වල නොව, කුසගින්න, දුක සහ අහිමිවීම් මැද දරුවන් ජීවත් කරවීම තුළය. ඒ නිසාම චන්දරේගේ වයිෆ් හි විශාලතම අරගලය සිදුවන්නේ කම්හල ඉදිරිපිට නොව, ගංගාගේ කුඩා ගෙදර කුස්සියේය.

මෙහිදී ගංගා චරිතය ශ්‍රී ලාංකේය සිනමාවේ මින් පෙර දැක ඇති පීඩිත ගැහැණු චරිතවලින් වෙන් වෙයි. හීන්කෙල්ල හෝ සුද්දී වැනි චරිත සමාජය සමඟ ගැටෙන, ඇතැම් විට එයට වෛර කරන චරිත ලෙස මතකයට නැඟේ. එහෙත් ගංගා එසේ නොවේ. ඇය සමාජයට වෛර නොකරයි. දුක ජීවිතයේ ස්වභාවික කොටසක් ලෙස භාරගන්නා ආකාරයක් ඇය තුළ දැකිය හැකිය. දරිද්‍රතාව, පිරිමි ආධිපත්‍යය, සමාජීය අවමානය සහ අහිමිවීම් සමඟ ඇය ජීවිතය ගෙන යයි. එහෙත් ඇය කිසිදු අවස්ථාවක අධිප්‍රතික්‍රියාකාරීත්වයකට හෝ ස්වයං විනාශකාරීත්වයකට යන්නේ නැත. ඇයගේ ගමන අවබෝධය, කාරුණිකත්වය සහ ආදරය දෙසට යොමුවෙයි. එය මෙම චරිතයේ විශිෂ්ටත්වයයි.

චිත්‍රපටයේ වැදගත්ම අංගයක් වන්නේ මාතෘත්වය නිරූපණය කරන ආකාරයයි. ගංගා තමන්ගේ දරුවන් තිදෙනා පමණක් නොව, චන්දරේගේ යැයි සැක කෙරෙන මාරියාගේ පුතුද භාර ගනී. ඇයගේ ආදරය ජීව විද්‍යාත්මක සීමා ඉක්මවා යයි. එම දරුවා ඇයට බරක් නොව, ශක්තියක් බවට පත්වෙයි. ඇතැම් අවස්ථාවලදී එම දරුවා ඇයට ආරක්ෂාවක් සහ සහයකයෙකු බවටද පත්වෙයි. මෙය ජීවවිද්‍යාත්මක මාතෘ දාරක සබඳතාව මත ගොඩනැගෙන සෙනෙහසක් පමණක් නොව රැකබලා ගැනීම, ආදරය සහ කැපවීම මත ගොඩනැගුණු පවුලක මානව සබඳතා පිළිබඳ ප්‍රබල නිරූපණය කි.

චිත්‍රපටයේ තවත් වැදගත් මානයක් වන්නේ දේශපාලන සංකේත භාවිතයයි. චන්දරේගේ වෘත්තීය සමිති කාර්යාලයේ එල්ලා ඇති මාක්ස් සහ ලෙනින්ගේ රූප දරුවන් විසින් පියාගේ යහළුවන් ලෙස වටහා ගැනීම ඉතා සංවේදී හා සුන්දර සිනමා මොහොතකි. එය ළමා මනසක අහිංසක කියවීමක් පමණක් නොව, දේශපාලන ව්‍යාපාර සහ සාමාන්‍ය ජන ජීවිතය අතර ඇති සබඳතාවයද සිහිපත් කරයි. එසේම වෘත්තීය සමිති කටයුතු සඳහා ගෙනා රතු සහ කළු රෙදිවලින් දරුවන්ට ඇඳුම් මැසීම ද ප්‍රබල සංකේතයකි. එම වර්ණ කම්කරු අරගලය, වාමාංශික දේශපාලනය සහ දුප්පත් ජන ජීවිතය අතර ඇති සම්බන්ධතාවය දෘශ්‍යමය වශයෙන් ප්‍රකාශ කරයි.

චිත්‍රපටයේ සිනමාත්මක දෘශ්‍ය භාෂාවද විශේෂ අවධානයට ලක්විය යුතුය. උක්කැලෑ, දූවිලි මාවත්, දැඩි අව්ව, පිපාසය, කුසගින්න සහ නිරන්තර අනාරක්ෂිත බව යන සියල්ල පසුබිමක් පමණක් නොව චරිත බවට පත්වෙයි. පුළුන් කොට්ට සයිකලයට බැඳගෙන උක්වගා බිම් අතරින් ගංගා ගමන් කරන දර්ශන තුළින් නැවත නැවතත් නිරූපණය වන්නේ පීඩිත ස්ත්‍රියක් ලෙස ඇයගේ ජීවිතයේ නොනවතින අරගලය සහ පැවැත්ම පිළිබඳ පවතින අසීමිත අවිනිශ්චිතතාවයයි.

එසේම චිත්‍රපටය තුළ මතකය සහ ආදරයේ අනූරාගය අතර ඇති සම්බන්ධතාවය ද ඉතා සංවේදීව ගොඩනගා ඇත. ගංගා දෙමළ චිත්‍රපට නරඹන ආකාරය, ඒවායේ ප්‍රේම ජවනිකා සමඟ හැඟීම්බර වීම, අතීතය සිහිපත් කිරීම සහ චන්දරේ සමඟ තිබූ සබඳතාව නැවත අත්විඳීම ඇයගේ අභ්‍යන්තර ලෝකය විවෘත කරයි. එහිදී ඇය හුදෙක් දුප්පත් මවක් නොව, ආදරය කිරීමට, සිහින දැකීමට සහ මතකයන් තුළ ජීවත් වීමට හැකි සම්පූර්ණ මනුෂ්‍යයෙකු බව චිත්‍රපටය අපට සිහිපත් කරදෙයි.

චන්දරේගේ (සෞම්‍ය ලියනගේ) චරිතයද සිත්ගන්නාසුලුය. ඔහු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන මිනිසෙකි. නමුත් ඔහුගේ දේශපාලන කැපවීමේ බර අවසානයේ උසුලන්නේ ගංගාය. වෘත්තීය සමිති ව්‍යාපාරය ඔහු වෙනුවෙන් සම්පූර්ණයෙන් පෙනී නොසිටින අතර, පවුලේ ජීවිතය පවත්වාගෙන යාමේ වගකීම ද ගංගා මත පැටවෙයි. මේ අර්ථයෙන් චිත්‍රපටය වාමාංශික දේශපාලනය සෘජුව විවේචනය නොකළද, දැවැන්ත දේශපාලන ව්‍යාපෘතිවල සාර්ථකත්වය පිටුපස සැඟවී සිටින කාන්තාවන්ගේ නිහඬ කැපවීම පිළිබඳ ගැඹුරු අනුභූතික සත්‍යයක් ඉදිරිපත් කරයි.

අවසාන වශයෙන්, චන්දරේගේ වයිෆ් යනු චන්දරේ පිළිබඳ චිත්‍රපටයක් නොවේ. එය ගංගා පිළිබඳ චිත්‍රපටයකි. තවත් නිවැරදිව කියන්නේ නම්, ඉතිහාස පොත්වල, දේශපාලන වාර්තාවල සහ වෘත්තීය සමිති ඉතිහාසය තුළ සඳහනක් පවා නොලැබෙන කාන්තාවන් පිළිබඳ චිත්‍රපටයකි. මතුපිටින් බොළඳ, නිහඬ සහ සාහසික, කාමුක පිරිමියාගේ අතවරයට නිරන්තරයෙන් ලක්විය හැකියයි පෙනීයන කාන්තාවක් ලෙස පෙනෙන ගංගා, චිත්‍රපටය අවසානයේ ප්‍රේක්ෂකයා ඉදිරියේ පෙනී සිටින්නේ අසීමිත කාරුණිකත්වයකින්, ආදරයකින් සහ ආත්ම ශක්තියකින් පිරිපුන් මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රතිරූපයක් ලෙසය.

එබැවින් චන්දරේගේ වයිෆ් යනු දුප්පත්කම පිළිබඳ කතාවක් පමණක් නොව, ආදරය, මාතෘත්වය, පන්තිය, ස්ත්‍රීත්වය සහ මනුෂ්‍යත්වයේ නොපෙනෙන වීරත්වය පිළිබඳ සංවේදී සිනමා කාව්‍යයකි. එය පීඩාවට පත් කාන්තාවක් සමාජයට එරෙහිව නැගී සිටින කතාවක් නොව, සමාජයේ සියලු පීඩන මැද කාරුණිකත්වය, ආදරය සහ මනුෂ්‍යත්වය රැකගෙන ජීවත් විය හැකි ආකාරය පිළිබඳ ගැඹුරු මනුෂ්‍යවාදී ප්‍රකාශයකි. ඒ නිසාම ගංගා යනු හුදෙක් “චන්දරේගේ වයිෆ්” නොව, ශ්‍රී ලාංකේය සිනමාවේ මෑතකාලීනව බිහිවූ සංවේදී සහ මතකයේ රැඳෙන කාන්තා චරිත අතරින් එකක් ලෙස සැලකිය හැකිය.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

[email protected]

(උපුටා ගැනීම – Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

Author

Share