චන්දරේගේ වයිෆ් අමුතු රහක් විදිහට මට දැණුනා

0
1

නදීෂා හේමමාලි කියන්නෙ එදා මෙදා තුර නොවෙනස් වූ, ආකර්ෂණීය රුවකට හිමිකම් කියන සුන්දර තාරකාවක්. කාලය කෙතරම් ඉගිළ ගියත්, ඇය අදටත් අතිශය ජනප්‍රියයි. මේ දිනවල සාර්ථකව තිරගත වන චන්දරේගේ වයිෆ් හි ගංගා ඇයයි. රසඳුන මේ කතාබහ නදීෂා හේමමාලි සමඟයි.

නදීෂා අපි කතා කරමු චන්දරේගේ වයිෆ් ගැන, කොහොමද මේ ඇරයුම ලැබුණේ?

හැමදාම වගේම නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. චන්දරේගේ වයිෆ් නිර්මාණයටත් ප්‍රසන්න ජයකොඩි ආරාධනා කළා. ඔහු එක්ක වැඩ කරන්න මම ඉතාම ආසාවෙන් හිටියේ. ඒ නිසා මේ අවස්ථාව මඟ නොහැර කරන්න ඕනේ කියලා මම තීරණය කළා. ඒ අනුව වැඩ කටයුතු කොහොම හරි කෙරෙන විදියට කර ගත්තා.

එදා මොකද හිතුණේ චන්දරේගේ වයිෆ් ගැන?

මම කවදත් චරිත තෝරා බේරා ගෙන වැඩ කරන කෙනෙක්. මේ පිටපත කියවද්දීත් මට ගංගා කියන චරිතය දැනුණා. පිටපත තුළ අමුතු රහක් විදියට මට ඒ චරිත දැනුණා. ඒ එක්කම වැඩේ කරගෙන යනකොට ඊට වඩා රහක් දැනුණා. ඒකට හේතුව සියලු ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වය නිසා. විශේෂයෙන්ම අංග රචනය සහ කොස්ටියුම් ඒ චරිතයට තවත් ආභරණයක් වුණා. ගංගා කියන්නේ මම කරපු චරිත එක්ක සංසන්දනය කරලා බලද්දී වෙනස්ම චරිතයක්.

මුලින්ම ගංගා රිදී තිරෙන් දකිද්දේ දැනුණු හැඟීම කොහොමද?

ඕනෙම නිර්මාණකරුවෙක්ට තමන් කරපු නිර්මාණයක් පුළුල් තිරයේ දකින්න ලැබෙනවා කියන්නෙම ලොකු සතුටක්. මටත් ඒ සතුට ඒ විදියටම භුක්ති විදින්න පුළුවන් වුණා. ඒ එක්කම මට සුවිශේෂී වූ තව කරුණක් වෙන්නේ වසර 10ක පමණ නිහැඬියාවකින් පසු තමයි මම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ.

ගංගා මුල් කාලේ දියණියන් තිදෙනෙක් සහ පසුව තවත් පුතෙක්ගේ අම්මා කෙනෙක් වෙනවා, කොහොමද දරුවන් එක්ක රඟපෑම?

පොඩ්ඩෝ එක්ක ගනුදෙනු කරන එක හිතන තරම් ලේසි නැහැ. මටත් එයාලා එක්කම කරට කර පොඩි ළමයෙක් වෙන්න වුණා. දියණියන් තිදෙනා එකම පවුලේ අය. තෙනුක පුතා වෙනම. ඒ ගැටුම් නිර්මාණය තුළ වගේම පිටතදීත් තිබුණා. හරිම සුන්දර කාලයක්.

ප්‍රසන්න ජයකොඩි නමැති අධ්‍යක්ෂවරයා ගැන ඔබට තියෙන කියවීම මොන වගේ ද?

මම හිතන්නේ ඔහු ඉතාමත්ම දක්ෂ, ඉතා සියුම්ව මිනිසුන්ගේ හිත් කියවන්න හැකි අධ්‍යක්ෂවරයෙක්. මිනිසුන්ට දැනෙන්න නිර්මාණ කරන අධ්‍යක්ෂවරයෙක්. යථාර්ථවාදී නිර්මාණකරුවෙක්. ඔහුත් සිනමා කෘතියක් කරන්නේ අවුරුදු 11කට පස්සේ. ඒ නිසා අපි දෙන්නාගේ සංකලනය ඉතාම හොඳින් අපි දෙන්නට වාසියක් වුණා කියලා තියෙනවා.

සෞම්‍ය ලියනගේ එක්ක රඟපාන ප්‍රථම අවස්ථාව නේද? කොහොමද ඒ අත්දැකීම?

ඔව්. ඉතාමත් හොඳ සහයෝගයක් ඔහුගෙන් ලැබුණා. වෘත්තියමය අතින් ඔහු මහාචාර්යවරයෙක්. ඒ එක්කම අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පියෙක්. පළමු දවසේ ඉඳන්ම මට ඉතා හොඳ සහයෝගයක් දැක්වුවා. හරිම සුහදශීලීව ගුරුහරුකම් දුන්නා. ඔහු එක්ක සිල්වර් ස්ක්‍රීන් එක ෂෙයාර් කර ගන්න ලැබීම ගැන සතුටුයි.

චන්දරේගේ වයිෆ් බලපු හැමෝම කියන දෙයක් තමයි චන්දරේගේ වයිෆ් ලස්සනයි කියන එක, ලස්සන පවත්වා ගන්න මොනවද කරන්නේ?

සුන්දරත්වය කියන දේ නම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි අපිටම අවංකවම ජීවත් වෙනවා නම් හිතේ තියෙන සතුට මුහුණෙන් දකින්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති එදා වගේම සුන්දරව මාව දකිනවා නම් දකින්නේ. මම මගේ ශරීර සෞඛ්‍යය ගැන හැම විටම සැලකිලිමත් වෙන කෙනෙක්. හැම දෙයක්ම වගේ කනවා. හැබැයි පරිස්සමින්. ඒ වගේම මම ව්‍යායාම කරනවා. ඒ එක්කම මගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් කරනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

සම්පත් ශ්‍රී රෝෂන්ගේ ‘එමලි‘, බුද්ධික ජයරත්නගේ ‘සැප්තැම්බර්‘, ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘මිදුම් තරණය‘, උදාර විජේසිංහගේ ‘ආතුර ආදරයක්‘ මහේල හෙට්ටිආරච්චිගේ ‘ආයෙත්‘ යන චිත්‍රපට පහ එන්න තියෙනවා.

පුංචි තිරෙන් ඈත් වෙලා ද?

ඈත් වෙලා නම් නැහැ. මම කවදත් චරිත තෝරා බේරා ගැනීම් එක්ක වැඩ කරන්නේ. පසුගිය කාලේ ගොඩක්ම බිහි වුණේ දීර්ඝ ටෙලි නාට්‍යය. දීර්ඝ ටෙලි නාට්‍යවලට මම වැඩි කැමැත්තක් නැහැ. මම කැමැති කොටස් අඩු නිර්මාණවලට. එහෙම හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්න ඉඩ තියෙනවා.

ඔබ ඔය තරම් චරිත තේරීම නිසා, ඔබව ප්‍රේක්ෂකයාට මඟ හැරෙන එක අවාසියක් කියලා හිතෙන්නේ නැද්ද?

මගේ පැත්තෙන් කොහෙත්ම නැහැ. ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් අවාසි වෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන්නේ මම කරන දේ හරියට කරන්න ඕනේ කියන එක. ඒක මගේ ප්‍රතිපත්තියක්. ඒ නිසා දොඩන්ගොඩ බදා ගන්නවා වගේ ඔක්කොම භාර ගන්න ක්‍රමය මගේ නැහැ. මම එක කාලයකදී එක නිර්මාණයකට පමණයි කාලය යොදවන්නේ. එක නිර්මාණයක් අවසන් කළ පසුවයි තව නිර්මාණයකට දායක වෙන්නේ. එතකොට මම ඒ සාධාරණය දෙන නිසා තමයි කාලයකට එක නිර්මාණයක් කළත් ප්‍රේක්ෂකයන් මගේ නිර්මාණ ආදරෙන් වැලඳ ගන්නේ.

නිර්මාණ නොකළත් ප්‍රේක්ෂක ආදරේ ලබන්නේ ඒ නිසා ද?

නැහැ. මම නිර්මාණ නොකර ඉඳලා නැහැ. වසරකට එක නිර්මාණයක් හෝ කරලා තියෙනවා. ඒ එක්කම මම වෘත්තීය රංගන ශිල්පිනියක් වගේම මෝස්‌තර නිරූපිකාවක්. ඒ එක්කම හඬ ශිල්පිනියක්. ගීත රූප රචනා කරනවා. මම ඒ දේවල් එක්ක කලාව තුළ විවිධ අංශවල නියැළී ඉන්නවා.‍

ආයෙමත් ආවොත් චන්දරේගේ වයිෆ් ගැන කතා කරන්න. දර්ශනවාර ‘හවුස්ෆුල්‘ වෙමින් තිරගත වෙනවා. මේ ලැබෙන ආදරේට කියන්න දෙයක් ඇති නේද?

හරිම සතුටුයි. මේ ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් තියෙන්නේ ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා. ඔවුන් ආදරෙන් නිර්මාණ වැලඳ ගන්නා තරමට තමයි අපේ කර්මාන්තය දියුණු වෙන්නේ. ඒ ප්‍රගමනය මම සුබවාදීව දකින කෙනෙක්.

‘චන්දරේගේ වයිෆ්‘ බලපු නැති ප්‍රේක්ෂකයාට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නේ

ගිහින්ම බලන්න කියලා තමයි කියන්නේ. බැලුවම තේරුම් යයි ඇයි මම මෙහෙම කියන්නේ කියන එක.

ජායාරූප – දෙහාන් ගොඩැල්ලගේ

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here