දොලොස් වියැති දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට මුහුණ දී සිටින අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන
නාහිමියන් පිළිබඳව නොදැන සිටි කරුණු අඩංගු ලිපිගොනුවක් ලැබීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) යටතට පත් කිරීමේ හැකියාව සොයා බලන බවට ළමා හා කාන්තා කටයුතු පිළිබඳව අමාත්‍යවරිය අධිකාරියේ සභාපතිනිය ප්‍රමුඛ ඉහල නිලධාරීන් හමුවේ සහතික වී තිබේ.
සඟවන සත්‍යය
ඒ අදාල අපරාධය සම්බන්ධ පොලිස් මැදිහත්වීමෙන් සැකකාර ස්වාමීන් වහන්සේට යම් පක්ෂග්‍රාහිත්වයක් දැක්වෙන බවට මෙන්ම විෂය භාර ඇමැතිනිය ලෙස සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවටද සමාජ මාධ්‍ය සහ ළමා හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි දෝෂදර්ශනයටත්, අප්‍රසාදයටත් ලක් වෙමින් තිබෙන අතරවාරයේ ය.
fchdrgg
ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානින් හා සඳුදා (25) පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇමැතිවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඉදිරි කටයුතු සඳහා අනුකමිටුවක් පත් කළ බවත් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු විෂ්‍ය භාර අමාත්‍යාවරිය වන සරෝජා සාවිත්‍රි පෝල් රාජ් විසින් නිකුත් කළ වෙනත් මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ‘ළමා ආරක්ෂක ක්ෂ්‍ත්‍රෙයේ කාලීන සිදුවීම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ’ බවකි. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක පුරප්පාඩු සපයා ගැනීම පිළිබඳව ද එහිදි සාකච්ඡා කළ බවත් ඇමැතිවරිය සිය මුහුණු පොතේ සටහන් කොට තිබේ. අටමස්ථානාධිපතිට එරෙහි චෝදනාව පිළිබඳව කතාබහ කෙරුණු බවක් එහි නොදැක්වේ.
“මං දන්නේ නෑ”
නමුත් මේ පිළිබඳව විමසීමේදී ඇමැතිවරියගේ සාකච්ඡාවට සහභාගි වුණු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාණ්ඩලික නිලධාරියකු අප හා කියා සිටියේ අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව විසින් අපයෝජනයට ගත් බව පැවසෙන දැරිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව විමසීමට අදාල සාකච්ඡාව ප්‍රධාන වශයෙන්ම කැඳවා තිබු බවයි.
” මම මේකේ අගමුල දන්නේ නෑ. මීඩියා ඉස්සරහට ගිහින් මට මේක කියන්න බෑ. කොහොමද මේක වාර්තා වුණේ කියලවත් මම දන්නේ නෑ,” යනුවෙන් සාකච්ඡාව අරඹමින් සරෝජා පෝල්රාජ් ඇමැතිවරිය අධිකාරියේ කාර්ය මණ්ඩලය හා කියා තිබේ.
“සිද්ධ වුණු දේ මට හරියටම කියන්න,” යනුවෙන් ඇමැතිවරිය කියා ඇත්තේ අපරාධ චෝදනාව පොලිසියට අනාවරණය වී දින 15ක් යන තුරුම ඇමැතිනිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු නොදැන සිටි බව හෙළි කරමිනි.
ඉන් අනතුරුව අධිකාරියේ සභාපතිනිය වන මහාධිකරණ විශ්‍රාමික විනිසුරු ප්‍රිතී ඉනෝකා රණසිංහ, උප සභාපති මහාචාර්ය ක්ලිෆඩ් පෙරේරා සහ නීති බලාත්මක අංශයේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනි අබේකෝන් ලිපි ගොනුවක් පෙන්වමින් මුල සිට සියල්ල පැහැදිලි කර ඇත.
“අපිට මේ සිද්ධිය වාර්තා වුණේ අප්‍රේල් 22 දා. ඒ වෙන කොටත් නිට්ටඹුව පොලීසිය සිද්ධිය දන්නවා. ඒත් පොලිසිය අපිට කිසිම දැනුම් දීමක් කෙරුවේ නෑ. ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියෙක් අධිකාරියට කළ පැමිණිල්ලක් නිසා තමයි සිද්ධිය ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ,” යනුවෙන් අධිකාරියේ ප්‍රධානින් ඇමැතිවරිය හමුවේ කියා සිටි බව සිය අනන්‍යතාව සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටිමින් සාකච්ඡාවකට සහභාගිවූ නිලධාරියෙක් අප හා කියා සිටියේ ය.
දැරිය විසින් නිට්ටඹුව පොලිසියේදී අටමස්ථානාධිපති නම් කර තිබුනේ අප්‍රේල් 10 දාය. පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ප්‍රදර්ශනය වීම නිසා මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් අප්‍රේල් 22 දා NCPA බලධාරීන්ට පැමිණිලි කර තිබුණි.
නොකෙරෙන විමර්ශන
අදාල අපරාධය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් තමන් විසින් ඉල්ලා ඇති බව ඇමැතිවරිය මෙයට පෙරත් ප්‍රකාශ කොට තිබෙන අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ පොලිසිය හෝ වෙන යම් පාර්ශවයක් හෝ එවැනි වාර්තාවක් ඇමැතිවරියට ලබා දුන්නේ දැයි සඳහනක් ඉන් පසුව දක්නට නැත. එවැනි වාර්තාවක් ඉල්ලා සිටියේ කවර ආයතනයකින්ද යන වග ඇමැතිවරිය නිශ්චිතව සඳහන් නොකළාය.
දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙන පොලිසියේ ක්‍රියාකලාපය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇමැතිවරිය අතර පැවති සාකච්ඡාවේදී අවධානයක් වීදැයි අප විසින් කරනු ලැබු විමසුමට පිළිතුරු ලෙස ඉහත නිලධාරියා කියා සිටියේ පොලිසියේ විමර්ශන පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා නොකෙරුණු බවයි.
” නැහැ එහෙමටම කතා කරේ නෑ. ඒත් අපි බලාපොරොත්තු වුණා ඇමැතිතුමිය ඒ ගැන කතා කරයි කියලා. මොකද රටේ මිනිස්සු කතා කරන්නේ පොලිස් විමර්ශන ගැනනේ,” යි මාණ්ඩලික නිලධාරියා පැවසීය.
නඩුවට සුදානම් වෙන්න
අදාල ළමා අපයෝජනය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරමින් යන විමර්ශන කටයුතු ඒ ආකරයෙන්ම සිදුකරන ලෙසත්, ඉදිරි නඩු කටයුතුවලට අවශ්‍ය සාක්ෂි නිසි පරිදි ගොනු කරමින් දැනට පවතින දුර්වලතා මගහැර ගන්නට කටයුතු කරන ලෙසටත් ඇමැතිවරිය විසින් නිලධාරින් හට පවසා ඇති නමුත්, දැනට විවේචනයට බඳුන්ව ඇති පොලිස් විමර්ශන පිළිබඳව කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත් වීමක් කරන බවක් නම් ඇය විසින් සඳහන් නොකළ බවයි අප හට දැන ගන්නට ලැබුණේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පොලිසියේ ඉහළ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දිනෙක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ නීතිඥවරයා අවධාරණයෙන් යුතුව පවසා සිටියේ අදාල විමර්ශන කටයුතු මුල සිටම සිදුකරන ලද්දේ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ මෙහෙයවීම මත බැවින් ඉදිරියටත් එය එසේම සිදුවන බවටයි.
“මේක අපේ වැඩක්” පොලීසිය
එමෙන්ම එම මාධ්‍ය හමුවේදි නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ එහි නිලධාරින්ව සියුම්ව විවේචනයට හසු කළ අතරම, වෙනත් ආයතනවල උවමනාව මත පොලිසිය විමර්ශන සිදු නොකරන බවටත් කියා පෑවේ ය.
“මෙහිදි විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ සමාජ මාධ්‍ය හෝ වෙන කාගේවත් බල පෑමට නෙමෙයි මේ විමර්ශන ආරම්භ කළේ,” යි නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.
මෙම ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අරබයා පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එකිනෙකා හට චෝදනා එල්ල කර ගැනීම තවමත් අවසන් නොවී ඇති අතර, පොලිසිය විමර්ශන යට ගසමින් සැකකරු අත්අඩංගුවට ගැනීම පවා කල් මැරූ බවට අධිකාරිය විසින් අධිකරණය හමුවේ පවා චෝදනාත්මකව කරුණු ඉදිරිපත් කරනු ලැබුනි. නමුත් පොලිසිය පවසන්නේ විමර්ශන පැවැත්වීමේ නිසි බලධාරියා වන තමන් හට ඒ සඳහා අධිකරණයේද අවසරය හිමිව තිබෙන බැවින් අධිකාරියේ අවශ්‍යතාවය මත කටයුතු නොකරන වගකි.
“මට පොලිසිය විශ්වාසයි” ඇමැතිනිය
“කොයිම අවස්ථාවකවත් ළමා ආරක්ෂක අධිකාරිය මේ විමර්ශනවලට සම්බන්ධ වීමක් සිදු වුණේ නෑ. මේ විමර්ශනය සම්පුර්ණයෙන්ම නිට්ටඹුව පොලිසියේ එහි ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කළේ ,” යි නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කළ එම ප්‍රකාශය සෘජුවම සහ ප්‍රසිද්ධියේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කීරිමක් වන මුත් ඇමැතිවරිය අදාල සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන බවක් පවසා නොමැත.
සඳුදා රැස්වීම පවත්වන තුරු ‘කරුණු නොදැන සිටි’ ඇය මෙයට පෙර මාධ්‍ය අමතමින් පවසා තිබුනේ පොලිස් විමර්ශන ඉතාම යහපත් සහ විශ්වාසනීය අයුරින් සිදුකෙරෙන බවකි. එම ප්‍රකාශයේදි ඇය විසින් දිගින් දිගටම උලුප්පා දක්වන ලද්දේ තමන් යටතේ ඇති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව නොව ඒ වන විටත් අධිකාරියටත් බරපතල සැකයක් සහ ගැටළුවක් ඇති කර තිබු පොලිස් චර්යාව පිළිබඳව ය.
එමෙන්ම සැකකාර භික්ෂුවට සහ පොලිසියට පක්ෂපාතිත්වය දක්වමින් ඇතැම් නීතිඥවරුන්, නායක භික්ෂුන් ද ඇතුළු පාර්ශව විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියටත් විශේෂයෙන්ම එහි නිති බලාත්මක අංශයේ අධ්‍යක්ෂකවරිය වන සජීවනි අබේකෝන් ප්‍රමුඛ විමර්ශන නිලධාරින්ට ත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන අවලාද සහ අපහාසත්මක ප්‍රකාශ ගැන අවධානය යොමු කරමින් එවැනි ප්‍රකාශ මගින් විමර්ශන ක්‍රියාවලියට අගතියක් සිදුවන බවට සලකා අමාත්‍යාංශ මට්ටමින් යම් මැදිහත්වීමක් කරන්නට ඇමැතිවරිය මැදිහත් වන බවට ප්‍රකාශයක් අදාල සකච්ඡාව තුළින් මතු වුවේ දැයි අප විසින් කරන ලද සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ එවන් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකෙරුනු බවකි.
මන්ත්‍රිනි කමිටුව පැලැස්තරයක් ද?
ඉන් අනතුරුව පවත්වා තිබෙන පාර්ලීමේන්තුවේ මන්ත්‍රිවරියන්ගේ සංසදයේ සාකච්ඡාවේදී අනුරාධපුරය දැරියගේ අපයෝජන සිදුවීම ට අදාලව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ බවත්, පොලීසිය, ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් තවත් දින දහයකින් පැවැත්වීමටත් යෝජනා වුණු බවත් එමෙන්ම එහි කටයුතු සඳහා මන්ත්‍රිවරියන්ගේ එකතුවකින් අනු කිමිටුවක් පත් කළ බවත් සඳහන් ය.
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ ක්‍රියාධාරීහු මෙය දේශපාලන සංදර්ශනයක් මිස දැරියට යුක්තිය ඉටු කිරීම සඳහා ගනු ලබන අවංක උත්සාහයක් නොවන බවට සැක පල කරති.




