මව්වරුන් රකින්න ජපානෙන් ඩොලර් මිලියන 5.29ක්

0
31

ගර්භණී සමයේ දී හෝ දරු ප්‍රසූතියේ දී කිසිදු කාන්තාවකට අනවශ්‍ය අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන අයුරින් මෙරට සෞඛ්‍ය සේවාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගීතාවයෙන් මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 5.29 ක වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය නොවන උපකරණ තොගයක් බාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ අඩෙනියි විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එම උපකරණ සංකේතාත්මකව භාර දීම සිදු කෙරිණි .

එම මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළ ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැනුම් ප්‍රවේශය පුළුල් කිරීම, උපායමාර්ගික සේවාවන් වැඩිදියුණු කිරීම, මෙන් ම සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහාත්, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණයට පරිවර්ථනය කිරීම කාලීන සහ හොඳම විසඳුම බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය ඒ සඳහා මේ වන විටත් ක්‍රියාකරමින් සිටින බව ද ප්‍රකාශ කර සිටියේය.

(අංජුල මහික වීරරත්න)

Lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here