බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ බරපතළ චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ සැකකරුවෙකු වී සිටින පුද්ගලයෙකු වෙනුවෙන්, මෙරට බෞද්ධ ජනතාව අතිශය ගෞරවයෙන් සලකන ‘අටමස්ථානාධිපති’ යන පූජනීය තනතුරු නාමය තවදුරටත් භාවිත කිරීම සුදුසුදැයි ප්‍රසිද්ධ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ප්‍රශ්න කර සිටියි.
සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ මෙවැනි බරපතළ අපරාධ චෝදනා එල්ල වූවන් හැඳින්වීමට මෙවැනි ගෞරවනීය නාමයන් දිගින් දිගටම භාවිත කිරීම පිළිබඳව බලධාරීන්ගේ සහ මුළු මහත් සමාජයේම දැඩි අවධානය යොමු විය යුතු බවයි.

”යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පැහැදිලිව හා සැකයකින් තොරව දැකිය හැකි විය යුතුයි” – ගල්කන්දේ ධම්මානන්ද හිමි
මේ අතර ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ, යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පැහැදිලිව හා සැකයකින් තොරව දැකිය හැකි විය යුතු බවයි.
මේ දෙකෙන් එකක් වත් හරියට කෙරෙන බවක් නොපෙනේ. බලවතුන්ට, ධනවතුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂ ආකාරයකටය යන්න ද, දුගියෙකුට, බාලවයස්කාරියකට යුක්තිය ඉටුකරගැනීම ඉතාම දුෂ්කරය යන්න ද ප්‍රදර්ශනය වෙමින් පවතී. මේ අප අපේක්ෂා කළ වෙනස නොවේ.” යැයි උන්වහන්සේ පවසති.
ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කරන පරිදි, වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට රාජ්‍ය ආයතනවලට පවා පොලිසිය පසුපස “කෙවිටක් රැගෙන” යාමට සිදුවන තත්ත්වයක් තුළ, සැකකාර බලවතුන් වෙනුවෙන් නීතිඥවරුන් 40කට අධික පිරිසක් පෙළ ගැසීම, නීතියේ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වන බව “පිටතට පෙනීමේ” ඇති දුර්වලතාවය මැනවින් සිහිපත් කර දෙන්නකි.





