“පුහුණුකරු නොහිටින්න මගේ ජයග්‍රහණය හීනයක්”

0
11

ඉකුත්දා සන්යා හිදී නිමාවට පත් වූ සයවැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී කාන්තා මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් නොලද ජයග්‍රහණයක් ලබාගැනීමට කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් තරගබිමට එක් වූ නිපුනි වාසනා සමත් වූවාය. මෙය ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් වීමට කාරණය නම්, ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලකදී ලබාගත් පළමු රන් පදක්කම මෙන්ම මල්ලවපොර ඉසව්වෙන් ලබාගත් පළමු රන් පදක්කම ද මෙය වීමය. ජයග්‍රහණය තෙක් පැමිණි සිය ගමන් මඟ පිළිබඳව මෙන්ම අනාගත බලාපොරොත්තු සහ සැලසුම් පිළිබඳව නිපුනි, “සති අග අරුණ” සමග අදහස් බෙදාගත්තේ මෙලෙසිනි.

ඔබේ ජයග්‍රහණය පිළිබඳව මතක් කරමින්ම අපි සාකච්ඡාව ආරම්භ කරමු…

හයවැනි වෙරළ ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ක්‍රීඩාවෙන් රන් පදක්කමක් හිමිකර ගැනීමට හැකිවීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාවට ලැබුණු පළමු වෙරළ ක්‍රීඩා රන් පදක්කම විදිහට මගේ ඒ ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණා. ඉතින් මේ ජයග්‍රහණය පිළිබඳව තියෙන්නේ සතුට පිරි නිහතමානී ආඩම්බරයක්.

නිපුනි ඔබ මල්ලවපොර ක්‍රීඩාව ආරම්භ කරන්නෙ කොහොමද?

මම මුලින්ම මලල ක්‍රීඩාවට තමයි යොමු වෙලා හිටියේ. ඉන් පසුව 2018 වර්ෂයේදී මම මල්ලවපොර ක්‍රීඩාවට අවතීර්ණ වුණා. මල්ලවපොර වගේ ක්‍රීඩාවකට එන්න මට මුලින්ම ආසාවක් ඇති කළේ වගේම අඩිතාලම හදලා දුන්නේ මගේ අයියා. ඔහු පාසල් මට්ටමේ මල්ලවපොර ක්‍රීඩකයෙක්. ඔහු සහ මට දුරින් නෑදෑ වෙන අක්කා (ච​ෙමාද්‍යා) කෙනෙකුත් මල්ලවපොර ක්‍රීඩාවේ යෙදීම සහ ඔවුන් ජයග්‍රහණ ලබාගන්නවා දැකීමත් එක්ක මම මල්ලවපොර ක්‍රීඩාවට යොමු වෙන්න තීරණය කළා. ඇයද මේ වන විට මල්ලවපොර ජාතික සංචිතයේ සිටිනවා. ඒ විදියට තමයි මම මල්ලවපොර ක්‍රීඩාව ආරම්භ කළේ.

වෙරළ ක්‍රීඩා උළෙලට අමතරව ඔබේ වෙනත් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ මොනවද?

මේ වෙද්දි මම ජාත්‍යන්තර තරගාවලි අටකට සහභාගී වෙලා තියෙනවා. නමුත් මට ඒ කිසිදු තරගාවලියකින් ජයග්‍රහණ ලබාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. 2024 වසරේ පැවැත්වුණු වයස අවුරුදු 20න් පහළ ආසියානු මල්ලවපොර තරගාවලියේදී පස්වැනි ස්ථානය ලබාගත්තා. ඉන් පසුව පසුගිය වසරේ පැවැත්වුණු වයස අවුරුදු 23න් පහළ මල්ලවපොර තරගාවලියේදී මම සිව්වැනි ස්ථානය දිනාගනු ලැබුවා. ඒ වගේම මෙම වසරේ පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වුණු ජ්‍යෙෂ්ඨ ආසියානු ශූරතාවලියේදී පස්වැන්නා බවට පත්වීමටත් මට හැකියාව ලැබුණා.

නිපුනි, මේ ගමනෙදී ඔබේ පුහුණුකරුගෙන් සුවිශේෂී කාර්යභාරයක් සිදුවෙනවා නේද?

අනිවාර්යයෙන්ම. මගේ පුහුණුකරු සුරංග කුමාර සර් ගැන කියන්න ඕන. මගේ අම්මා මං ගාව මේ වෙනකොට නැහැ. මම තාත්තා ළඟ තමයි කුඩා කාලෙ ඉඳලම හැදුණෙ වැඩුණෙ. ඉන් පස්සේ මල්ලවපොර ක්‍රීඩාවට මම අවතීර්ණ වීමෙන් පස්සේ මගේ තාත්තා වගේ හැමදේම මේ වෙනකන්ම හොයලා බැලුවේ මගේ පුහුණුකරු. මේ වෙනකොට මම ලබපු හැම ජයග්‍රහණයක් පිටුපසම ඉන්න යෝධ හෙවණැල්ල මගේ පුහුණුකරු කියලා කිව්වොත් නිවැරදියි. මම මේ වෙද්දි පුහුණුකරුගේ නිවසේ නැවතිලා ඉඳන් තමයි පුහුණුවීම් කටයුතු කරන්නේ. පුහුණුවීම් පිළිබඳව වගේම මගේ පෝෂණය, මානසික පැත්ත ඇතුළු ක්‍රීඩාවට අවශ්‍ය සියල්ලම මගේ පුහුණුකරු විසින් සොයලා බලනවා. මගේ පුහුණුකරු නොහිටින්න මම ලබන මේ ජයග්‍රහණ හීනයක්.

ක්‍රීඩිකාවක් හැටියට ඔබ කොහොමද මේ අභියෝගවලට මුහුණ දෙන්නේ?

අභියෝගයක් කියන්නෙම ජීවිතේ දිනන්න ලැබෙන අමතර ප්‍රතිලාභයක් විදියට මම දකින්නේ. මගේ පුහුණුකරුගේ බිරිඳ මට අම්මා කෙනෙක් වුණත් අම්මා ළඟ නොමැති වීම මට ලොකු අභියෝගයක් වුණා. ඉතින් ඒ අභියෝගය මගේ ජීවිතේට පාඩමක් කරගෙන පුහුණුකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ආශිර්වාදය මැද මම දිනන්න අධිෂ්ඨාන කරගත්තා. ඒ වගේම මුල් කාලයේදී අපිට පුහුණුවීම් කරන්න පවා සුදුසු තත්ත්වයේ තැනක් තිබුණේ නැහැ. මගේ පුහුණුකරුගේ කැපවීම නිසාම ඔහුගේ නිවසේම පුහුණුවීම් කිරීමට උචිත ස්ථානයක් සකස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම මගේ ජීවිතේට ආපු අභියෝගවලට නොසැලී ශක්තිමත්ව රැඳී ඉන්න මට පුහුණුකරු ශක්තියක් වුණා.

ඔබේ මේ ගමනට උදව් කරන තවත් අය ඇති. ඒ අය ගැනත් මතක් කළොත්…

පුහුණුකරු සහ පුහුණුකරුගේ බිරිඳ ඇරුණම මගේ තාත්තා දුරින් ඉඳන් මට ලොකු ශක්තියක් වෙනවා. ඊළඟට මගේ ළඟින්ම ඉන්නේ මගේ සහෝදර ක්‍රීඩිකාව නෙත්මි අහිංසා. ඇය මේ වෙද්දි ලෝකයක් දන්න දක්ෂ මල්ලවපොර ක්‍රීඩිකාවක්. අපි දෙන්නා එකට තමයි පුහුණුවීම් කටයුතු කරගෙන යන්නේ. ඇයත් මං එක්කම පුහුණුකරුගේ නිවසේ රැඳී ඉඳලා තමයි පුහුණුවීම් කටයුතු කරගෙන යන්නේ. පුහුණුවීම්වලදි වැරැද්දක් සිදු වුණොත් නෙත්මි මට ඒක කියලා නිවැරදි කරනවා. තරගයකට සහභාගී වෙන්න කලින් දවසේ රෑට අපි දෙන්න එකට තමයි මෝටිවේෂන් වීඩියෝ බලන්නේ. තරගයට කලින් අපි දෙන්නා එකට ඉඳන් තමයි තරගය සැලසුම් කරන්නේ. ඇත්තටම කිසිම පැකිළීමකින් තොරව මගේ සහෝදරියක් වගේ නෙත්මි අක්කා මගේ මේ ගමනට ශක්තියක් වෙනවා.

ඒ වගේම මම මේ වෙද්දි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මල්ලවපොර සංචිතයේ සාමාජිකාවක්. ඉතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ඇතුළු සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මේ වෙද්දි මට මාස්පතා ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. ඉතින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාටත් මේ අවස්ථාවේ මම ස්තූතිවන්න වෙනවා. නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න සර් නිරන්තරයෙන් අපේ පුහුණුවීම් පිළිබඳව සොයා බලනවා. ඊට අමතරව ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය වගේම මගේ පාසල වෙල්පල්ල චන්ද්‍රරතන මහා විද්‍යාලය මතක් කරන්න ඕන. පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මඩුල්ලටත් ස්තූතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

අවසන් වශයෙන් ඔබේ ඉදිරි සැලසුම් සහ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ ළඟම බලාපොරොත්තුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ක්‍රීඩාවෙන් ලංකාවට පදක්කමක් රැගෙන එන එක. ඒ සඳහා මේ වෙද්දි පුහුණුකරු සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ දක්වා මල්ලවපොර ක්‍රීඩාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබලා නැහැ. මගේ ලොකුම බලාපොරොත්තුව 2028 වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම සහ පදක්කමක් දිනාගැනීම.

aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here