2024ට ළමා අපචාර හා අතවර පැමිණිලි 8192ක්

0
23

දරුවන්ට සිදුවන අතවර සහ අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් 2024 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 8192ක් ලැබී ඇතැයි ඊයේ (04දා) එම අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය වැඩමුළුවකදී එහි සභාපතිනි හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ පැවසුවාය.

මින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමයින්ගේ ආරක්ෂාව අනාරක්ෂිතභාවය හා නොසලකා හැරීම සම්බන්ධයෙන් බවත් එම පැමිණිලි සංඛ්‍යාව 2756ක් බවත් ඇය කියා සිටියාය.

මීට අමතරව දරුවන්ව ශාරීරිකව හා මානසිකව හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1950ක් ද දරුවන්ට නිසි අධ්‍යාපනය ලබානොදීම හා දරුවන් පාසල් නොයැවීම සම්බන්ධයෙන් පැමිණිලි 1628ක් ද ලිංගික අපයෝජන සම්බ්නධයෙන් පැමිණිලි 580ක් ද ලැබී ඇතැයි ද ඇය සඳහන් කළාය.

පැමිණිලිවලට අදාළව සැකකරුවන් ප්‍රාදේශීය මට්ටමින් කොපමණ සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු සංඛ්‍යාලේඛන නොමැති බව ද ඇය කියා සිටියාය.

මෙහිදී කතා කළ ජාතික ළමා රක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් අධිකාරිය තුළ සියයට 50ක නිලධාරි හිඟයක් මතුව ඇති බව ද සඳහන් කළාය.

අත්‍යවශ්‍ය දත්ත පද්ධතියක් සකස් කිරීමට සුදුසුකම් තියෙන නිලධාරියෙක් නොමැති බව ද ඇය කීවාය.

එසේම පැය 24 පුරාම ක්‍රියාත්මක 1929 ළමා උපකාරක දුරකථන සේවාව සඳහා නිලධාරීන් 15 දෙනකු සිටිය යුතු වුවත් මේ වනවිට ඒ සඳහා නිලධාරීන් සිටිනුයේ 6 දෙනකු බව ද ඇය කියා සිටියාය.

මෙම අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (මාධ්‍ය) ශානිකා මලල්ගොඩ, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ, ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ යන අය ද සහභාගි වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය සහ තුෂාර අතපත්තු

divaina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here