සවි එසවීම (powerlifting) ක්‍රීඩාවේ යෙදී සිටි ක්‍රීඩිකාවක් කිලෝග්‍රෑම් 270ක බරක් ගෙල මත වැටීමෙන් මිය ගියා.
පුහුණු වෙමින් සිටියදී මෙසේ මියගොස් තිබෙන්නේ ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ බිකනර් දිස්ත්‍රික්කයේ 17 හැවිරිදි යශ්ටිකා ආචර්යා (Yashtika Acharya) නමැති සවි එසවීමේ ක්‍රීඩිකාව. ඇය ඉන්දියා කණිෂ්ඨ ජාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභිනියක්.
ජිම්නේසියමේ අඟහරුවාදා පුහුණු වෙමින් සිටියදී සවි එසවීමට යොදා ගත් කිලෝග්‍රෑම් 270ක් බර උපකරණයේ හරස් දණ්ඩ ඇගේ ගෙල මතට වැටීමෙන් මේ ළාබාල ක්‍රීඩිකාව මියගොස් තිබෙනවා.

අනතුර සිදුවූ වහාම ක්‍රීඩිකාව රෝහලට රැගෙන ගොස් තිබෙන අතර ඇය මිය ගොස් ඇතැයි වෛද්‍යවරු එහිදී පවසා තිබෙනවා.
අනතුර සිදුවී තිබෙන්නේ ජිම්නේසියමේදී ඇගේ පුහුණුකරු ආචර්යා ට බර එසවීම සිදු කරමින් සිටියදී. මෙහිදී පුහුණුකරු ද සුළු තුවාල ලබා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ආචර්යාගේ පවුලේ අය කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කර නැහැ. මරණ පරීක්ෂණයෙන් පසුව ඇයගේ දේහය පවුලේ අයට බදාදා බාර දී තිබෙනවා.

යශ්ටිකා ආචර්යා ඇගේ කෙටි ක්‍රීඩා දිවිය තුළ බොහෝ ජයග්‍රහණ ලබා තිබෙනවා. ඇගේ මරණය නිසා ක්‍රීඩා ප්‍රජාව තුළ දැඩි ශෝකයක් හටගෙන තිබෙනවා. අනතුර සිදුවූ මොහොතේ වීඩියෝවක් X සමාජ මාධ්‍යයේ පළකර තිබෙනවා.
සවි එසවීම ඔලිම්පික් ක්‍රීඩාවක් නෙවෙයි.
අසාමානය වූවද, ක්‍රීඩාවේදී මාරක අනතුරු අතීතයේදීත් සිදුව තිබෙනවා. ක්‍රිකට් තරග බිමේදී, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ෂෙෆීල්ඩ් පලිහ තරගයකදී ෂෝන් ඇබට්ගේ බවුන්සර් පන්දුවක් වැදීමෙන් ඔස්ට්‍රේලියානු පිතිකරු ෆිලිප් හියුස් 2014 වසරේ මිය ගියා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]