අද කාලයේ උපාධි සුදුසුකම් පවා පරයන රාගික ප්‍රාග්ධනය |

0
10

පසුගිය දිනයෙක මම හිතවත් පවුලක් හා සම්බන්ධ ප්‍රිය සම්භාෂණයකට සහභාගී වීමි. එහිදී අප හා එකම මේසයේ අසුන්ගෙන සිටි කිහිප දෙනෙක්, ගුරු සේවය තුළ ස්ථාපිත කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය පිළිබඳ කතාවකට මුල් පිරූහ.


“ඔය ඔක්කොම උපාධිධාරීන් නේද? ඉතින් මොකටද ඔය අය ගුරු රස්සාව වගේ අඩු පඩියක් තියෙන එකක් වෙනුවෙන් ඔච්චරම නහින්නේ?” මා ඉදිරිපිට අසුනක වාඩි වී සිටි, ඉහළ මධ්‍යම පාන්තික යැයි අනුමාන කළ හැකි කාන්තාවක් කීවා ය. “අනික දැන් ඉස්සර වගේ යැ. හොඳ ලස්සන පෙනුමකුයි, ඉංග්‍රීසි දැනුමකුයි, විනීත බවකුයි තියෙනවා නම් ඔය උපාධි ගුරු පඩිය වගේ කීප ගුණයක පඩි ගන්න පුළුවන් රස්සාවක් හොයාගන්න බැරියැ.”

කැතරින් හකීම් (Catherine Hakim)

ඇය එසේ පවසත්ම අවට සිටි කිහිප දෙනෙකුම මා දෙස බැලුවේ, විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය හා සම්බන්ධ මා වෙතින් ඊට ප්‍රතිපක්ෂව කුමක් හෝ පිළිතුරක් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. නමුත් ප්‍රිය සම්භාෂණයක් වැනි අවස්ථාවක දුරදිග යන වාදයකට යා යුතු නොවන බැවින් මම සිනාසී නිහඬ වීමි.

කෙසේ වෙතත්, එම කාන්තාවගේ ප්‍රකාශය තුළ ප්‍රබල සත්‍යයක් තිබේ. අතීතයේ දැන උගත් බුද්ධිමත් බව හා සදාචාරය අගය කළ සමාජය අබිබවා, අද වන විට බාහිර පෙනුම, රූපලාවණ්‍යය, ශරීරයේ හැඩය සහ ආකර්ෂණය වැනි සාධකවල අගය ඉදිරියට පැමිණ ඇත.

ඇගේ නිර්වචනයට අනුව මෙය ආර්ථික හෝ සංස්කෘතික ප්‍රාග්ධනය මෙන්ම පුද්ගලයකු සතු තවත් වටිනාකමකි. මෙයට අංශ කිහිපයක් අයත් වේ. රූපලාවණ්‍යය සහ ශරීරයේ හැඩය, අන් අය තමා වෙත ඇදගැනීමේ උපායමාර්ගික හැකියාව, ආචාරශීලී බව, ප්‍රබෝධමත් බව සහ විලාසිතා තෝරාගැනීමේ හැකියාව ඒ අතුරින් ප්‍රධාන වේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ මහජන සම්බන්ධතා, පාරිභෝගික සේවා, විකුණුම් සහ මාධ්‍ය ක්ෂේත්‍ර ඇතුළු බොහෝ රැකියා සඳහා පුද්ගලයෙකුගේ උපාධියට වඩා පෙනුමට සහ පෞරුෂයට (Pretty Privilege) වැඩි වටිනාකමක් හිමි වේ. නමුත් රාජ්‍ය අංශය තුළ මේ සම්බන්ධ විශේෂ නැඹුරුවක් පළ නොවේ. එනිසාම රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායන් අතර පවතින තරගකාරී බව හමුවේ පෞද්ගලික ව්‍යවසායකත්වයට වැඩි ලාභ අත්කර ගැනීමේ යම් හැකියාවක් පවතී.

ඉහත සඳහන් සමාජමය ප්‍රවණතාව මත පුද්ගලයන් සිය පෙනුම නඩත්තු කිරීම පිණිස කායවර්ධන හා රූපලාවණ්‍ය ආයතන කෙරෙහි යොමු වීමේ වැඩි නැඹුරුවක් දක්වන බව පෙනේ. ඇතැමුන් සම්බන්ධයෙන් කරුණු විමසීමේදී මෙය හුදෙක් විනෝදාංශයකට වඩා රැකියාවේ ඉදිරියට යාමට කරන ආයෝජනයක් ලෙස සැලකේ. මේ අතර, ඉන්ස්ටග්‍රෑම් (Instagram) හෝ ටික්ටොක් (TikTok) වැනි වේදිකා ඔස්සේ රාගික ප්‍රාග්ධනය සෘජුවම මුදල් හෝ සමාජමය වටිනාකම් (Social Currency) බවට පත්කිරීමේ නව නැඹුරුවක් ද දක්නට පුළුවන.

මෙම රාගික ප්‍රාග්ධනය රැකියා සම්මුඛ පරීක්ෂණ සහ බඳවා ගැනීම් සේම රැකියා උසස්වීම් ආදියේදීත් බලාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි. සමාන සුදුසුකම් ඇති අපේක්ෂකයන් දෙදෙනෙකු සිටින විට, වඩාත් ආකර්ෂණීය පෙනුමක් ඇති පුද්ගලයාට රැකියාව ලැබීමේ සම්භාවිතාව වැඩි බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ඔවුන් වඩාත් විශ්වාසවන්ත සහ දක්ෂ පුද්ගලයන් ලෙස ස්වයංක්‍රීයවම විනිශ්චය කිරීමට (Halo Effect) සම්මුඛ පරීක්ෂකයන් පෙළඹීම මීට හේතු වන බව අනාවරණය වී තිබේ.

ඇතැම් සංඛ්‍යාලේඛන දත්තවලට අනුව, ආකර්ෂණීය පෙනුමක් ඇති පුද්ගලයන් සාමාන්‍ය පෙනුමක් ඇති අයට වඩා 10% – 15% පමණ වැඩි වැටුපක් උපයන බව අනාවරණය වී ඇත. එමෙන්ම ඔවුන්ට නායකත්ව තනතුරු ලැබීමේ අවස්ථාව ද වැඩි බව අනාවරණය වී තිබේ.

විකුණුම් සහ අලෙවිකරණය (Sales & Marketing) විෂය තුළ ද මෙම රාගික ප්‍රාග්ධන සංකල්පය වඩාත් ඉස්මතු වී පෙනෙයි. ප්‍රසන්න පෙනුමක් ඇති අලෙවි නියෝජිතයන්ට සවන් දීමට පාරිභෝගිකයන් වැඩි කැමැත්තක් දක්වන අතර, ගෝලීය මට්ටමින් පවා ව්‍යාපාරික ලෝකයේ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට මෙය සෘජුවම බලපායි. නූතන මහා පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ සන්නාම තානාපතිවරුන් (Brand Ambassadors) ලෙස ප්‍රසිද්ධ පුද්ගලයින් තෝරා ගන්නේ ඔවුන් සතු මෙම ප්‍රාග්ධනය නිසා ය. එමෙන්ම මෙම සංකල්පය හරහා අන්‍යයන් තමන්ට අවශ්‍ය පරිදි නම්මවා ගැනීමේ (Persuasion) හැකියාව ද ඉහළ යයි. ව්‍යාපාරික සාකච්ඡාවක දී හෝ ගිවිසුමකට එළඹීමේදී ඔවුන්ගේ සුහදශීලී බව සහ පෙනුම නිසා අනෙක් පාර්ශ්වය වඩාත් සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇත.

නමුත් කාන්තාවන්ගේ දක්ෂතාවයට වඩා ලිංගිකකරණය (Objectification) මත පදනම්ව ඔවුන්ගේ රූපයට පමණක් අවධානය යොමු වීම ද මෙහිදී දක්නට ලැබේ. කාන්තාවන් හට විශේෂ වරප්‍රසාද හිමි වීම පසුපස මේ සමාජමය චෝදනා ලුහුබැඳ ඒම ද නිරතුරුවම සිදු වන්නකි. වර්තමානයේ මෙම තත්ත්වය කොතෙක් ව්‍යාප්ත වී තිබේද යත්, පුවත්පත්වල විවාහ යෝජනා තීරු දෙස බැලීමේදී අතීතයේ සඳහන් වූ “චරිතවත්” යන්න වෙනුවට “රූමත්”, “පැහැපත්” වැනි වචන ඉහළ ඉල්ලුමක් ඇති රාගික ප්‍රාග්ධන ලක්ෂණ වී තිබේ. ඒ අනුව දායාදය වැනි සාම්ප්‍රදායික මූල්‍ය සංසරණ පද්ධතීන්ට පවා මෙම රාගික ආයෝජන සෘජු බලපෑම් කරන බව පැහැදිලි ය.

අතීත සමාජය කාන්තාවන් සිය ලිංගික ප්‍රාග්ධනය භාවිතා කරන විට ඇය සදාචාර විරෝධී ලෙස හංවඩු ගැසුව ද, අද වන විට වෛද්‍යවරුන්, නීතිඥයන් සහ විශේෂයෙන්ම උපකාරක පන්ති ආචාර්යවරුන් වැනි වෘත්තිකයන් තුළ පවා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම නැඹුරුව දැකිය හැකිය.

කිවිපති විමල් අභයසුන්දර

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බොහෝ දෙනෙක් මෙය නූතන නව ලිබරල්වාදයේ දුර්දාන්ත ලක්ෂණයක් සේ හඳුනා ගැනීමට රිසි වෙති. එමෙන්ම මෙය ගණිකා වෘත්තියේම විස්තාරණයක් සේ දකින්නෝ ද වෙති. එහෙත්, මගේ පියාණන් වන කිවිපති විමල් අභයසුන්දරයන් බෞද්ධ සාහිත්‍යයේ එන කාන්තාවන් පිළිබඳ විස්තර කිරීමේදී ‘රූපූපජීවනී’ නම් වදනක් යොදා ගත් බව මට මතක ය. එහි අරුත “රූපය උපජීවනය (ජීවිකාව) කොට ගත් තැනැත්තිය” යන්නයි. නමුත් මෙම වදන ඉන් පසුව කිසිදු ලේඛනයක සඳහන් ව තිබෙනු මා දැක නැත.

කෝටිසන් (Courtesan) යනු ඉතිහාසයේ රජවරුන්, ප්‍රභූන් සහ ඉහළ පැලැන්තියේ ධනවත් පුද්ගලයන්ට සමීපව සේවය කළ රූමත් කාන්තාවන් හැඳින්වීමට භාවිතා කළ නමකි. මා විශ්වාස කරන අන්දමට ‘රූපූපජීවනී’ යනු ඔවුන් සඳහා වඩාත් උචිත වදනකි. මෙහිදී බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නගර සෝභිනිය යන භූමිකාව ද බුද්ධ කාලීන භාරත සමාජයේ දක්නට ලැබුණු සුවිශේෂ චරිතයක් බව කිව යුතු ය. නගර සෝභිනිය යනු හුදු කාමුකත්වය දනවන රූමතියක් පමණක් නොවේ. එකල නගර සෝභිනිය යනු රජය විසින් නිල වශයෙන් පත් කරන ලද තනතුරකි. දේශපාලනය, සාහිත්‍යය සහ කලාව වැනි ගැඹුරු මාතෘකා පිළිබඳව ප්‍රභූන් සමඟ සාකච්ඡා කිරීමේ හැකියාව සහිත විද්වත් වෘත්තික ගණයට අයත් සමාජමය භූමිකාවකි. එනිසාම ඇය ආර්ථික වශයෙන් ද ඉහළ ස්ථාවරයක පසු වූවා ය. බුද්ධ කාලීන සමාජයේ ජීවත් වූ අම්බපාලි, ප්‍රංශයේ රජ කළ 15 වන ලුවී රජුගේ සමීපතමියක වූ Madame de Pompadour සහ ග්‍රීසියේ “Hetaira” ලෙස හඳුන්වනු ලැබූ කාන්තාවන් මෙම ප්‍රභූ කාන්තා පැලැන්තිය නියෝජනය කරන්නියෝ වූහ.

ඒ අනුව මොවුන් හැඳින්වීම පිණිස මගේ පියාණන් යොදා ගත් ‘රූපූපජීවනී’ නම් වදන ශාස්ත්‍රීය භාවිතයන් සඳහා යොදා ගැනීමේ දොසක් නොමැති බව මගේ වැටහීම ය. මෙහිදී අපගේ සිහියට නැංවෙනුයේ “පස්ස චිත්තකතං බිම්බං – අරුකායං සමුස්සිතං” (විසිතුරු කළා වූ, තුවාල සහිත වූ, ඇටසැකිල්ලක් මත රඳා පවතින, ලෙඩ රෝගවලට නිවහනක් වූ මේ ශරීරය දෙස බලන්න. මෙහි ස්ථිර බවක් හෝ පවතින බවක් නැත.) යනුවෙන් සඳහන් ධම්මපදයේ ජරා වග්ගයට අයත් ගාථාව හා සබැඳි සිරිමා නම් නගර සෝභිනියගේ කතා ප්‍රවෘත්තියයි.

සිරිමා ජීවක වෙදැදුරාගේ සහෝදරිය වූ අතර ඇයට රාජ්‍ය මට්ටමේ ඉහළ පිළිගැනීමක් තිබුණි. ඇය සමඟ එක් රැයක් ගත කිරීම සඳහා රන් මසු දහසක් (1,000) වැනි ඉතා ඉහළ මුදලක් නියම කර තිබූ බව පැවසෙන අතර මෙම ගෙවීම හුදු ලිංගික ක්‍රියා අතික්‍රමණය කළ නැටුම්, ගැයුම්, කාව්‍යකරණය සේම ශාස්ත්‍රීය සාකච්ඡා පැවැත්වීමේ හැකියාව ද සඳහා වූවක් බව පැහැදිලි ය. එනිසාම රජවරුන්, සිටුවරුන් සහ ඉහළ සමාජමය තත්ත්වයක් හිමි ධනවතුන් පමණක් ඇගේ සේවාදායකයන් වූ බව පැහැදිලි ය. එමෙන්ම සිරිමා හුදෙක් රූපයට පමණක් සීමා වූ තැනැත්තියක නොවූ බව ඇය පසුව බුදුන් වහන්සේ සරණ ගොස් දාන මාන පින්කම්වල නිරත වීමෙන් පැහැදිලි වේ. ඇය මිය යන විට සෝවාන් ඵලයට පත්ව සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය. එම උසස් ආධ්‍යාත්මික මට්ටමට ළඟා වීමට තරම් ඇය බුද්ධිමත් කාන්තාවක් වූවා ය. එමෙන්ම බුද්ධ කාලීන භාරතයේ තිබූ සමාජ ආර්ථිකය පදනම් ව ගොඩනැඟුණු මෙම සංස්කෘතික ධාරාව බුදුන්ගේ සෘජු විවේචනයට බඳුන් නොවීය.


නමුත් අකාලයේ මිය ගිය සිරිමාගේ දේහය සම්බන්ධ ධම්මපදට්ඨ කථාවේ එන සුවිශේෂී සිදුවීම බෞද්ධ සාහිත්‍යයේ එන අතිශය සංවේදී සහ අර්ථවත් අවස්ථාවකි. සිරිමා අකාලයේ මියගිය පසු බිම්බිසාර රජු ඒ බව බුදුන් වහන්සේට දැනුම් දුන්නේය. එවිට බුදුන් වහන්සේ වදාළේ ඇයගේ සිරුර වහාම ආදාහනය නොකර, ආමක සුසානයට හෙවත් මළ සිරුරු දමන ස්ථානයට දමා සතුන්ගෙන් ආරක්ෂා වීමට වැටක් ගසා දින හතරක් තබන ලෙසයි. රාජ නියෝගය පරිදි එය සිදු වූ සිව් වන දිනයේදී සිරුර බෙහෙවින් ඉදිමී, නිල් පැහැ වී, සිදුරු නවයකින් කුණු ලේ සහ සැරව ගලමින්, පණුවන් ගැසී තිබුණි. එවිට බුදුන් වහන්සේ රජු ලවා “සිරිමා දැක ගැනීමට කැමති අය අද පැමිණෙත්වා!” යනුවෙන් නගරය පුරා අණ බෙර යැවූහ. මෙම පණිවිඩය අසා දහස් ගණන් ජනයා රැස් වූහ. ඇය කෙරෙහි ඇලුම් කළ පිරිස් මෙන්ම බුදුන් වහන්සේගේ මෙම සුවිශේෂ කාරිය කුමක් දැයි දැන ගැනීමට රිසි වූ පිරිස ද ඒ අතර වූහ.

එසේ පැමිණි පිරිස ඉදිරියට වැඩම කළ බුදුන් වහන්සේගේ නියමය පරිදි රජු මෙසේ ප්‍රකාශ කරවීය: “සිරිමා සමඟ එක් රැයක් ගත කිරීමට කැමති අයෙක් ඇත්නම් රන් මසු දහසක් දී ඉදිරිපත් වන්න.” එහෙත් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. “හොඳයි එසේ නම් රන් කාසි පන්සියයකට ඇයව ලබා ගන්න.” දෙවන වරට ද පැවසුණු අතර හාත්පස පැතිර ගියේ දැඩි නිහඬතාවකි. ඉන් පසුව “කාසි දෙසිය පනහකට, සියයකට, දහයකට හෝ එක කාසියකට ඇයව ගන්න” ආදී වශයෙන් ලන්සුව අඩු කළ ද ඇගේ නරක් වූ සිරුර මිලට ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. එවිට රජු වෙතින් නිකුත් වූ අවසාන නිවේදනය වූයේ: “නොමිලේ හෝ ඇයව රැගෙන යන අයෙක් සිටී ද?” යන්නයි. එවිට ද කිසිවෙකු ඉදිරිපත් නොවූහ.

මීට දින කිහිපයකට පෙර රන් කාසි දහසක් දී හෝ ලබා ගැනීමට නොහැකි වූ සිරිමාගේ රූපය ඒ වන විට නොමිලේ ගැනීමට වත් කිසිවෙකු ඉදිරිපත් නොවීම මත බුදුන් වහන්සේ රැස්ව සිටි පිරිස අමතා ධම්මපදයේ එන “පස්ස චිත්තකතං බිම්බං – අරුකායං සමුස්සිතං” යන ගාථාව දේශනා කළ බව ධම්මපදට්ඨ කතාවේ සඳහන් වේ. මෙම දේශනාව ඇසූ බොහෝ පිරිසක් එතැනදීම මාර්ග ඵල ලැබූහ. සිරිමාගේ රූපය කෙරෙහි දැඩි ලෙස ඇලී සිටි එක් තරුණ භික්ෂුවක් පවා සත්‍යය වටහාගෙන රහත් භාවයට පත් වීමට මෙය මූලික විය. බුදුන් වහන්සේ විසින් අනුගමනය කළ මෙම එතැන්හි දීම කරුණු අනාවරණය කිරීමේ ක්‍රමෝපාය (In Situ) විවිධ විද්‍යා ශාස්ත්‍රීය කටයුතුවල දී අද ද භාවිතා වන්නකි.

ඒ අනුව කැතරින් හකීම් සමාජ විද්‍යාඥවරිය පෙන්වා දුන් රාගික ප්‍රාග්ධනය ද විධිමත්, තිරසාර හෝ සංවිධිත මට්ටමක ඇතැයි යන්න පිළිගත නොහැක. ඒ, එමඟින් සමාජයේ සදාචාර මට්ටම අවප්‍රමාණ වීම හා කාන්තාවන් සේම පුරුෂයන් හා සම්බන්ධ එම ශක්ති ප්‍රභවයන් කෙමෙන් ක්ෂය වී ගොස් ඔවුන් පෞරුෂ, පවුල්, ප්‍රජා සහ සමාජමය පසුගැන්වීමකට ලක් වීම අනිවාර්ය බැවිනි.

(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම – vinivida.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here