‘නිහඬතාව තවදුරටත් විකල්පයක් නෙවෙයි!’

0
64

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට තමාට අවස්ථාව ලබා දීම හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

International Olympic Committee (IOC) – ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ වීමෙන් පසුව ප්‍රකාශයක් කරන ඔලිම්පික් බොක්සිං ශූරී ඉමාන් කලීෆ් (Imane Khelif), සත්‍යය ජයගන්නා තුරු තමා සටන් කරන බව ප්‍රකාශ කරනවා.

බොක්සිං ක්‍රීඩාවේ ලිංගීය සුදුසුකම ආරක්ෂා කිරීම සඳහා සැලකිලිමත් වීම උපුටා දක්වමින් ස්විට්සලන්ත නීතිපතිවරයා හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බව ජාත්‍යන්තර බොක්සිං සංගමය – International Boxing Association (IBA) – සඳුදා නිවේදනය කළා.

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ද තරග කළ කලීෆ් ලෝක ශූරතාවලියේ රිදී පදක්කම්ලාභිනියක ද වනවා. කාන්තා බොක්සිං තරගාවලියට තමා සුදුසු බව ඇය සැමවිටම අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්ත‌ර බොක්සිං සංගමය නැවත වරක් අසත්‍ය හා අපහාසාත්මක පදනම් විරහිත චෝදනා නගා තිබෙන බව කලීෆ් සමාජ මාධ්‍යයෙන් කියා සිටිනවා.

“පදනමක් නැති බොරු සහ වැරදි තොරතුරු පතුරුවා හැරීම තුළින් පෞද්ගලික හා දේශපාලනික න්‍යායපත්‍ර ඉදිරියට ගෙන යාම සඳහා අවසරයක් නැතුව මගේ නම සහ ප්‍රතිරූපය පාවිච්චි කරන අමිහිරි මාර්ගයක මම අවුරුදු දෙකක් තිස්සේ ගමන් කරමින් සිටිනවා” යනුවෙන් ඇය පවසනවා.

“නමුත් නිහඬතාව තවදුරටත් විකල්පයක් නෙවෙයි.”

“මම කොහේවත් යන්නේ නැහැ. මම බොක්සිං වළල්ල තුළ සටන් කරනවා. මම උසාවියේ සටන් කරනවා. සත්‍යය ප්‍රතික්ෂේප කළ නොහැකි වනතුරු මම ප්‍රසිද්ධියේ සටන් කරනවා” යනුවෙන් ඉමාන් කලීෆ් වැඩිදුරටත් සඳහන් කරනවා.

කලීෆ් සහ ඇගේ කණ්ඩායම දැන් තත්ත්වය සමාලෝචනය කරමින් සිටින අතර ඇයගේ අයිතීන් සුරක්ෂිත කිරීම පිණිස නීති ක්‍රියාමාර්ගයන්ට පිවිසීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

නීතිමය පියවර ගන්නා බවට IBA කරන ප්‍රකාශය ඔවුන් IOCයට එරෙහිව ක්‍රියාත්මක කර තිබෙන මෙහෙයුමේ තවත් එක් උදාහරණයක් පමණක් බව IOCය කියනවා.
මේ අතර, IBA පැමිණිල්ල ලැබුණු බව ස්විට්සලන්තයේ නීතිපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.

සබැඳි පුවතක් :
කලීෆ් හා ලින් බොක්සිං ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් වරම් දුන් IOCයට එරෙහිව IBA නඩු මගට

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here