කුඩා කාලයේ දී දරුවන්ගේ මනසට වැටෙන වචන, සිතුවිලි සහ කතා ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලපාන ප්‍රබල සාධකයක් යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව මගින් ඉංග්‍රීසි බසින් සම්පාදනය කළ ළමා පොත් පිළිබඳ ව උපදෙස් සංග්‍රහය වන “Fiction Wonderland : A Comprehensive Guide to Creating
Children’s Fiction Books” නමැති කෘතිය අමාත්‍යතුමිය වෙත පිළිගැන්වීමේ වැඩසටහනට එක් වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය…
“දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන අතිශය බලවත් මාධ්‍යයක් ලෙස ළමා සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්. අපේ අරමුණ වන්නේ දරුවන්ට කියවීමේ රසයත් සමග නිරෝගී, සංවේදී මනසක් ගොඩනගා දීමයි. එබැවින් ළමා සාහිත්‍ය නිර්මාණය කළ යුත්තේ සරල වචනවලින් පමණක් නොව, දරුවාගේ මනස බබළවන විචාර සහ වටිනාකම් අන්තර්ගත කරමිනුයි.
මෙවැනි ඉතා කාලෝචිත කෘතින් නිර්මාණය කිරීම හා එම පොත් පරිශීලනය කිරීමෙන් ඉදිරියේ දී ළමා සාහිත්‍ය කෘති රචනා කරන ලේඛක ලේඛිකාවන්ට ඉතා උසස් නිර්මාණ බිහි කිරීමට මනා පිටිවහලක් ලැබෙනවා. දරුවන් කුඩා කාලයේ සිට ම කියවීමට යොමු කරවීම හා උසස් රසවින්දනයක් ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා.”
ඉංග්‍රීසි භාෂාවෙන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය ඉදිරියේ දී සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් එළිදැක්වීමට නියමිත ය. මෙය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ඒකාබද්ධව දියත් කරන වැඩසටහනකි.
මෙම අවස්ථාව සඳහා: උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරිහූ පිරිසක් එක් වූහ.

