නවක වදය මෙන්ම විශ්වවිද්‍යාලවල සිදුවන සියලු හිංසන පිළිබඳ සොයා බලන්න – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

0
23

විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය සහ සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්ව වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්ව තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසන සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 3ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බලකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසුවා ය.

මෙවැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහි දී කාර්ය සාධක බලකායේ නියෝජිතයින් පෙන්වා දුන් අතර අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩනැගී නොතිබීම, නවක වදය පිළිබඳ සිසුන් තුළ පවතින වැරදි ආකල්ප, අවනත කරගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී නියෝජිතයින් විසින් පැහැලිදි කරන ලදී.

විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුනට ලකුණු ලබා දීමේ දී සහ පන්ති සාමර්ථ ලබා දීමේ දී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම් නිසා සිසුන් ආතතියට පත්වීම යනාදි කරුණු පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

සියලු ආකාරයේ හිංසන නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටිකාලීනව සහ දිගුකාලිනව ගත යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසත්, නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීතී යාවත්කාලීන කරන අතර ආකල්ප සංවර්ධන වැඩසටහන් යනාදිය සංවිධානය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පැවසුවා ය.

විවිධ ආකාරයේ හිංසනවලට ලක්වන සිසුන් කෙරෙහි අවධානය යොමුකිරීම මෙන් ම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මෙහි දී පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here