අසේෆාගෙන් ලෝක වාර්තාවක්: සවිගෙන් උපායශීලී ජයග්‍රහණයක්

0
11

ඉතියෝපියාවේ ටිගිස්ට් අසේෆා (Tigst Assefa) කාන්තාවන්ගේ-පමණක් ලෝක වාර්තාව බිඳ දමමින් 45 වැනි ලන්ඩන් මැරතන් තරගය

ඊයේ ජය ගනිද්දී කෙන්යාවේ සෙබාස්ටියන් සවි (Sebastian Sawe) පිරිමි ජයග්‍රහණය කරා ගියේ විශාල ප්‍රමාණයකින් යුත් තරගකරුවන්ගේ පොකුර කඩාගෙන යාම සඳහා අතිදක්ෂ උපායශීලී තීරණයක් ගනිමින්.

පසුගිය වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත් 28 හැවිරිදි අසේෆා ඉරිදා තරගයේදී කෙන්යාවේ ජොසලීන් ජෙප්කොස්ගේ (Joyciline Jepkosgei) සමග ආරම්භයේ පටන් වේගවත් ධාවනයක යෙදී සිටීමෙන් පසුව අවසාන කිලෝමීටර් දෙකේදී ඇගෙන් මිදී ඉදිරියට යාමට සමත් වුණා.

අසේෆා පැය 2යි: මිනිත්තු 15යි: තත්පර 50කින් තරගයේ අවසන් රේඛාව පසුකළේ කෙන්යාවේ Peres Jepchirchir විසින් පසුගිය වසරේ ලන්ඩනයේ පිහිටුවා තිබූ 2:16:16ක කාන්තාවන්ගේ-පමණක් වාර්තාව මකා දමමින්. 

තරගය අවසන් වේලාවේ සෙල්සියස් අංශක 20 ට ළඟා වෙමින් තිබූ උෂ්ණත්වය සමග දීප්තිමත් ලන්ඩන් හිරු තමාට උපකාරී වූ බව අසේෆා ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.

31 හැවිරිදි ජෙප්කොස්ගේ 2:18:44 කාලයක් සටහන් කරමින් දෙවැනි ස්ථානයට පත්වුණා.

තරගයේ අඩක් නිමවෙද්දී පෙරමුණ ගෙන සිටි තරගකාරියන්ගෙන් පිටුපසට වැටුනු ඔලිම්පික් මැරතන් ශූරිය හා 2024 ලන්ඩන් ජයග්‍රාහිකාව වන නෙදර්ලන්තයේ Sifan Hassan තෙවැනියට තරගය අවසන් කළේ 2:19:00 කාලයකින්.

පසුගිය දෙසැම්බරයේ වැලන්සියා හි දී ජයග්‍රහණය කරමින් විස්මිත මැරතන් තරග ආරම්භයක් සනිටුහන් කළ 29 හැවිරිදි සෙබාස්ටියන් සවි ඊයේ තරගයේ ඉදිරියෙන් සිටි පිරිමි පොකුරෙන් මිදුනේ තරග අවසානයට කිලෝමීටර් 10ක් පමණ තිබියදී අනෙක් තරගකරුවන් වතුර බෝතල නැවත සපයා ගනිමින් සිටි මොහොතේ. ඔහු 2:02:27 කාලයකින් තරගය ජය ගත්තා.

පෙබරවාරි මාසයේදී ලෝක අර්ධ මැරතන් වාර්තාව බිඳ දැමූ උගන්ඩාවේ Jacob Kiplimo ඊයේ සහභාගි වූ ඔහුගේ මංගල මැරතන් තරගයේ 2:03:37 කාලයක් සටහන් කරමින් දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර පසුගිය වසරේ ජයග්‍රාහක කෙන්යාවේ Alexander Mutiso Munyao තෙවැනි ස්ථානයට පත්වූයේ නෙදර්ලන්තයේ Abdi Nageeye සමග ඉතාමත් තියුණු සටනකින් පසුව. 

මේ දෙදෙනා ම තරගයේ අවසන් රේඛාව පසුකළේ 2:04:20 කාලයක් සටහන් කරමින් නිසා දෙදෙනාගෙන් ජයග්‍රාහකයා තෝරා ගැනීම පිණිස photo finish තාක්ෂණය යොදා ගැනීමට සිදුවුණා.

සිවු වතාවක් ශූරයා වූ Eliud Kipchoge ට මෙවර හිමිවූයේ 6 වැනි ස්ථානය.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here