තාක්ෂණය ඉහවහා ගියත් ධීවර දුක නොනිවෙන්නේ ඇයි? |රීටා ජෙනට් පෙරේරා

    0
    10

    ලොව බොහෝ රටවල ධීවර කර්මාන්තය ප්‍රධාන ධනෝපායන මාර්ගයක් බවට පත්ව තිබේ.

    විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ධීවර කටයුතු හා බැඳුණු යාන්ත්‍රික මෙන්ම සන්නිවේදන තාක්ෂණයේ සිදුවූ ශීඝ්‍ර දියුණුව නිසා මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ප්‍රශස්ත මට්ටමක් දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇත. නමුත් ශ්‍රී ලංකාව, දූපතක් ලෙස විශාල සාගර සම්පතකට උරුමකම් කීවද, එම තාක්ෂණික දියුණුව ආසියාතික මට්ටමින්වත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැත. මේ තත්ත්වය වඩාත් තීව්‍ර වන්නේ මුහුදෙන් ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්න හා සම්බන්ධ පසු අස්වනු තාක්ෂණය (Post-harvest technology) සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව තවමත් එම අංශයෙන් පසුවන්නේ ඉතා ප්‍රාථමික මට්ටමක ය.


    පසු අස්වනු තාක්ෂණය සහ එහි ආර්ථික වටිනාකම


    සාමාන්‍යයෙන් අපතේ යන ද්‍රව්‍ය ලෙස සැලකෙන, මත්ස්‍ය අස්වැන්නෙන් ඉතිරි වන කටු, හිස්, බොකු, වරල් සහ සම වැනි කොටස්, නවීන තාක්ෂණය භාවිතයෙන් ඉහළ පෝෂණීය හා ආර්ථික වටිනාකමකින් යුත් නිෂ්පාදන රැසක් බවට පත් කළ හැකිය. මේ ක්‍රියාවලිය පරිසර දූෂණය අවම කිරීමට මෙන්ම නිල් ආර්ථිකය (Blue Economy) සංකල්පයට විශාල දායකත්වයක් සපයයි.

    මත්ස්‍ය ප්‍රෝටීන් හයිඩ්‍රොලිසේට් (FPH – Fish Protein Hydrolysate):

    එන්සයිමීය ජලවිච්ඡේදක තාක්ෂණයෙන් මත්ස්‍ය ප්‍රෝටීන් කුඩා පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල බවට පත් කර, පහසුවෙන් දියවන ප්‍රෝටීන් කුඩු ලෙස සකස් කරයි. ලොව බොහෝ රටවල මෙය ක්‍රීඩකයන්ගේ පෝෂණ අතිරේක, ළදරු ආහාර සහ ශක්තිජනක පාන වර්ග සාරවත් කිරීමට යොදාගනී.

    සාගර කොලජන් සහ ජෙලටින්:


    මත්ස්‍ය සම, කටු සහ කොරපොතු වලින් රසායනික හා තාප සැකසුම් මගින් උසස් තත්ත්වයේ කොලජන් හා ජෙලටින් නිස්සාරණය කෙරේ. වර්තමානයේ ඉහළ ඉල්ලුමක් ඇති කොලජන් පෙති හා කුඩු, ජෙලි, මාෂ්මෙලෝ වැනි රසකැවිලි සඳහා මෙන්ම සමේ සෞඛ්‍යය වර්ධනය කරන නියුට්‍රාසූටිකල්ස් (Nutraceuticals) සඳහා ද භාවිත වේ.

    ඔමේගා-3 සහ මත්ස්‍ය තෙල්:

    මත්ස්‍ය හිස් හා බොකු කොටස් අධිවේගී Centrifugation සහ පිරිපහදු කිරීමේ තාක්ෂණයට ලක් කරමින් ඔමේගා-3 EPA/DHA කැප්සියුල නිෂ්පාදනය කෙරේ. මේවා හෘදයාබාධ පාලනයට සහ මොළයේ වර්ධනයට උපකාරී වන සෞඛ්‍ය අතිරේක ලෙස වැදගත් වේ.

    ස්වභාවික කැල්සියම් කුඩු:

    මත්ස්‍ය කටු හා හිස් ඉහළ උෂ්ණත්ව යටතේ වියළා නැනෝපාටිකල් මිලිං (Nanoparticle Milling) තාක්ෂණයෙන් සකස් කරන කැල්සියම් කුඩු; බිස්කට්, පාන් වැනි බේකරි නිෂ්පාදන සාරවත් කිරීමටත්, ඔස්ටියෝපොරෝසිස් රෝගීන් සඳහා ඖෂධීය ආහාර ලෙසත් යොදාගනී.

    ශ්‍රී ලාංකික පොදු සමාජයට මේවා නුහුරු වුව ද, මෙම මත්ස්‍ය නිෂ්පාදන සමහරක් මෙරට සුපිරි වෙළඳසල්වල ඉහළ මිලකට අලෙවි වන අතර ධනවත්තු ඒවා මිලට ගනිති.

    සත්ව පාලනය සහ ශුන්‍ය අපද්‍රව්‍ය සංකල්පය

    මිනිස් පරිභෝජනයට අමතරව, සත්ව පාලනය සඳහා ද මෙම අතුරු නිෂ්පාදන වටිනා සම්පතකි. නවීන ඩ්‍රයර් (Dryer) සහ එක්ස්ට්‍රූෂන් (Extrusion) තාක්ෂණයෙන් නිපදවන උසස් තත්ත්වයේ මත්ස්‍ය කුඩු හෙවත් ‘ෆිෂ් මීල්’ (Fishmeal), කුකුළු හා සත්ව පාලනය සඳහා ඉහළ ප්‍රෝටීන් සහිත ආහාරයකි. එමෙන්ම බළලුන් හා බල්ලන් සඳහා රසකාරක හා පෝෂණය සපයන ටින් කළ ආහාර සහ බිස්කට් වර්ග ‘පෙට් ෆුඩ්’ (Pet Food) ලෙස ද නිපදවනු ලැබේ. අපතේ යාම අවම කරමින් ශුන්‍ය අපද්‍රව්‍ය (Zero Waste) සංකල්පය කරා ළඟාවීම, මෙවැනි නවීන තාක්ෂණයෙන් ලැබෙන ප්‍රධාන වාසියකි.


    ගෝලීය ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ විභවය

    මෙම නිෂ්පාදන සිදුකරන රටවල ධීවර කර්මාන්තයේ නියුතු අයට තම අස්වැන්නෙන් උපරිම ලාභයක් ලැබීමට අමතර ආදායම් මාර්ග විවෘත වේ. මේ වන විටත් ප්‍රමුඛ පෙළේ ආසියාතික රටවල් කිහිපයක් මෙම ක්ෂේත්‍රයෙන් බිලියන ගණනක අමතර ආදායමක් උපයයි. ඒ අනුව ජපානය මත්ස්‍ය සම හා කටුවලින් කොලජන් නිෂ්පාදනයේදීත්, ඉතිරි මාංශ කොටස්වලින් ‘සුරිමි’ (Surimi) වැනි කෘත්‍රිම ආහාර නිපදවීමේදීත් ලොව පෙරමුණේ සිටී.

    වියට්නාමය ලොව විශාලතම පැන්ගාසියස් අපනයනකරු වන අතර, ඔවුන් එන්සයිමීය ජලවිච්ඡේදක තාක්ෂණයෙන් උසස් තත්ත්වයේ මත්ස්‍ය සෝස්, ඉහළ ප්‍රෝටීන සහිත සත්ව ආහාර සහ ඔමේගා-3 තෙල් නිපදවයි. එමෙන්ම තායිලන්තය ටූනා සැකසුම් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරමින්, ටූනා හිස් හා ඇස් කොටස්වලින් ඔමේගා-3 අතිරේක සහ සුරතල් සතුන්ගේ ආහාර (Pet Food) ටින් කර ලොවට අපනයනය කරයි. ලොව විශාලතම ජලජීවී වගාකරු වන චීනය ද කාර්මික මට්ටමින් මත්ස්‍ය අපද්‍රව්‍ය එන්සයිම ආධාරයෙන් බිඳ හෙලා ළදරු ආහාර හා ප්‍රෝටීන් හයිඩ්‍රොලයිසෙට් මෙන්ම කැල්සියම් අතිරේක ද නිෂ්පාදනය කරයි.

    මේ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන් එන්සයිමීය ජලවිච්ඡේදනය, අල්ට්‍රා-ෆිල්ට්‍රේෂන් (Ultra-filtration) සහ ශීත-වියළීමේ හෙවත් ‘ෆ්‍රීස්-ඩ්‍රයින්ග්’ (Freeze-drying) තාක්ෂණය භාවිත කරයි. මෙම ආහාර වර්ග විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අරුමයක් නොවේ. එබැවින් ශ්‍රී ලංකාවට ද සාමාන්‍යයෙන් ඉවතලන මත්ස්‍ය අතුරු නිෂ්පාදන, නවීන තාක්ෂණය හා ඉහළ කළමනාකරණ ක්‍රමවේද හරහා වටිනා සම්පතක් බවට පත් කර ගත හැකි විශාල විභවයක් පවතී. නමුත් අප රටේ ධීවර ප්‍රජාවට එබඳු සහන් එළියක් දිස්වන ලකුණක්වත් පෙනෙන්නට නැත.

    දේවස්ථානය සහ ධීවරයා අතර ඓතිහාසික සබැඳියාව

    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවගෙන් සැලකිය යුතු බහුතරයක් කතෝලික භක්තිකයන් වීම ඓතිහාසික සංසිද්ධියකි. ඔවුන් බහුලවම දැකගත හැක්කේ බටහිර සහ වයඹදිග වෙරළ තීරයේ, විශේෂයෙන්ම මීගමුව සිට හලාවත සහ මන්නාරම දක්වා වූ කලාපවල ය. පෘතුගීසි යුගයේ සිටම දේවස්ථානය සහ ධීවරයා අතර ගොඩනැගුණු සබැඳියාව අවියෝජනීය එකකි. 

    එම බැඳීම හුදු ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී, ධීවරයාගේ ජීවනෝපාය, සමාජ සුබසාධනය, අධ්‍යාපනය සහ අර්බුද කළමනාකරණය දක්වා විහිදුණු සමස්ත ජීවන රටාවකම කොටසක් බවට පත්ව තිබුණි. එදා පල්ලිය යනු වෙරළේ තිබූ එකම ‘විශ්වවිද්‍යාලය’ වූ අතර, කාලගුණය කියවීම, නව දැල් ක්‍රම, බෝට්ටු ආරක්ෂාව සහ සමුපකාර ධීවර සමිති පවා ගොඩනැගුණේ දේවස්ථානයේ සෘජු මැදිහත්වීමෙනි. 1980 දශකය දක්වාම මෙම මිෂනාරි භාරකාරත්වය හරහා ධීවරයා ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්විණි.

    සාම්ප්‍රදායික භාරකාරත්වයේ බිඳවැටීම සහ ව්‍යාපාරික ඒකාධිකාරය

    එහෙත් අද වන විට එම ඓතිහාසික තත්ත්වය උඩුයටිකුරු වී ඇත. පල්ලිය සතුව පැවති ධීවර ජනතාවගේ එම සාම්ප්‍රදායික භාරකාරත්වය ව්‍යාපාරික ප්‍රජාව විසින් අත්පත් කරගෙන අවසන් ය. 1990 දශකයේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ මැදිහත්කරුවන් විසින් ධීවර ප්‍රජාව ණය උගුල්, වෙළඳපොළ ඒකාධිකාරය මෙන්ම ඉන්ධන සහ උපකරණ මත සිය පාලනයට නතු කරගෙන ඇත. මේ නිසා දේවස්ථානයේ වත්මන් භූමිකාව වාර්ෂික මංගල්‍යය සහ ආගමික වතාවත්වලට පමණක් සීමා වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ධීවරයා මුහුදට බිය නැති වුවත්, ගොඩබිමේදී වෙළඳපොළට සහ ණයකරුවාට බිය වන අසරණ තත්ත්වයකට පත්ව සිටී. දේවස්ථානය මෙම ඓතිහාසික වගකීමෙන් බැහැර වී ඇති ආකාරය ප්‍රධාන කරුණු තුනකින් පැහැදිලි කළ හැක:

    තාක්ෂණික හා මඟපෙන්වීම් හිඟකම:
    නූතන ධීවර තාක්ෂණය, GPS (Global Positioning System), කාලගුණ අනාවැකි, තිරසාර මසුන් ඇල්ලීම සහ අපනයන වෙළඳපොළ අවස්ථා පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමෙන් පල්ලිය මුළුමනින්ම පාහේ බැහැර වී ඇත.

    නව පූජක පරපුරේ අවබෝධය පළුදු වීම:
    වෙරළබඩ දේවස්ථානවල භාරකාරත්වයට පත්වන නව පූජක පරපුරේ ඇතැමෙකුට ධීවර ජීවනෝපාය, එහි අභියෝග සහ තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් නොමැති වීම නිසා විශාල දැනුම් හිදැසක් නිර්මාණය වී ඇත.

    ධනපති පන්තිය වැළඳ ගැනීම:
    වඩාත්ම වේදනාකාරී කරුණ වන්නේ, දැනුම ඇති ඇතැම් පූජකවරුන් පවා දිළිඳු ධීවරයා වෙනුවට ඔවුන්ව සූරාකන ධනවත් ව්‍යාපාරික ප්‍රජාව වැළඳ ගැනීමයි. පල්ලියේ වාර්ෂික දේව මංගල්‍යයේ ප්‍රධාන ආධාරකරු බෝට්ටු/පන්න හිමිකරු වූ විට, කුලී ධීවරයාගේ හඬ යටපත් වීම ස්වභාවික ය.

    දේශපාලන සන්ධාන සහ සභාවේ සැබෑ වගකීම

    මේ වන විට මහත් ආන්දෝලනයට පත් පාස්කු ප්‍රහාර විමර්ශන හමුවේ ශ්‍රී ලංකා කතෝලික සභාව දේශපාලනික පිවිසුමක් මත වත්මන් ආණ්ඩුව සමඟ ඉතා සමීපව කටයුතු කරන බවට ඇතැම්හු චෝදනා කරති. නමුත් මෙවන් දේශපාලන සන්ධාන තාවකාලික වන අතර දිළිඳුන්, පීඩිතයන් සහ අසරණයන් සුරක්ෂා කිරීම නමැති දේව නියමය සදාතනික ය.

    ආණ්ඩුව සමඟ කුමන සම්බන්ධතාවයක් පැවතියද, වෙරළේ කුසගින්නේ සිටින ධීවර පවුල වෙනුවෙන් හඬ නැගීමේ වගකීමෙන් සභාවට මිදිය නොහැක. දේශපාලන බලය වෙනුවෙන් වෙරළේ ජනතාවගේ හඬ යටපත් කිරීමට ඉඩ දීම සභාවේ මූලික හර පද්ධතියටම පටහැනි ය. ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට තම ඓතිහාසික ධීවර උරුමය ව්‍යාපාරිකයන්ට පාවා දීමට කිසිදු අයිතියක් නැත.

    අනාගත පියවර සහ යෝජනා

    ශ්‍රී ලංකා කතෝලික සභාව දේව නියමය අනුව යමින් දිළිඳු ධීවර ජනතාව සුරක්ෂා කිරීම සම්බන්ධයෙන් මීට වඩා වගකීම් සහගත විය යුතු අතර, ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

    දැනුමෙන් සන්නද්ධ පූජකවරුන් පත් කිරීම: වෙරළබඩ දේවස්ථාන සඳහා ධීවර තාක්ෂණය, සමුද්‍ර නීතිය සහ සමුපකාර ආර්ථිකය පිළිබඳ පුහුණුව ලත් පූජකවරුන් පත් කිරීම අත්‍යවශ්‍ය වේ.

    ධීවර අධ්‍යයන ඒකක පිහිටුවීම:
    වෙරළබඩ සෑම රදගුරු පදවියකම ධීවර ජනතාවගේ සමාජ ආර්ථික ගැටළු අධ්‍යයනය කිරීම සඳහා වෙනමම අධ්‍යයන ඒකක පිහිටුවිය යුතුය.
    ව්‍යාපාරිකයන් මත යැපීම අවම කිරීම: දේවස්ථාන මංගල්‍යයන් සඳහා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන ආධාර මත පමණක් යැපෙන ක්‍රමය වෙනස් කර, සමස්ත ප්‍රජා දායකත්වයට මඟහසර විවර කළ යුතුය.

    ප්‍රතිපත්තිමය මැදිහත්වීම:
    ඉන්ධන සහනාධාරය, තිරසාර නොවන ධීවර ක්‍රම නියාමනය සහ ධීවරයන්ගේ විශ්‍රාම වැටුප වැනි කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමේදී, සභාව සැමවිටම දිළිඳු ධීවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

    කෙටියෙන් ම කිවහොත්, පල්ලිය යළිත් වෙරළට යා යුතු ය. එසේ නොවුණහොත් මුහුද මෙන්ම දේවස්ථානය ද දිළිඳු ධීවරයාට අහිමි වූ දේවල් ලැයිස්තුවට එකතු වීම වැළැක්විය නොහැකි බව සමස්ත ධීවර ප්‍රජාවම පෙන්වා දෙති.

    (සටහන | රීටා ජෙනට් පෙරේරා)
    නිදහස් මාධ්‍යවේදිනී
    [email protected]

    උපුටා ගැනීම –vinivida.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here