මේ මොහොතේ ජීවිතය විඳින්න ඊළඟ අවස්ථාව අවිනිශ්චිතයි

    0
    42

    අපි ඕනම කෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ එදිනෙදා අපිට අවස්ථාවන් ලැබුණත් ඊටත් වඩා හොඳම අවස්ථාවක් එනකල් බලන් ඉන්න. සමහරු අතීතය ගැන පසුතැවෙමින් ඉන්නවා. තවත් සමහරු අනාගතය ගැන දුක් වෙවී ඉන්නවා. නමුත් තමන්ට ජීවත් වෙන්න ලැබිලා තියෙන අවස්ථාව තමයි වර්තමානය. අපි වර්තමානයට ඉංග්‍රීසියෙන් Present කියනව වගේ ඇත්තටම වර්තමානය කියන්නේ Present (තෑග්ග) එකක් තමයි. නමුත් අපි මේ තෑග්ග මගහැරගන්නවා. හොඳම දෙයක් ලැබුණත් ඒ අවස්ථාව හොඳම අවස්ථාව විදිහට බාර නොගෙන ඊටත් වඩා අවස්ථාවක් එයි කියල බලන් ඉන්නවා. ඉතින් ජීවිතේ කවදාවත් සතුටු වෙන්න වෙන්නෙ නෑ. මොකද අපේ සතුට හැමවෙලාවම තියෙන්නේ ඊළඟ මොහෙතෙ නිසා.

    අපි උදාහරණයකට O/L ලියල ප්‍රතිඵල ආපු ළමයෙක් ගමු. ඒ ළමයා 9ක් සහිතව විභාගෙ පාස් වුණත් සමත්වීමේ සතුට වැඩිකල් තියෙන්නේ නෑ. මොකද ඊළඟට එයා හිතන්න ගන්නවා මොනවද මම A/L වලට තෝරගන්න ඕන විෂයන් කියලා. O/L ලියපු ළමයා හිතනවා මට සතුටු වෙන්න පුළුවන් A/L පාස් වුණාට පස්සේ. A/L පාස් වුණ ළමයා හිතනවා මට සතුටු වෙන්න පුළුවන් කැම්පස් ගියොත්. කැම්පස් ගිය ළමයා හිතන්නෙ මට සතුටු වෙන්න නම් ඩිග්‍රි එක ගන්න ඕන. ඩිග්‍රි එක ගත්ත ළමයා හිතනවා එයාට සතුටු වෙන්න පුළුවන් හොඳ රස්සාවක් හම්බුණාට පස්සෙ කියලා. ඒ වගේ අපේ සතුට තියෙන්නේ අපි පුරුදු වෙලා තියෙන විදිහට මේ අවස්ථාවේ නෙවේ. ඊළඟ අවස්ථාවේ. නමුත් ඊළඟ අවස්ථාව හරිම අවිනිශ්චිතයි.

    අලුතින් රැකියාවකට ගියොත් එතන තියෙන්නේ අලුත් පරිසරයක්. ඒ අලුත් පරිසරයට එයාට හුරුවෙන්න බැරි නම් එයා කොච්චර සුදුකම් සපිරිණු පුද්ගලයෙක් වුණත් එයාට ඉක්මනින් එතනින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මට මුණගැසුණු ගොඩක් දරුවන්ගෙන් මම අහල තියෙනවා ඔයා ලොකු වුණාම කවුරු විදිහටද ඉන්න කැමති කියලා.

    නමුත් ඒ ළමයින්ට අනාගතය ගැන කිසිම ඉලක්කයක් නෑ. හොඳට ඉගෙන ගෙන රස්සාවක් කරන එක විතරයි ඔළුවෙ තියෙන්නේ. මොකද ඒ දරුවන්ගෙ දක්ෂතා අඳුරගන්න කිසිම අවස්ථාවක් ලැබිලා, සිලබස් කවර් කිරිල්ලෙන් ලැබිලා නෑ. O/L පාස් වෙන විදිහෙන් තමයි A/L විෂයන් තෝරගන්නෙ.

    A 9 ක් තිබුණ කෙනා බොහෝවිට තෝරගන්නෙ විද්‍යාව, ගණිතය විෂයන්. ඊට වඩා පොඩ්ඩක් ප්‍රතිඵල අඩුනම් කොමස්. ඊටත් අඩුනම් කලා. උසස් පෙළ තමයි තීරණය කරන්නෙ අපි යන්න ඕන මොන පැත්තටද කියලා. නමුත් බොහෝ දරුවන්ට වගේම දෙමාපියන්ට ඕක තේරෙන්නෙ නෑ. සමහරවිට කලා විෂයන්වලට බොහෝම දක්ෂ දරුවා A9 ක් ගත්තු නිසා විද්‍යා විෂයන් කරනවා වෙන්න පුළුවන්. ඊටපස්සෙ තමන් හදාරපු දේවල් අනුව රැකියාව ලැබුණත් ඇතැම්විට නොකැමැත්තෙන් තමන් රැකියා ස්ථානයේ කාලය ගෙවන්න සිද්ධවෙන්නේ.

    ලංකාවේ බොහෝ දරුවන්ට දෙමාපියන් ස්වාධීන වෙන්න දෙන්නෙ නෑ. දරුවව නිදි කරවගන්නෙත් අම්මයි තාත්තයි මැද. ඒකෙන් වෙන්නෙ දෙමාපියන්ගෙත් පෞද්ගලිකත්වයට බාධා වෙන එක. ඔය පුරුද්ද අම්මලා දරුවො ලොකු වෙලා කසාද බැන්දමවත් අත්හරින්නෙ නැතිවීම තුළ තමයි බොහෝ ගැටුම් ඇතිවෙන්නේ.

    ලෝකයේ තියෙනවා විසඳන්න ඕන ප්‍රශ්න සහ ඉබේ විසඳෙන ප්‍රශ්න. බොහෝ දෙනා ආතතියට පත්වෙන්නෙ ඉබේ විසඳෙන්න තියෙන ප්‍රශ්න බලෙන් විසඳන්න ගිහින්. කතාවක් තියෙනවනෙ හැමදේම වෙන්නෙ හොඳට කියලා. ලෝකෙ වෙන හැම සිදුවීමකටම රටාවක් තියෙනවා. අපි ඒ රටාව තේරුම්ගත යුතුයි. මේ වෙන හැමදේකම හොඳ පැත්තක් තියෙනවා. නමුත් අපි මනස පුරුදු කරගෙන නෑ ඒ හොඳ පැත්ත දකින්න. එතකොට අපි හිතන්නෙ දෙයක් අහිමි වීම විශාල පාඩුවක් කියලා. නමුත් බොහෝ වෙලාවට අහිමි වීම කියන්නෙ පාඩුවක් නෙවේ.

    මේකට හොඳම උදාහරණය මට දවසක් පුද්ගලයෙක් මුණගැසුණා. හොඳ ව්‍යාපාරිකයෙක්. නමුත් එක්වරම ඔහුගේ ව්‍යාපාර සියල්ල කඩාවැටෙනවා. බිරිඳ අත්හැරලා යනවා. පසුව මොහු තීරණයක් ගන්නවා පිස්ටල් එකෙන් වෙඩි තියාගන්න. නමුත් මේ පුද්ගලයගෙ වෙලාවට තුවක්කුවේ උණ්ඩ තිබිල නෑ. අද වෙද්දි ඔහු නැවතත් ව්‍යාපාර ගොඩනගාගෙන සාර්ථක පුද්ගලයෙක් වී අවසන්. ඔහු මට කිව්වා “එදා හොඳ වෙලාවට තුවක්කුවේ උණ්ඩයක් නොතිබුනේ උණ්ඩෙ තිබුණ නම් අද මේ සතුට මට නෑනෙ” කියලා.

    ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා
    මනෝ චිකිත්සක
    ඩී. එස්. හේවගේ

    එරංදි කෞශල්‍යා

    navaliya.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here