ඈත අතීතයේ ගැහැනු සහ පිරිමි දෙපාර්ශවය ම යට ඇඳුම ලෙස ‘අමුඩය’ ඇඳි බව ඔබ දන්නවා ද? ඇතැම් විට එය ඔබ මවිතයට පත් කරවනසුලු කාරණයක් විය හැක.
නමුත් ඉතිහාසය දෙස බැලීමේදී එහි සත්‍යතාව පිළිබඳව අපට අවබෝධ වනු ඇත.
යට ඇඳුම් පිළිබඳව අධ්‍යයනයේ නිරත විශේෂඥයින්ගේ මතය නම්, අමුඩය යට ඇඳුම්වල මුල් ම ආකාරය බව ය.
කෙසේ වෙතත්, යට ඇඳුම්වල ඉතිහාසය යුග ගණනාවක් පුරා බොහෝ විට නොසලකා හරින ලද මාතෘකාවක් බවට පත්ව තිබුණු බව, ඒ පිළිබඳව අධ්‍යයනය කරන විශේෂඥයෝ පෙන්වා දෙති.
එසේ වුව ද යට ඇඳුම් මානව ශිෂ්ටාචාරයේ වැදගත් අංගයක් වන අතර ම එය සමාජ සම්මතයන් සහ අවශ්‍යතා හැඩගැස්වීමෙහි ලා ද විශේෂ කාර්යභාරයක් ඉටු කර තිබේ.
මේ, මීට වසර 5,000කට පමණ පෙර අප අතරට පැමිණි, නමුත් අපට මග හැරුණු යට ඇඳුම්වල ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමකි.
යට ඇඳුමක් කියලා කියන්නේ මොකක් ද?
යට ඇඳුම්වල ඉතිහාසය සොයා යාමට පෙර එය නිසි ලෙස නිර්වචනය කර ගැනීම අපගේ අරමුණ වෙත ළඟා වීම වඩා ත් පහසු කරනු ඇත.
බීබීසී සිංහල මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ පේෂකර්ම සහ ඇඟලුම් ඉන්ජිනේරු විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අයේෂා වික්‍රමසිංහ සමග සංවාදයක යෙදුණෙමු.

ආචාර්ය අයේෂා වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ කාන්තා යට ඇඳුම් ඉතිහාසය පිළිබඳව ද පර්යේෂණය කළ, පේෂකර්ම සහ ඇඟලුම් ඉන්ජිනේරු විද්‍යා විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.
ඇය සඳහන් කළ පරිදි යට ඇඳුමක් යනු, සමට ඉතා සමීපව පළඳින ඇඳුම් කාණ්ඩයකි. එය ශරීරයට දෙවන සමක් ලෙස ක්‍රියා කරයි.
“අපේ සමත් එක්ක මුලින් ම ස්පර්ශ වන යම් ආවරණයක් අපිට යට ඇඳුමක් කියලා කියන්න පුළුවන්. යට ඇඳුම තමයි වැඩි දියුණු වෙලා අපි මේ එළියට අඳින ඇඳුම නිර්මාණය වෙන්නේ. යට ඇඳුම තමයි මූලික ම ඇඳුම හැමෝම ඇඳපු,” ඇය අපගේ සංවාදයට මුල පිරුවා ය.

ජොඈන් ඊ. බ්ලෙයාර් 1992 පළ වූ සිය Fashion Terminology කෘතියේ යට ඇඳුම් අර්ථ දක්වන්නේ, පිටත ඇඳුම් යටින් ඇඳි ඇඳුම් කාණ්ඩයක් ලෙස ය. ඊට අමතරව, යට ඇඳුම් පිටත ඇඳුම් ලෙස ආරම්භ වී ක්‍රමයෙන් යට ඇඳුම් ලෙස ඇඳීමට පටන් ගත් බව එලිසබෙත් යුවින්ග් 1971 පළවූ සිය Fashion in Underwear කෘතියේ සඳහන් කර ඇත.
මේ බව ආචාර්ය අයේෂා වික්‍රමසිංහ ඇයගේ Evaluating the History of Women’s Underclothing of Sri Lanka පර්යේෂණයේ ද සඳහන් කර ඇත.
මුල් ම යට ඇඳුම මොකක් ද? මුලින් ම ඇන්දේ කවුද?


යට ඇඳුම්වල උපත සිදු වූයේ, වසර 5000කට පමණ පෙර ය.
ආචාර්ය අයේෂා වික්‍රමසිංහ පෙන්වා දෙන පරිදි, ලෙස්ලි ස්කොට් නමැති කතුවරිය 2010 පළවූ සිය ‘Lingerie: A modern Guide’ නමැති ග්‍රන්ථයේ එය සඳහන් කර තිබේ.
යට ඇඳුම්වල මුල් ම ආකාරය ආසන්න වශයෙන් අමුඩය (loincloth) යැයි සැලකේ. අතීතයේදී එය කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවය ම ඇඳ ඇති බව ද සඳහන් ය.

එය ශ්‍රී ලාංකික අපට ද අදටත් හුරුදු පුරුදු වස්ත්‍රයකි. ඒ, අමුඩය මෙරට කෘෂිකර්මාන්තය හා බැඳි වස්ත්‍රයක් වූ බැවිණි. නමුත් එය අදටත් ලොව වෙනත් කලාපවල ද දැකගත හැකි අතර එහි හැඩය ද ඒ අනුව වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය.
“ලෝකය ගත්තත් අමුඩයෙන් තමයි යට ඇඳුම කියන එක දියුණු වෙලා එන්නේ,” ආචාර්ය අයේෂා වික්‍රමසිංහ එය තවදුරටත් පැහැදිලි කළා ය.
ඇය පෙන්වා දුන්නේ, යට ඇඳුම්වල ආරම්භය කාන්තාවන් හා බැඳී ඇති බවට විශ්වාස කෙරෙන බව ය. කාන්තාවන් ඔසප් වීමේදී ඒ සඳහා භාවිත කළ යම් ආවරණයක් ලෙස යට ඇඳුම් ආරම්භ වන්නට ඇති බව තමා අධ්‍යයනය කළ තොරතුරු අනුව පෙනී යන්නේ යැයි ඇය පැවසුවා ය.
“මොක ද පිරිමියෙකුට එහෙම අර විශේෂ අවශ්‍යතාවක් තිබිලා නැහැ. මේක ගැහැනිය කියන කෙනා මේ ලෝකෙට ජනිත වෙච්ච දවසේ සිට වෙන දෙයක් නේ. ඒ කියන්නේ මනුෂ්‍යයා කියන කෙනා ඉස්සරහට ගෙනියන්න, මේ ඔසප් වීම අවශ්‍යයි. එතකොට අපිට කියන්න බැහැ, ආ… ගෑනු ඉස්සර හිටියා ඒ අයට එක තිබ්බේ නැහැ කියන්න. එතකොට කොහොම ද හිටියේ? ඇත්තට ම එහෙම ඉන්න බැහැ,” ඇය තවදුරටත් පැවසුවා ය.

“මොක ද පිරිමියෙකුට එහෙම අර විශේෂ අවශ්‍යතාවක් තිබිලා නැහැ. මේක ගැහැනිය කියන කෙනා මේ ලෝකෙට ජනිත වෙච්ච දවසේ සිට වෙන දෙයක් නේ. ඒ කියන්නේ මනුෂ්‍යයා කියන කෙනා ඉස්සරහට ගෙනියන්න, මේ ඔසප් වීම අවශ්‍යයි. එතකොට අපිට කියන්න බැහැ, ආ… ගෑනු ඉස්සර හිටියා ඒ අයට එක තිබ්බේ නැහැ කියන්න. එතකොට කොහොම ද හිටියේ? ඇත්තට ම එහෙම ඉන්න බැහැ,” ඇය තවදුරටත් පැවසුවා ය.
61RZyvbvbFL. AC UF10001000 QL80 අතීත මානවයා “ගස් සුඹුළු” ඒ සඳහා භාවිත කරන්නට ඇති බව ත් එය රඳවා ගැනීමට අමුඩය වැනි යමක් යොදා ගන්නට ඇති බව ත් ඇය පෙන්වා දුන්නා ය.
බාබියර් සහ බූෂා 2004 වසරේ පළවූ The Story of Lingerie කෘතියේ සඳහන් කර ඇත්තේ, කාන්තාවන් සඳහා වූ පළමු යට ඇඳුම් නවීන සනීපාරක්ෂක තුවාවලට සමාන සනීපාරක්ෂක උපකරණයක් බව ය.
යට ඇඳුම් ඇන්දේ ඇයි?

අද වන විට සෑම සමාජයක ම පාහේ යට ඇඳුම් සඳහා ඇත්තේ ප්‍රමුඛ තැනකි. එය හුදෙක් සනීපාරක්ෂාව සඳහා පමණක් නොව විලාසිතාවක් ලෙස ද දැන් භාවිත වෙයි.
නමුත් අතීත මානවයාගේ යට ඇඳුම් ඇඳීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ කුමක් ද?
ආචාර්ය අයේෂා වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, සනීපාරක්ෂාව පමණක් මුල් කරගෙන ඔවුන් යට ඇඳුම් නොඇඳි බව ය. වර්තමානය මෙන් ලිංගික ආකර්ෂණය ඇති කර ගැනීමේ අරමුණින් ද අතීත මානවයා යට ඇඳුම් ඇඳි බව ඇය පැහැදිලි කළා ය.
“ඇත්තට ම හයිජීන් කියන එකටත් වැඩිය, මම අර රිසර්ච් එක කරනකොට සහ කරුණු කියවනකොට තේරුණේ, මේ සේක්ෂුවල් ඇපීල් කියන එක, අපි යට ඇඳුම කියලා දැන් කිව්වට, ඉස්සර යට ඇඳුම ඇඳුමක් නෙවෙයි. සමහර වෙලාවට ඒක බොහෝ වෙලාවට නිවාරණය වෙච්ච, පොඩි නූල් ටිකක් විතරක් තිබ්බ, නැත්නම් පොඩි ආයිත්තමක්, ජුවෙලරි එකක් තමයි යට ඇඳුම වුණේ.”
මානව ශරීරයේ ඉනෙන් උඩ සහ පහළ යන කොටස් දෙක වෙන් වෙන්ව ආවරණය කිරීම සඳහා යට ඇඳුම් ඇඳ ඇති අතර ආචාර්යවරිය සඳහන් කළේ, ඉනෙන් පහළ කොටස ආවරණය කිරීම සඳහා අතීතයේදී මුල් තැනක් ලැබී ඇති බවය.

කාලගුණික වෙනස්කම්වලින් ශරීරය ආරක්ෂා කර ගැනීම, ශරීරයට හැඩයක් ලබා ගැනීමට මෙන් ම සමාජ පන්ති වෙනස පෙන්වීමට ද යට ඇඳුම් භාවිත කළ බව ඇය සිය පර්යේෂණයේ සඳහන් කර තිබේ.
සිසිල් විලට් කනින්ටන් සහ ෆිලිස් කනින්ටන් The History of Underclothes (1992) නමැති කෘතියේ ද යට ඇඳුම්වල කාර්යභාරය ගැන සඳහන් කර ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි ඉහත සඳහන් අරමුණුවලට අමතරව පිරිසිදුබව සඳහා ද මානවයා යට ඇඳුම් භාවිත කරයි.
යට ඇඳුම් සඳහා යොදා ගත් පැරණිතම අමුද්‍රව්‍යය ලිනන් බව ද ඔවුහු පෙන්වා දෙති. 19 වන සියවසේ මැද භාගයට පෙර, යට ඇඳුම් අතින් සදා ඇති අතර ඒවා ලිහිල් ආකාරයක් ගත් බව ද ඔවුන්ගේ කෘතියේ සඳහන් වෙයි.
වික්ටෝරියානු යුගයේදී, ශරීරයට තද යට ඇඳුම් ඇඳීමෙන් ශරීරය උණුසුම්ව තබා ගැනීමට උපකාරී වන බවට මිනිසුන් විශ්වාස කර ඇත.
අතීතයේදී, 17 වන සියවස වන තෙක් යට ඇඳුම් නූල් සහ රිබන් ආධාරයෙන් තද කර ඇඳ තිබේ. පසුව ඊට ආදේශකයක් ලෙස බොත්තම් පැමිණ තිබේ.
18 වන සියවසේදී, පළමු බොත්තම් වර්ගය “high-top” ලෙස හඳුන්වා ඇති අතර ඒවා කපු හෝ සිල්ක්වලින් සාදා ඇත. ඒකෝන් ගෙඩියක හැඩයෙන් යුක්ත වූ ඒවා 19 වන සියවස දක්වා ජනප්‍රියව පැවති බව සිසිල් විලට් කනින්ටන් සහ ෆිලිස් කනින්ටන් සඳහන් කරති.
පිරිමි යට ඇඳුම්

පුරාණ ඊජිප්තුවරුන් කුඩා, ත්‍රිකෝණාකාර ලිනන් රෙදි කැබල්ලක්, නූලක් ආධාරයෙන් ශරීරය වටා ගැට ගසා ඇඳ ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ. ඒවා ෂෙන්ටි (Schenti) ලෙස හඳුන්වන අතර මුලදී පාරාවෝවරු සහ පසුව පහළ කුලයේ ඊජිප්තුවරුන් ඇඳ ඇති බව දැක්වේ.
ටූටන්කාමන් රජුගේ දේහය ෂෙන්ටි 145ක් සමග භූමදාන කර ඇතැයි සඳහන් වන අතර ඉන් යට ඇඳුම්වල වැදගත්කම පෙන්නුම් කරන බව විශේෂඥයෝ පෙන්වා දෙති.
පුරාණ ග්‍රීසියේ නිරුවත බොහෝ සෙයින් පිළිගත් දෙයක් වී ඇති අතර ඔවුන්ට ද ඊජිප්තුවරුන් සමාන යට ඇඳුමක් තිබී ඇතැයි සඳහන් වේ. එය පෙරිසෝමා (perizoma) ලෙස හඳුන් වන අතර අමුඩයට බෙහෙවින් සමාන වේ.
“ග්‍රීසියේ ගොඩක් වෙලාවට ඒ අය අතරේ යට ඇඳුම් පාවිච්චි වෙලා නැහැ. නිකම් අර දුහුල් වගේ දේවල් නේ ඇඳලා තියෙන්නේ. ඉස්සර කපන්න මහන්න පුළුවන්කම තිබ්බේ නැහැනේ. ඔක්කොම තිබුණේ ගැටගහන ක්‍රම නේ. ලණුවලින් ගැට ගහලා, කටු ගහලා, එහෙමනේ,” ආචාර්ය අයේෂා වික්‍රමසිංහ පැහැදිලි කළා ය.
මේ අතර, පුරාණ රෝමානුවන්ට සබ්ලිගාකුලුම් (subligaculum) නම් යට ඇඳුමක් තිබී ඇති අතර ඒවා ඔවුන් ටියුනික්, ටෝගා හෝ ලෝගු යටින් ඇඳ තිබේ. එය අමුඩයට සාමන, නමුත් කොට කලිසමක් ආකාරයේ වස්ත්‍රයක් විය. ඉන් ඔබ්බට යමින්, මධ්‍යතන යුගයේ කෙල්ට්වරුන් සහ ජර්මානු ගෝත්‍රිකයින් බ්‍රේස් (braies) ලෙස හැඳින්වෙන ලිහිල් යට කලිසම් ඇඳ ඇතැයි සඳහන් වේ.
මධ්‍යතන යුගයේදී, පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයට ම යට ඇඳුම් සරල හා ප්‍රායෝගික යමක් වී ඇති අතර ඒවා විලාසිතා සඳහා හෝ සමාජ පන්තිය පෙන්වීම සඳහා භාවිත කර නොමැති බව සිසිල් සහ ෆිලිස් සිය කෘතියේ පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, යට ඇඳුම් වෙනස් වීම සහ ඒවාට වඩා ත් වැදගත් ස්ථානයක් හිමි වීම ඇරඹියේ පුනරුදයෙන් පසුව බව ය.

අතීතයේදී, යට ඇඳුම් ප්‍රධාන වශයෙන් භාවිත කළේ, රළු පිටත ඇඳුම්වලින් සම ආරක්ෂා කර ගැනීමට සහ ශරීරයේ අපිරිසිදුවීමෙන් පිටත ඇඳුම් ආරක්ෂා කර ගැනීමට බව සඳහන් ය.
උඩුකය සඳහා පිරිමින් අඳින කමිසය පැරණිතම යට ඇඳුම්වලින් එකක් වන අතර එය 14 වන සියවසේ දිගින් අඩු වස්ත්‍රයක් වූ බව සිසිල් සහ ෆිලිස් සඳහන් කරති.
ඇතැම් පිරිස් යටි කය සඳහා ෂෝස් (chausses) හෝ ලෙගින්ස් (leggings) ද ඇඳ ඇති අතර 15 වන සියවස වන විට සබ්ලිගාකුලුම් සහ ෂෝස් තනි වස්ත්‍රයක් බවට පත්ව තිබේ.
බ්‍රේස් නිර්මාණය කර ඇත්තේ, ඉදිරිපසින් ගැට ලිහා දැමිය හැකි විවරයක් සහිතව වන අතර එමගින් පිරිමින්ට මුළු ඇඳුම ම ගලවා දැමීමකින් තොරව මුත්‍රා කිරීමට ඉඩ සලසන බව සඳහන් වේ.
මෙම යට ඇඳුම් අවසානයේ මිනිසුන්ගේ පෞද්ගලික කොටස් ආවරණය කිරීමට පමණක් නොව ඒවා ආරක්ෂා කිරීමට ද නිර්මාණය කරන ලද කොඩ්පීස් සඳහා මග පෑදීය.
කොඩ්පීස් වඩා ත් දෘඩ ද්‍රව්‍යවලින් සාදන ලද අතර ඒවා හැඩගන්වා කෙනෙකුගේ පුරුෂභාවය පෙන්නුම් කිරීමේ අරමුණින් භාවිත කරන ලද බව ඉතිහාසයේ සඳහන් වෙයි. පුනරුදය වන විට, ඇතැම් කොඩ්පීස් බලය සහ ධනය පෙන්වීමේ සංකේතයක් ද වී ඇතැයි ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
19 වන සියවසේදී, පැන්ටලූන් (pantaloon) [දිගු යට ඇඳුම් වර්ගයක්] පිරිමින්ට සහ කාන්තාවන්ට ප්‍රයෝජනවත් යට ඇඳුම් වර්ගයක් බවට පත්ව ඇත. ඒවා ශරීරයේ දහඩිය අවශෝෂණය කර ගනිමින් පිටත ඇඳුම් පිරිසිදුව තබා ගැනීමට උපකාරී වී තිබේ.
අද වන විට පිරිමි යට ඇඳුම් බ්‍රීෆ්ස් (briefs), බොක්සර්ස් (Boxers), බොක්සර් බ්‍රීෆ්ස් (Boxer Briefs), ට්‍රන්ක්ස් (Trunks), ජොක්ස්ට්‍රැප්ස් (Jockstraps), බිකිනි කට් (Bikini Cut), ජී-ස්ට්‍රිං (G-String) සහ ලෝන්ග් අන්ඩර්වෙයාර් (Long Underwear) ආදී ලෙස විකාශනය වී තිබේ.
කාන්තා යට ඇඳුම්

යට ඇඳුම් ඍජුව මෙන් ම දැඩි ලෙස කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය හා බැඳී පවතින බව බාබියර් සහ බූෂා The Story of Lingerie කෘතියේ සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, කාන්තා යට ඇඳුම් (lingerie) නිර්මාණය කර ඇත්තේ “වසඟ කර ගැනීමේ අරමුණින්” යැයි සියවස් ගණනාවක් පුරා පිරිමින් විශ්වාස කළ බව ය.
කාන්තාවකගේ ශරීරයට ආසන්නව අඳින ලද මුල් ම රෙදි වර්ගය ඔසප් වීමේදී පිටවන රුධිරය අවශෝෂණය කර ගැනීම සඳහා භාවිත කරන ලද බව ත් එය අවසානයේ අප අද භාවිත කරන නවීන සනීපාරක්ෂක තුවා (පෑඩ්) දක්වා වර්ධනය වීමටත් හේතු වූ බව ඔවුහු සඳහන් කරති.
උඩු කය මෙන් ම යටි කය ද ආවරණය වන පරිදි යට ඇඳුම් ඇඳීම කාන්තාවන් අතීතයේදී ද සිදු කර ඇත.
ආචාර්ය අයේෂා වික්‍රමසිංහ සිය පර්යේෂණයේ සඳහන් කරන්නේ, ෂෙමීස් (chemise) යනු, පැරණිතම කාන්තා යට ඇඳුම බව ය. එය ඊට පෙර ‘ස්මොක්’ (smock) ලෙස ද හඳුන්වා තිබේ. එය දිගු (වළලුකර දක්වා) වූ අතර, දිගු අත් ද සහිත විය. 1400 පමණ වන විට එහි ඉදිරි පස විවරයක් විය.
ධනවත් කාන්තාවන් රැලි සහිත සහ එම්බ්‍රොයිඩර් කළ ස්මොක් ඇඳි බව සිසිල් විලට් කනින්ටන් සහ ෆිලිස් කනින්ටන් සිය කෘතියේ සඳහන් කරති. ඒවා ලිනන් හෝ සිල්ක් වැනි අමුද්‍රව්‍යවලින් නිමවා තිබේ.
12 වන සියවසේ ඇතැම් ෂෙමීස්වල නිරුවත් සම පෙනෙන පරිදි කැපුම් කොටස් තිබී ඇත. එවකට ආගමික නායකයින් මෙය විවේචනය කරමින් ඒවා “නිරයේ කවුළු” ලෙස හැඳින් වූ බව සිසිල් සහ ෆිලිස් පවසති.
1340 වන විට, යට ඇඳුම් ශරීරයට තද වන ලෙස ඇඳීම අරඹා ඇති අතර එමගින් ශරීරයේ හැඩය වඩාත් පැහැදිලිව පෙනීම සිදුව තිබේ.
ස්ටේස් (stays) නමැති ඇඳුම් වර්ගය පැමිණෙන්නේ ඉන් අනතුරුව ය. එය කාන්තාවන් උඩු කය සඳහා ඇඳි යට ඇඳුම් වර්ගයක් විය.
“ඉස්සර ම තිබ්බා ස්ටේස් කියලා එකක්. බස්ට් එක මෙහෙම තද කරනවා. ඊට පස්සේ තමයි කෝසෙට් එක එන්නේ,” ආචාර්ය අයේෂා වික්‍රමසිංහ අප සමග සිදු කළ සංවාදයේදී පැවසුවා ය.
නමුත් ඒවා දිනපතා ඇඳි බවට ප්‍රබල සාක්ෂි හමු නොවන බව සිසිල් සහ ෆිලිස් සිය කෘතියේ සඳහන් කරති.
1300දී, ඇතැම් කාන්තාවන් තම පශ්චාත් කොටස විශාල ලෙස පෙන්වීමට පැඩින් වැනි ඇඳුමක් භාවිත කළ බව ද එහි සඳහන් වේ. එය බස්ල් (Bustle) ලෙස හඳුන්වයි.
1400 ගණන් වන විට, ඇඳුම් සම්බන්ධ විලාසිතා බොහෝ වෙනස් වූ නමුත්, යට ඇඳුම් බොහෝ දුරට එලෙස ම පැවති බව සිසිල් සහ ෆිලිස් සඳහන් කරති.

වර්තමානයේ ද විලාසිතාවක් වී ඇති කෝසෙට් (corset) සහ අදත් අඳින පෙටිකෝට් (petticoat) පැමිණෙන්නේ 1485 – 1625 කාලවකවානුවේ ය.
“දැන් කෝසෙට් එක එළියට අඳින්නේ. ඇත්තට ම කෝසෙට් කියන්නේ යට ඇඳුමක්. අර වික්ටෝරියන් ඩ්‍රස් එක කාලේ, ලස්සනට පස්ස එළියට ඇවිල්ලා, බස්ට් එක ෆ්ලැට් වෙලා තිබුණේ,” ආචාර්යවරිය යළි අතීතය පිළිබඳව සිහිපත් කළා ය.
ඇය පෙන්වා දුන්නේ, ශරීරය S සහ X හැඩයෙන් තබා ගැනීමට එකල මෙම ඇඳුම් භාවිත කළ බව ය.
“අපිට පේන්නේ, ඉඟ සුඟ ගත හැකි මිටින වගේ නේ. නමුත් කෝසෙට් එක ඇඳලා ම තමයි ඒක වෙලා තියෙන්නේ. සමහරක් අයගේ, සමහරක් පොත්වල තියෙනවා, පර්ශු කැඩෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරමට ඒවා තද කරනවා,” ඇය පැහැදිලි කළා ය.
අතීතයේ කෝසෙට් නිර්මාණය කර ඇත්තේ, ලෝහවලින් බව ඇය පැවසුවා ය.
ඇය සිය පර්යේෂණයේ සඳහන් කරන පරිදි තවත් යට ඇඳුම් වර්ගයක් වන බ්ලූමර් (bloomer) ප්‍රංශයෙන් ආරම්භ වී ඇති අතර 19 වන සියවසේදී පමණ යුරෝපයට පැමිණියේ ය. සාම්ප්‍රදායික අමුඩය සඳහා ආදේශකයක් වූයේ බ්ලූමර් ය. එය කොට කලිසමකට සමාන වූ අතර එහි කකුල්වල දාර ලේස්වලින් හැඩ කර ඇත. ඉන් අනතුරුව ඕපන් ඩ්‍රෝවර්ස් (open drawers) පැමිණ තිබේ.
ආචාර්යවරිය පෙන්වා දෙන්නේ, මෙම යට ඇඳුම් ඇඳීමෙන් කාන්තා සනීපාරක්ෂාව ඉහළ නැංවුණු බව ය.
බ්‍රා
20 වන සියවසේ අගභාගයේදී, කාන්තා යට ඇඳුම් (panty) ජනප්‍රිය වූ අතර අද වන විට ඒවා බ්‍රීෆ් (brief), හිප්ස්ටර් (hipster), බිකිනි (bikin), බෝයි ෂෝට්ස් (boy shorts), ටැන්ගා (tanga), තොන්ග් (thong) සහ ජී-ස්ට්‍රිං (G-string) වැනි විවිධ මෝස්තරවලින් දැක ගත හැකි වේ.

18 වන සියවසේදී කෝසෙට්හි ඉහළ සහ පහළ කොටස් වෙන් වීමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රා යන්න නිර්මාණය වී ඇතැයි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ සිය පර්යේෂණයේ සඳහන් කරයි.
කෙසේ වෙතත්, නූතන බ්‍රා යන්නෙහි පූර්වගාමී ඇඳුම් ද්විත්වය වන්නේ, කෝසෙට් (corset) සහ බස්ට් බොඩිස් (bust bodice) බව ඇය පෙන්වා දෙයි.
“නවීන බ්‍රා එක 1889දී හර්මින් කැඩොල් විසින් නිර්මාණය කරන ලද බව ලෙස්ලි ස්කොට් පවසයි. “බ්‍රෙසියර්” යන වචනය ප්‍රථම වරට මුද්‍රණය කර භාවිත කරනු ලැබ ඇත්තේ, 1907දී ඇමෙරිකාවේ වෝග් සඟරාව විසිනි,” ආචාර්යවරිය සිය පර්යේෂණයේ සඳහන් කර ඇත.
එසේ වුව ද ඉතිහාසඥයින් පවසන්නේ, 1913දී ලේන්සු දෙකක් එකට ගැට ගසා පළමු නූතන බ්‍රා එක සොයා ගැනීමේ ගෞරවය මේරි ෆෙල්ප්ස් ජේකබ්ට හිමි වන බව ය. පසුව ඇය ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇගේ නිර්මාණය අලෙවි කර ඇත.
1937දී, බ්‍රෙසියර් යන වචනය ‘බ්‍රා’ ලෙස කෙටි කරන ලද අතර 1920 දශකය වන විට බ්‍රා එක පියයුරු තද කර සම්පීඩනයට ලක් කර ඇඳීම සඳහා වෙනස් කර ඇතැයි ආචාර්යවරිය පවසයි.
“ඉස්සර ම කාලේ බ්‍රා එක හරි ම සොෆ්ට්. දැන් නේ හරි ඝන එකක් තියෙන්නේ. කප්ස් ඇවිල්ලා, මේක පැඩඩ් කරලා. මෝල්ඩ් වෙලා එහෙම එන්නේ. ඉස්සර ම කාලේ අපේ තිබ්බේ සෙනොරිටා කියලා. ඒ ට්‍රෙන්ඩ් එක එන්නේ මැඩෝනාගෙන්. අර කෝන් හැඩයේ කප්. ඒක වටේ ස්ටිච් එකක් යනවා. බ්‍රෙස්ට් එකේ හැඩය කියන එකත් ට්‍රෙන්ඩ් එකක්. එක කාලයකට කෝන්. පොඩි උල් ගතියක් එක්ක එනවා. තව කාලයකට ඒක මැට් වෙලා සොෆ්ට් වෙලා යනවා,” ඇය තවදුරටත් පැහැදිලි කළා ය.
අද වන විට ඒ ඒ අවශ්‍යතා සඳහා පුෂ් අප් (push-up), ප්ලන්ජ් (plunge), (බැල්කනට්) balconette, හාෆ්-කප් (half-cup), ට්‍රයෑන්ග්ල් (triangle), ඩෙමි-කප් (demi-cup), රේසර් බැක් (racer back) සහ ස්ට්‍රැප්ලස් (strapless) ආදී බ්‍රා වෙළෙඳපොළේ මිලට ගැනීමට අවස්ථාව පවතී.
ශ්‍රී ලාංකික කතුන්ගේ යට ඇඳුම්

අනුරාධපුර යුගයේ සිට 19 වන සියවස දක්වා ශ්‍රී ලාංකික කාන්තාවන් ඇඳි යට ඇඳුම් පිළිබඳව එම කාල පරිච්ඡේදවලට අදාළ මූර්ති සහ සිතුවම් දෙස බැලීමෙන් අවබෝධ කර ගත හැකි බව ආචාර්ය අයේෂා වික්‍රමසිංහ සිය ‘Evaluating the History of Women’s Underclothing of Sri Lanka’ පර්යේෂණයේ සඳහන් කරයි.

ඉසුරුමුණි පෙම් යුවළ පුරාණ ලාංකික කාන්තාවන් යට ඇඳුම් ලෙස විවිධ වස්ත්‍ර පැළඳ සිටි බවට සාක්ෂි සපයන වැදගත් දත්ත මූලාශ්‍රවලින් එකක් බව ඇය එමගින් පෙන්වා දෙයි.
එහි සිටින කාන්තාව ශරීරයේ ඉහළ කොටස ආවරණය නොකර ඇති නමුත් පියයුරු මතට වැටෙන ලෙස මාලයක් පැළඳ සිටින්නී ය.
ඊට අමතරව, මුල්කිරිගල රජ මහා විහාරයේ ඇති 18 වන සියවසට අයත් සිතුවම්වලින් එකක කාන්තාවක පියයුරු ආවරණය වන පරිදි ඉතා අලංකාර ආභරණයක් පැළඳ සිටින බව ආචාර්යවරිය පවසයි.
එය ‘චණ්ඩවීර’ නමැති ආභරණයට සමාන යැයි ඒ.ටී. කාරියවසම් 2010 වසරේ පළ වුණු The Anuradhapura Museum of Archaeology නමැති කෘතියේ සඳහන් කර ඇති බව ඇගේ පර්යේෂණයේ සඳහන් ය. තව ද, 10 වන සහ 12 වන සියවස්වල ලාංකික කාන්තාවන් තම පියයුරු ආවරණය කිරීම සඳහා ඒ හා සමාන ආභරණ පැළඳ තිබේ.
ඊට අමතරව, 17 වන සහ 18 වන සියවස්වලදී ද කාන්තාවන් තම පියයුරු ආවරණය කිරීම ඊට සමාන ආභරණ භාවිත කර ඇති අතර එම්. අමරසිංහ විසින් 2007 වසරේ පළ කළ සිය Costumes of Ancient Sri Lanka කෘතියේ එය ‘කුචදාමය’ ලෙස නම් කර ඇත.

“ජුවෙලරි කියන එක දැන් අපි පාවිචිචි කරන්නේ ඇඳුමක් ඇඳලා නේ. නමුත් ජුවෙලරි කියන එක ඉස්සර පාවිච්චි වෙලා තියෙනවා ඇඳුමක් විදිහට. යට ඇඳුමක් විදිහට,” ආචාර්ය අයේෂා වික්‍රමසිංහ පවසයි.
ඇය පෙන්වා දුන්නේ, 5 වන සියවසේ සිතුවම් කරන ලද සීගිරි බිතු සිතුවම් මගින් පුරාණ ශ්‍රී ලංකාවේ භාවිත වූ විවිධ කාන්තා ඇඳුම් විලාසිතාවන් පිළිබඳව පිළිඹිබු වන බව ය.
ඔවුන් විනිවිද පෙනෙන හැට්ටයක් (චෝලි) සහ ඊට උඩින් ‘තනපට’ ඇඳ සිටි බව ඇය සඳහන් කරයි. එමෙන් ම, සීගිරි ලඳුන්ගෙන් කිහිප දෙනෙකු පියයුරු සහ පෞද්ගලික ප්‍රදේශ ආවරණය කිරීම සඳහා මල් සහ කොළ පැළඳ සිටියේ යැයි නිරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
එය ‘ඉනහැඩය’ ලෙස ආරම්භ වී යට ඇඳුමක් ලෙස භාවිත කර ඇතැයි එම්. අමරසිංහ පවසයි.
“තනපට ඇඳීම පියයුරු ආවරණය කිරීම සඳහා පුරාණ කාලයේ පැවති පොදු විලාසිතා ප්‍රවණතාවලින් එකක් වූ අතර එය කාන්තාවන්ගේ යට ඇඳුම් විලාසිතාවක් විය,” ආචාර්යවරිය තම පර්යේෂණයේ ගෙන හැර දක්වයි.
මහනුවර යුගයේ රදළ කතුන්, එම යුගයේ ඇඳ ඇති විහාර සිතුවම්වලට අනුව තනපට ඇඳ තම පියයුරු වසා ගෙන ඇත.
ලාංකික පුරාණ කාන්තාවන් තම පෞද්ගලික ප්‍රදේශය ආවරණය කිරීම සඳහා ‘මිනිමෙවුල’ හෝ ‘මෙවුල් දම’ පැළඳ තිබේ. මිනිමෙවුල හෝ මෙවුල් දම මණිමේකලාවට සමාන වන අතර එය ආභරණයක් වූ බව ආචාර්ය අයේෂා වික්‍රමසිංහගේ පර්යේෂණයේ සඳහන් වෙයි.

17 වන සහ 18 වන සියවස්වල නව යොවුන් වියේ පසුවූ ලාංකික තරුණ කතුන් තම නිරුවත් ඉණ වටා රිදීයෙන් නිමවූ අලංකාර පටියක් පැළඳ ඇති අතර ඔවුන් තම ලිංගික ප්‍රදේශය ආවරණය කිරීම සඳහා ඉදිරිපසින් හදවතක හැඩැති රිදී ආභරණයක් ද පැළඳ ඇති බව ඩබ්ලිව්.ජී.එම්. බූමර් සහ ආර්.කේ. ද සිල්වාගේ 1988 පළවූ Illustrations and Views of Dutch Ceylon කෘතිය උපුටා දක්වමින් ඇය පෙන්වා දෙයි.
දියුණු රෙදිපිළි පැමිණීමට පෙර සිට පවා, ලාංකික කාන්තාවන් වියළි හා දිරාපත් වූ කොළ සහ ගස් පොතු පළමු ඔසප් වීමේදී ලෙස භාවිත කර තිබේ.

මහනුවර යුගයේ රදළ කතුන් ඇඳි ‘දියකච්චිය’ කාන්තා සහ පිරිමි යන පාර්ශව දෙක ම විසින් අඳිනු ලැබ ඇත. පිරිමි එය නාන ඇඳුමක් ලෙස භාවිත කර ඇති අතර කාන්තාවන් එය භාවිත කළේ කෙසේ ද යන්න පැවසීමටත්, එය දෙපාර්ශවය ම ඇඳි බව සනාථ කිරීමටත් ප්‍රමාණවත් කරුණු නැති බව ආචාර්යවරිය පවසයි.
පර්යේෂණයේදී සොයා ගත් කරුණු අනුව, එය සමාජයේ පහළ පන්තියේ කතුන්ට ඇඳීමට අවසර නොලැබුණු බව ද ඇය පෙන්වා දෙයි. දුම්බර රටාවලින් හැඩ කර ඇති එය කපු වැනි අමු ද්‍රව්‍යයකින් සෑදූ සුදු, නිල් සහ රතු පැහැයෙන් යුක්ත වී තිබේ.
“බ්‍රෙස්ට් එක ඇරියොතින් අපි දැනගත්තා රොඩී කියලා. වහගෙන ගියොත් දැනගත්තා උඩ කුලයක කියලා,” ඇය තවදුරටත් පැහැදිලි කළා ය.
ඇය පෙන්වා දුන්නේ, පන්සල වෙත යාමේදී රදළ කතුන් උඩුකය නිරාවරණය කරගෙන ගොස් ඇති බවට ඇතැම් සාක්ෂි පවතින බව ය.
ද්‍රව්‍යමය නවෝත්පාදනයන් සහ නිෂ්පාදන තාක්ෂණයේ දියුණු වීම් හේතුවෙන් 20 වන සියවස වන විට, ශ්‍රී ලංකාවේ කාන්තා යට ඇඳුම් අංශය විවිධාකාර බවක් ගත් බව ආචාර්යවරිය පවසයි.
යටත් විජිත බලපෑම

“අපිව ගොඩක් වෙනස් වෙන්නේ, යටත් විජිත බලපෑමත් එක්ක. පෘතුගීසි තමයි අපිට ඉස්සෙල්ලා ම කට් ඇන්ඩ් සෝ… අපිට ඉස්සර තිබුණේ නැහැනේ. මැෂින්ස් දන්නේ නැහැ අපි. පෘතුගීසි කාන්තාවන් ලංකාවේ මේක කරන කොට අනිත් අයත් මේක දකිනවනේ. ඒ අය මෙහේ ජීවත් වුණා නේ. එතකොට ඔය ලේස් වර්ග, දකුණේ තියෙන්නේ පිලෝ ලේස් (බීරළු) කියන එක පෘතුගීසීන්ගෙන් එන්නේ. යට ඇඳුම්වලටත් ඒ අය ඔය ලෙස් එක පාවිච්චි කළා,” යටත් විජිත බලපෑමත් සමග ශ්‍රී ලංකාවේ ඇඳුම් පැළඳුම් වෙනස් වුණු අයුරු ඇය පෙන්වා දුන්නා ය.
20 වන සියවසේදී ‘S’ හැඩැති ලෙස සිරුර පවත්වා ගැනීම විලාසිතාවක් බවට පත්ව ඇති අතර එම හැඩය ලබා ගැනීම සඳහා සියලු කාන්තා යට ඇඳුම් නිර්මාණය කර තිබේ.
ඒවා බොහෝ විට සමාජ පන්ති වෙනස පෙන්වීම සඳහා ඇඳ ඇත. අනෙක් අතට යුරෝපීය පන්නයේ යට ඇඳුම් මිලෙන් අධික වූ බැවින් ඒවා ඇඳ ඇත්තේ වංශවත් කතුන් පමණක් වන නමුත් පසුව ඒවා පහළ සමාජ මට්ටම්වල සිටින කතුන් ද ඇඳ ඇති බව ආචාර්ය අයේෂා වික්‍රමසිංහ පවසයි.

ෂෙමීස් ලෙස අප මීට පෙර සඳහන් කළ වර්ගයේ යට ඇඳුමක් ලාංකික කතුන් නිවසින් බැහැරට යාමේදී ඇඳ තිබේ. එය සුදු පැහැති සිනිඳු අත් කොට ගවුමක් වූ බව ඇය පෙන්වා දෙයි.
පෙටිකෝට් අනෙක් යට ඇඳුම් ආකාරය වුණු අතර ඒවා කපු රෙද්දෙන් නිමවා තිබේ.
බ්ලූමර් ද ලාංකික වෙළෙඳපොළට පැමිණ ඇත්තේ එම කාලයේදී ය. එම සියවසේ මුල් කාලයේදී මෙරට කතුන් හැට්ටයට යටින් ඝන රෙද්දකින් සාදන ලද ස්ටේස් ඇඳීම අරඹා තිබේ. කෝසෙට් පැමිණෙන්නේ ඉන් අනතුරුව ය.
කෝසෙට් ඇඳීමෙන් ඉඟටියට සිහින් බවක් ගෙන දුන් අතර එය පියයුරුවලට මනා හැඩයක් ලබා දුන්නේ ය. උකුලට ආකර්ෂණීය හැඩයක් ලබා ගැනීමට අතීත කතුන් ‘ක්‍රිනොලින්’ ඇඳ තිබේ.
බ්‍රා වෙනුවට ‘බොඩිය’
ලාංකික කාන්තාවන් බ්‍රිතාන්‍ය කාන්තාවන්ගෙන් ආභාසය ලබා ‘බ්‍රා’ නම් යට ඇඳුමක් ඇඳීමට පුරුදු වන්නේ ද 20 වන සියවසේදී ය.
සාරි හැට්ටය යටින් බාහිරට නොපෙනෙන ලෙස ඇඳිය හැකි එය ශ්‍රී ලංකාව වැනි රටකට පුදුමසහගත කාන්තා යට ඇඳුමක් වූ බව ආචාර්යවරිය පවසයි.
කෙසේ වෙතත්, එවකට සිංහල පිරිමින් බ්‍රා එක හෙළා දැක ඇත්තේ, එය මව්කිරි ලබා දීම වළක්වන බවත් එය කාන්තාවන්ගේ ලිංගික ආකර්ෂණය නැති කරන බව ත් සඳහන් කරමිනි.
1950 දශකයෙන් පසු බ්‍රා, ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇති අතර ‘සෙනොරිටා’ යන නාමය දේශීයව නිමවන ලද බ්‍රෙසියර් සඳහා ප්‍රසිද්ධ සන්නාමයක් බවට පත්වුණු බව ඇය පෙන්වා දෙයි. එහි ඉදිරිපස හැඩය කේතු ආකාර විය.

පහළ පන්තියේ කාන්තාවන්ට මිල අධික යුරෝපීය විලාසිතාවේ බ්‍රා හෝ දේශීයව නිෂ්පාදනය කළ බ්‍රා මිල දී ගැනීමට නොහැකි වූ නිසා, ඔවුහු “බොඩිය” නමින් ලාභදායී, දේශීයව සාදන ලද අනුවාදයක් නිර්මාණය කළ බව ආචාර්යවරිය සිය පර්යේෂණයේ සඳහන් කර ඇත. මෙම යට ඇඳුම් සුදු කපු රෙදිවලින් සාදා ලේස්වලින් සරසා තිබිණි.
ඇතැම් කතුන් සායට යටින් ‘බොඩිසූට්’ ඇඳ ඇති බව ද සඳහන් ය. යුරෝපයේ මුල් කාලීන කාන්තාවන් සඳහා වූ නාන ඇඳුම වූයේ බොඩිසූට් ය. යුරෝපීය බලපෑමෙන් එය මෙරටට පැමිණ ඇති අතර ආචාර්යවරිය පෙන්වා දෙන්නේ, එය මේ වන විට අඳින පිහිනුම් ඇඳුම ලෙස වෙනස් වූ බව ය.
එය සංස්කෘතික වටිනාකම්වලට පටහැනි බව පවසමින් එයට එවකට ඇතැම් පාර්ශව වෙතින් විරෝධයක් ද එල්ල වී තිබේ.
“මානවයා කොහේ ද හිටියේ. ඒ හිටපු තැන අනුව ජීවත් වීම තමයි සිද්ධ වුණේ. ලංකාවේ කියලා වෙනසක් තිබ්බේ නැහැ,” ආචාර්ය අයේෂා වික්‍රමසිංහ සිය සංවාදය අවසන් කළා ය.
( තාරක සම්මාන් | BBC සිංහල සේවය)
මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.