‘ඇනී’ චරිතයට මං මගේ ජීවිතයම දුන්නා – මිකී මැඩිසන්

    0
    15

    මට සමා වෙන්න, මගේ හිත බොහෝ කලබලයි…” 2025 ඔස්කාර් උලෙළේ හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය අතැතිව මිකී මැඩිසන් කඩදාසි කැබැල්ලක් ගෙන එය කියවන්නට පෙර සභාවට පැවසුවාය.

    “මට ආයෙමත් ලිංගික ශ්‍රමික ප්‍රජාව හඳුනාගන්න සහ ඔවුන් වෙත යන්න ඕනෑ. මම දිගටම ඔවුන් සමඟ ඉන්නවා. මම ඇත්තටම ඔවුන්ගේ සගයෙක්,” ඇය තවදුරටත් වේදිකාවේ සිට ලෝක සිනමාලෝලීන් අමතා කීවාය.

    “මෙය මට විශාල ගෞරවයක්. ඇත්තටම මේක හීනයක් සැබෑ වීමක්. බොහෝ විට හෙට දිනයේ මම අවදි වනු ඇති,” මිකී මැඩිසන් එසේ කීවේ ඔස්කාර් හොඳම නිළියට හිමි සුබපැතුම් වරුසාවට තෙමෙමිනි. වයස අවුරුදු විසිපහක් පමණක් වන මිකී මැඩිසන් මේ සම්මානයට හිමිකම කියන ළාබාලතම අය අතුරින් එක් අයකු බවට පසුගිය ඉරිදාවේදී පත් විය.

    ‘ඇනෝරා’ චිත්‍රපටයේ ඇයගේ චරිතය ‘ඇනී’ ය. සම්මානය දරාගත් ඇය, ‘ඇනෝරා’ නිර්මාතෘ ෂෝන් බේකර්ට ප්‍රශංසා කරමින් හඬනඟා කීවේ, ඔහු ඇදහිය නොහැකි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවයි. චිත්‍රපටයට සම්බන්ධ සෑම කෙනකුටම ඇය සුබපතමින් කීවේ තමන් ඉතා සතුටට පත්ව සිටින බවකි. ‘ඇනෝරා’ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් ඇය තවදුරටත් තම හඬ අවදි කළේ මෙසේය:

    “ෂෝන් හරිම අපූරුයි! ඔහු ඇදහිය නොහැකි සිනමාකරුවෙක්. ඔහු ඇදහිය නොහැකි ලේඛකයෙක්. පුදුමාකාර සංස්කාරකවරයෙක්. ඔහු සිනමාවට සැබෑ පෙම්වතෙක්. ඇත්තටම ඔහු කාරුණික පුද්ගලයෙක්. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතයේ බොහෝ දේ කැප කර ඇත්තේ ඉතා වැදගත් කතන්දර කීමටයි. මම ඔහු ගැන ඉතා සතුටු වෙනවා. මන්ද: ඔහු සැබෑ චිත්‍රපටකරුවෙක්.”

    ඉන් නොනැවතුණු ඇය ඇනෝරාහි තමාගේ චරිතයට අවතීර්ණ වූ ආකාරය ගැන මෙවැනි ප්‍රකාශයක් සිදු කළාය:

    “මේ චරිතය සඳහා මම දැවැන්ත ශාරීරික සූදානම් වීමක් කළා. මම මූලික වශයෙන් මගේ පුහුණුකරු සමඟ වැඩ කළා. මම සමාජශාලා වෙත ගියා. මම ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ චිත්තවේගීය පර්යේෂණ සහ යථාර්ථවාදී පර්යේෂණ රාශියක් කළා. මම මට හැකි තරම් රුසියානු භාෂාව ඉගෙනගෙන මගේ චරිතය ජීවත් වන බ්‍රයිටන් බීච්හි රුසියානු ප්‍රජාව තුළ ජීවත් වීමට ගියා. ඇත්තට මම මගේ උපරිමයෙන් මේ චරිතය වෙනුවෙන් කැප වුණා.”

    “ඇත්තටම මම මිකී වගේ කැප වුණු නිළියක සමඟ මගේ වෘත්තීය ජීවිතය තුළ කිසිදා වැඩ කර නැහැ. එය ඇදහිය නොහැකි තරම් දෙයක්!” එසේ පැවසුවේ ඇනෝරා චිත්‍රපටයේ අධ්‍යක් ෂෝන් බේකර්ය.

    ඉනික්බිති මාධ්‍යවේදීන් යොමු වූයේ මිකී මැඩිසන් වෙතය.

    ඇනෝරා සිනමා පටය ඔබට ලැබුණේ කොහොමද? ෂෝන් බේකර් ඔබ කලකට ඉහතදී දැක ඇති බවක් කියවෙනවා. ඇත්තටම එය සිදු වූයේ කෙසේද?

    ඔව්, ෂෝන් මාව දැක තිබෙනවා සහ ඔහු දිනක් මට කතා කරලා කිවුවා මට චිත්‍රපටයක් දීමට අවශ්‍ය බවක්. අපි කෝපි එකක් බොමින් එදා බොහෝ වේලාවක් කතා කළා. එදා ඔහු මට කතාව සහ මගේ චරිතය ගැන ඉතා ලිහිල් අදහසක් ඉතා සරල ලෙස කිවුවා. මම විස්මයට පත් වුණා. මම එසැණින් ඔහුට කිවුවා මම එය කරනවාමයි කියලා. ඊට පස්සේ මට කරන්න තිබුණු සියලු සූදානම් කිරීම් සිදු වුණා. ඉන් අවුරුද්දකට විතර පස්සේ තමයි අපි සෙට්එකේ රූගත කිරීම් කළේ.

    මේ වගේ චරිතයක් විශේෂයෙන් ඔබ වෙනුවෙන්ම ලියා නිම කිරීම ඔබට දැනෙන්නේ කොහොමද?

    එය ඇත්තෙන්ම විශේෂයි. කවදාවත් අධ්‍යක්ෂවරයකුට මා වෙනුවෙන් චිත්‍රපටයක චරිතයක් ලිවීමට අවශ්‍ය වී නැහැ. විශේෂයෙන් ෂෝන් වැනි කෙනකුට එහෙම අදහසක් ඇති වීම විශේෂයි. ඔහුගේ චිත්‍රපටවලට මම ඇත්තටම ආදරය කරනවා. මම හිතනවා මගේ කොටසේ යම් ගැළපීමක් තිබුණා කියලා. ඒත් මම ඒක පැත්තකින් තබා, චරිතයට පමණක් අවධානය යොමු කරන්න දැඩි උත්සාහයක නිරත වුණා.

    අරෝනාහි ඔබ රඟපාන ඇනීගේ චරිතය බොහෝ සිත් ඇදගන්නාසුලුයි. ඇනී සමඟ ගනුදෙනුවට ඔබ අවතීර්ණ වුණේ කොහොමද?

    ඇය (ඇනී) මට වඩා බෙහෙවින්ම වෙනස් කෙනෙක්. ඇයගේ සටන්කාමීත්වය සහ ඇයගේ බලාපොරොත්තු සහගත බව මට ඇත්තටම අදහාගන්න අමාරුයි. ඇය ඉතා නරක කෙනෙක්. ඇය ඉතා කුරිරු ලෙස සටන් කරනවා. ශාරීරිකවත් වාචිකවත් එහෙමයි. ඇය කතා කරන්න කලින් මොහොතක්වත් සිතන්නේ නෑ. ඇය කියන හැමදෙයක්ම ඇයගේ පැවැත්මට අදාළයි. ඇය ඒ බව තදින්ම විශ්වාස කරනවා. ඇයගේ ස්වභාවයට අනුව මේ ජීවිතයේ අප හරිම වෙනස් පුද්ගලයන් වෙනවා.

    ඒ වගේම අප දන්නවා මේ චිත්‍රපටය සඳහා විශාල පෙර සූදානමක් තිබුණා කියලා… එහි තිබුණේ මොනවාද?

    මම පෙර සූදානමට ආසයි. මම රඟපාපු ගොඩක් චරිත වෙනුවෙන් මම එය කළා. මගේ චරිතය වුණු ඇනී වෙනුවෙන් මම දිගු නියපොතු සහ ව්‍යාජ ඇහිබැමි හැදුවා. අප රූගත කිරීම් ආරම්භ කිරීමට කලින් ෂෝන් මට චිත්‍රපට යොමු කිහිපයක් එවා තිබුණා: ජපන් චිත්‍රපටයක් වන ෆීමේල් ප්‍රිසිනර්, ලුලු සහ 70 ගණන්වල ඉතාලි ලිංගිකත්වය පිළිබඳ චිත්‍රපටයක්ද ඒ අතර තිබුණා. මම ඒවා අධ්‍යයනය කළා.

    ඔබ ඔබගේ චරිතයට පණ දෙන්න කළේ මොනවාද?

    පිටපත ලියන අතරතුරේ අධ්‍යක්ෂවරයායි මමයි නිතරම කතා කළා. ලිංගික ශ්‍රමිකයන් විසින් ලියන ලද මතක සටහන් කියවීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම මම මේ සම්බන්ධ වාර්තා චිත්‍රපට රාශියක් බැලුවා; මේ සම්බන්ධව ඇති යූටියුබ් වීඩියෝවල ගිලුණා. ඇත්තටම මට රුසියානු භාෂාව ගැන දැනුමක් තිබුණේ නැහැ. එනිසා මම රුසියානු භාෂාව යම්තාක් දුරට ඉගෙන ගත්තා. ඊට පස්සේ පැහැදිලිවම වැදගත් වන්නේ නැටුම් කියලයි මං හිතෙන්නේ. මම ඉතා දක්ෂ පුහුණුකරුවකු සමඟ සමීපව වැඩ කළා. මට නර්තන අත්දැකීමක් තිබුණේ නැහැ. මට ඒ ගැන ඇත්තටම වෙලාවකට විශාල ලජ්ජාවක් ඇති වුණා. අපි මාසයක් වගේ නර්තන පුහුණුවක් කරමින් කාලය ගත කළා. මම හිතුවේ මම මේ දේවල් හොඳින් නොකරනු ඇති කියලා. මා සෙලවෙන්නේවත් නැති වනු ඇතැයි මට සිතුණු අවස්ථා තිබුණා. ඒත් අපි හෙමින් පටන් ගත්තා. මම හිතන්නේ බොහෝ දේවල් ඉතා දුෂ්කරයි කියා ඉතාමත් බොළඳ විදියට සිතුවා. එහෙත් මම ඉතා මුරණ්ඩු කෙනෙක්. එනිසාම මට ඒවා කිරීමට හැකි වුණා.

    බාහිරින් උගත් දේට අමතරව චිත්‍රපටයේදී ඔබ ඔබේම රංගනයන් කළාද?

    ඇත්තටම ඔව්. පළමු වතාවට හැම දෙයක්ම මම මෙහිදී කළා. මේ චිත්‍රයට සහ මේ චරිතයට මම ඇලුණා. මට ඕනැ වුණේ හැමදේම විඳින්න. මම මේ චරිතය නිර්මාණය කිරීමට මගේ මුළු ජීවිතයම කැප කළා. මට ඒ ගැන සතුටුයි.

    ඒ වගේම ඔබ මේ නිර්මාණය සිදු කරද්දී හොඳටම තුවාල වුණා නේද?

    රූගත කිරීම්වල පළමු ටේක්එකෙන් පස්සේ ෂෝන් මා දිහා බැලුවා. අපි මොහොතක් එකිනෙකා දෙස බලා සිටියා. මොකද කියනවා නම්: ඇත්ත වශයෙන්ම ඒ දර්ශන රූගත කිරීම බියජනක දෙයක් වුණා. ඇත්තටම ඒ දේවල් මට වේදනාකාරී වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒත් මම වචනාර්ථයෙන්ම තැළීම්වලින් සීරීම්වලින් වැසී ගියා. මම ලේසියෙන් රිදවාගන්න කෙනෙක්. මගේ දෙකකුල්වල සීරීම් තැළීම් වසාගන්න රූපගත කිරීම්වලට පෙර පැයක් තිස්සේ කකුල් පින්තාරු කරන්න වුණු අවස්ථා පස්සේ අපට තිබුණා.

    චිත්‍රපටය තුළ ඔබගේ කෑගැසීම් ඉතා ආකර්ෂණීයයි…

    මම ගොඩක් ටේක්වලට කෑගැහුවා. ඒ සෑම අවස්ථාවකදීම අමුතු දෙයක් සිදු වුණා. අපේ සෙට් එකේ සිටින සියල්ලෝම මම කෑගසන සෑම අවස්ථාවකදීම විශාල ලෙස කලබලයට පත් වුණා. මොකද: ඒ දර්ශන ඉතා තීව්‍ර දර්ශන කියලයි මට වැටහෙන්නේ. මේ රූපගත කිරීම් අතරතුරදී චිත්‍රපටයේ අයිවන්ගේ චරිතයට රඟපෑ මාර්ක් කළේ කුමක්ද ඔබ දන්නවාද? ඔහු මුළු කාලයම උඩු මහලේ නිදාගෙන සිටියා!

    ඒක හරිම හාස්‍යජනකයි. ඔහු චිත්‍රපටයේ ඉතා විශිෂ්ටයි. ඔබට ඔහු සමඟ ගත කරන්න කාලයක් ලැබුණාද?

    ඔහු ඉතා විහිළුසහගත පුද්ගලයෙක්. ඇත්තෙන්ම විහිළුවලින් සෙට්එක පිරිලා තිබුණා. රූගත කිරීම් ආරම්භ කිරීමට කලින් අපට එකිනෙකා දැන හඳුනා ගැනීමට කාලය ලැබුණා. ඔහුගේ ඉංග්‍රීසි දැන් හොඳයි. මුලින් එය එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. අපේ හමුවේදී ඔහු මට මුලින්ම කියූ දේ මට හොඳට මතකයි. ඔහු ජනේලයෙන් නිව්යෝර්ක් නගරය නරඹන විට දැනෙන හැඟීම කුමක්දැයි ඔහු මට විස්තර කළා. ඔහු කිවුවේ, ඔහුට පෙනෙන දර්ශනය ‘මුළු ලෝකයම තනපුඩුව මත තැබුවා වගේ’ කියලයි. මම ‘මොකක්ද?’ කියා ඇසුවා. මම හිතුවේ ඔහු අදහස් කරන්නේ ‘මුළු ලෝකෙම අත්ලේ තැබුවා වගේ’ දෙයක් කියන්න ඔහු උත්සාහ කළා කියලයි. ඒත් ඔහු ඇත්තටම කියා ඇත්තේ කලින් දේමයි. මම හිතන්නේ මම විනාඩි තිහක් විතර ඊට හිනා වුණා. ඔහු ඒ හැඟීම අපූරුවට චිත්‍රපටයේ චරිතයට ගෙන ඇවිත් තිබුණා. ඔහු ආරම්භයේදීම ඔහුගේ චරිතයට නිර්භීත බොළඳ බවක් එන්නත් කර තිබුණා. නළුවකු ලෙස ඔහු ඉදිරියේ සැබවින්ම මම නිරායුධ වුණා. එය විශිෂ්ටයි.

    ඇනෝරා හාස්‍යය සහ ඛේදවාචකය ඉතා අලංකාර ලෙස ඉදිරියට ගොතනවා. ඔබේ රංගනය ඒ ගමනට කදිම අවස්ථාවක්ද?

    මම මේ චරිතය ගැන කල්පනා කරමින් බොහෝ වේලාවක් ගත කර තිබෙනවා. ඇත්තටම ‘ඇය කවුද’ සහ ‘ඇයගේ සදාචාරය කුමක්ද’ යන්න ගැන බොහෝ ප්‍රශ්න අසමින් සිට තිබෙනවා. මට ඕනැ වුණේ අතැඹුලක් සේ ඇයව හඳුනා ගන්න. ඇය ඉතා ස්ථිරයි, සහ සංකීර්ණයි. ඇය ඉතා සංවේදි තැනැත්තියක්. එහෙත් ඇය නිරන්තරයෙන් යම් ආකාරයක වේදනාවකින් හෝ කෝපයකින් එය ආවරණය කරනවා. එහෙත් කිසිවකු කෙරේ නිකරුණේ තරහක් හෝ උදාසීනකමක් ඇය පටවන්නේ නෑ. සැමවිටම ඇයගේ පැවැත්ම යටින් වියමනක් තිබුණා. ඒ ගැන නිතරම සිහියෙන් සිටීම මට වැදගත් දෙයක් වුණා.

    ඔබගේ ළමා විය ගැන කතා කරන විට, ඔබේ මවුපියන් දෙදෙනාම මනෝවිද්‍යාඥයන් බවත්, ඔබේ පවුලේ කිසිවකු රංගන පසුබිමකින් පැමිණි අය නොවන බවත් අප දන්නා දෙයක්. ඔබට නිළියක වීමට අවශ්‍ය බව ඔබට වැටහුණේ කොහොමද?

    මම ඇත්තටම මගේ මුළු ජීවිත කාලයම වගේ අශ්වයන් පිට නැඟ තරග කරමින් සිටි කෙනෙක්. පස්සේ මට චිත්‍රපට ගැන උනන්දුවක් ඇති වුණා. කොහොම වුණත් මම හැමවිටම චිත්‍රපටවලට කැමැතියි. විශේෂයෙන්ම මම ස්ටෑන්ඩ් බයි මී, ප්‍රිටි ඉන් පින්ක්, සික්ස්ටීන් කැන්ඩ්ල්ස් චිත්‍රපටවලට ඉතා කැමැතියි. මම මොලි රින්ග්වර්ඩ්ට තදින් ආදරය කළා. ප්‍රිටි ඉන් පින්ක් නිර්මාණය දැක්කම මට හිතුණේ මට ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වෙන්න ඕනෑ බවයි. ඉතින් මගේ අම්මා මාව ඇඳුම් මහන පන්තිවලට යොමු කළා. ඒත් එය මට ගැළපුණේ නැහැ. පස්සේ මට වැටහුණා මට ඇත්තටම නිළියක වීමට අවශ්‍ය වී තිබෙනවාය යන්න. රංගනය වෙත දැඩි ළෙන්ගතුකමක් මා තුළ කොහොමත් තිබුණා. මම ඒ ගැන කුතූහලයෙන් සිටියේ. මට එහි ඉතා නිර්භීත, ගැඹුරු සහ චිත්තවේගීය බවක් පෙනුණා. එය අශ්වාරෝහකයකු ලෙස මට දැනෙන දෙයක්ද මම දන්නේ නැහැ.

    බොහෝ දේ සිදු වුණා. ඔබට ඊළඟට කරන්න ඇත්තේ කුමක්ද?

    මේ මොහොතේ මට හැඟෙන්නේ මම තවමත් ඒ සුවිශේෂ චරිතය හෝ කතාව එන තෙක් බලා සිටින බවයි. මා නියත වශයෙන්ම එය කළ යුතුයි. එය වැදගත් වන්නේ මගේ රැකියාව කොතරම් චිත්තවේගීයද යන්න මා වටහාගෙන ඇති නිසා සහ මට සහ ප්‍රේක්ෂකයාට අර්ථවත් වීමට නම් මා රඟපාන චරිතයට යම් ආකාරයක ගැඹුරු සම්බන්ධතාවක් තිබිය යුතු යැයි මට හැඟෙන නිසායි.

    2025 ඔස්කාර් හොඳම නිළිය ඔබයි. එය ඔබට දැනෙන්නේ කෙසේද?

    මට කියන්න පුළුවන් එකම දේ තමයි: චිත්‍රපටය ගැන මිනිසුන්ට මේ තරම් තදින් දැනෙන එක ගැන සහ ඒ ගැන සංවාදයක් ඇති කිරීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. එය පුදුම සතුටක් මා තුළ මවනවා.

    අධ්‍යක්ෂ ෂෝන් බේකර්ගේ ඇනෝරා චිත්‍රපටයේ පසුබිම මුදල්, ලිංගිකත්වය සහ ලාස්වේගාස්හි විනෝදයෙන් සැරසී තිබේ. රුසියානු අධිකාරිත්වයේ මුනුපුරකු වන වාන්යාට (මාර්ක් අයිලේස්ටයින්) වහ වහා රුසියාව කරා නැවත යෑමට සිදු වේ. ඔහුට ඒ පවුලේ උරුමයට කර තැබීමට වන අතර, එහිදී ඔහුගේ මැසිවිල්ල වන්නේ ‘මම අමෙරිකන් කෙනෙක් කසාද බැන්දොත් මට යන්න වෙන්නේ නැහැ’ යන්නයි. ‘ඉතින්, ඔයා කාවද කසාද බඳින්නේ?’ මිකී මැඩිසන් එතනදී තිරයේ දිදුලයි. ඇය ලිංගික ශ්‍රමිකයකු ලෙස හිස් පොරොන්දු ගොන්නක අත්දැකීම් දරාගෙන ජීවිතය තුළ ඒවා පසු කර ඇත්තියකි. ලෝකය මොහොතකට නවතන බැල්මක් හෙළන ඇනී, පළමු අදියරේදී ඔහු නොපිළිගනී. ඇනෝරා’ කතා පුවත ඉදිරියට ඇදෙන්නේ එලෙසය.

    ‘ඇනෝරා’ මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ දැවැන්ත ඉඩක් අත්පත් කරගත්තේ, හොඳම නිළිය මිකී මැඩිසන් සහ හොඳම අධ්‍යක්ෂ ෂෝන් බේකර් බවට පත් කරමිනි. 2025 ඔස්කාර් හොඳම නිළි මිකී මැඩිසන් සිනමා ලෝලීන්ටත් රංගන ශිල්පීන්ටත් ‘රංගනය’ වෙනුවෙන් කළ යුතු කැප වීම සුළුපටු නොවන බව නැවත නැවතත් මනා කොට සනාථ කර තිබේ.

    (අන්තර්ජාලය ඇසුරෙනි)

    පවිත්‍රා රූපසිංහ

    silumina

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here