ආණ්ඩුව කැසකවමින් සිටින්නේ, නිදහස් අදහස් මර්දනය ට ය – සුරේඛා සමරසේන

    0
    27

    ඉකුත් සතියේ සමාජ මාධ්‍ය ජාලා සහ සිවිල් අවකාශය කැලැම්බූ ‘දීපචෙල්වන් සිදුවීම’ ගැන, ඊට මැදිහත්කරුවෙකු වූවෙකු හැටියට දිවයින පාඨකයින් සමඟ සිය අද්දැකීම් සහ අදහස් බෙදාහදාගැනීම මෙම ලිපියේ (ලියුම්කාරියගේ) අරමුණ යි.

    ඇය දැන් නිර්මාණාත්මක ලේඛිකාවක්; වාමාංශික ස්ත්‍රීවාදිනියක් ලෙස සමාජ දේශපාලන ක්‍රියාකාරිණියක් වශයෙන් කටයුතු කරන්නියක්, ඊටත් පෙර ඇය මාධ්‍යවේදිනියක්.

    ෆ්‍රාන්ස් කෆ්කා වැනි කතුවරුන් ලේඛකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ‘වඩාත්ම දැඩි උමතුකම්’ ඒවා අඩු නොකර අනුගමනය කරන ලෙසයි; ටෝනි මොරිසන් ඔබට කියවීමට අවශ්‍ය පොත් ලිවීමට යෝජනා කරන අතර, බාබරා කිංග්සෝල්වර් පාඨකයින් ගැන කරදර නොවී ලිවීමට උපදෙස් දෙයි.

    ‘නිර්මාණකරණය සඳහා නීති නොමැති’ බව ඩොරිස් ලෙසින්ග් සඳහන් කරන අතර, අර්නස්ට් හෙමිංවේ විචාරකයින් නොසලකා හරිමින් තමන්ට අවශ්‍ය විදියට, තමන් සිය අභ්‍යන්තර පීඩාවන්ගෙන් වේදනාවන්ගෙන් නිදහස් වීම පිණිස ලිවීමට උපදෙස් දෙයි; වින්සන්ට් වැන් ගෝ ස්වයං සැකය හරහා පින්තාරු කිරීම (හෝ ලිවීම) දිරිමත් කරයි.

    නිර්මාණාත්මක නිදහස යනු ඔස්කාර් වයිල්ඩ් විසින් ප්‍රකාශ කරන ලද පරිදි මනස ‘වැරදි ලෙස හැසිරීමට’ ඉඩ දීමයි; මෙහි අදහස වන්නේ, ලෝකයේ බොහෝ අය හිතන විදියට වෙනස් ලෙස / වැරදි ලෙස / සම්මතයෙන් ඔබ්බට යමින් ලිවීමට දිරි දීමකි. ඉසබෙල් අයියන්දේ ‘අමතක නොකළ යුතු දේවල් පටිගත කිරීමට’ ලිවීම යොදාගැනීමට අවධාරණය කරයි. අප සියල්ලන් ම දන්නා පරිදි ඇය නිරන්තරයෙන් ලියන්නේ, ඇගේ පවුලේ සාමාජිකයෙකු වූ චිලියේ සැල්වදෝර් අයියන්දේ සහ එම පාක්ෂිකයින් ප්‍රතිවිප්ලව සමයේ වින්ද වේදනාවන් පිළිබඳ මතක යි; ඇය ළමා කාලයේ අන්වින්ද ලෝකය තරුණ වියේදී වෙනස් ලෙස අත්විඳින්නට සිදු වූ ආකාරය යි.

    මේ අතර අල්ලපු රටේ අරුන්දතී රෝයි රාජ්‍ය ඇතුළු අධිපති බල ව්‍යුහයන්ට අභියෝග කිරීම සඳහා කලාව, සාහිත්‍යය සහ කතන්දර කීම භාවිතා කිරීම අවධාරණය කරයි; ඇය හැමවිට ම ප්‍රබන්ධමය මෙන් ම ප්‍රබන්ධමය  නොවන නිර්මාණ කරන්නේ ද ඒ සඳහා ය.

    නිර්මාණකරණයේ නියැලෙන ලේඛකයෙකු ලෙස ‘දීපචෙල්වන්’ ට ද ඉහත සඳහන් කරන ලද ගෝලීය මට්ටමේ ලේඛක ලේඛිකාවන් ‘ලිවීම සම්බන්ධයෙන් අපේක්ෂා කරන නිදහස’ ලැබිය යුතු ය; ඊට අමතරව ඉතා සවිඥ්ඥානිකව ඔවුන් (ඉහත නම් සඳහන් ලේඛක ලේඛිකාවන්) ‘ලිවීම තුලින් කරන දේවල්’ කිරීමට ‘දීපචෙල්වන්’ ට ද හැකි විය යුතු ය; අරුන්දතී මෙන් රාජ්‍ය ඇතුළු අධිපති මතවාදයන්ට විරුද්ධව ලිවීමටත්, ඉසබෙල් අයියන්දේ මෙන් වේදනාත්මක මතක අමතක නොකරනු පිණිස ලිවීමටත්, වැන්ගෝ මෙන් ස්වයං සැකයෙන් අත්මිදීම සඳහා ලිවීමටත්.
    ඔහුගේ පළමු නවකතාව ‘නඩුගල්’ ය. එහි සිංහල පරිවර්තනය ‘කඩුල්ල ප්‍රකාශනයක්’ ලෙස, ‘ස්මාරක ශිලාවත’ නමින් දැනටමත් සිංහලට පරිවර්තනය වී ඇත; පරිවර්තකයා ජී.ජී. ආනන්ද සරත් ය.

    ඔහු එහි ලියා ඇත්තේ මොනවාද…? බඩගින්නෙ හිටපු දරුවන්ට රොටි පුච්ච පුච්ච හිටපු ගෑනු – දරුවන්ට කිරි පොව පොව හිටපු ගෑනු – එදා වේල පිරිමහගන්න රස්සාවට ගිය පිරිමි – අකුරක් ඉගෙනගන්න ඉස්කෝලෙ ගිය ළමයි කොයි මොහොතේ සිය ජීවිතය බෝම්බයකට වෙඩිල්ලකට හසුවේද යන බිය ඇතිව අඳුරු කිලිනොච්චියේ ගත කළ ජීවිත ගැන යි. එහි පෙරවදනේ ඔහු ලියා ඇත්තේ කුමක් ද…?

    “ප්‍රචණ්ඩත්වයෙන් තොර, යුද්ධයෙන් තොර එක් භූමියක අප මිනිසුන් ලෙස ජීවත් විය යුතු වේ. එහි මිනිසුන්ට ‘නිදහසත් සතුටත් පැවතිය යුතුය’ යන අප දරුවන්ගේ අහිංසක ප්‍රාර්ථනය මෙම නවකතාව තුළින් සාකච්ඡා කිරීමට මම උත්සාහ දැරුවෙමි .ගෙවී ගිය තිස් වසරක යුද්ධය තුළ ඉපදී හැදී වැඩුණු මගේ අත්දැකීම් සහ  හැගීම් සාක්ෂියක් ලෙස මෙම නවකතාව ඔබ හමුවේ තබමි.” – දීපචෙල්වන්

    ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස අප කළ යුත්තේ ඔහුව සහ ඔහුගේ ලියවිලි සෙනෙහසින් – කඳුළින් වැළඳගැනීම ද? නොඑසේ නම් ඒවා විනාශ කිරීම හෝ තහනම් කිරීම ද? අඩුම තරමින් ඔහුගේ වේදනාව අසා සිටීමටවත් අපිට නොහැකි ඇයි…?

    අනූෂා සිවලිංගම්ගේ පරිවර්තනයක් ලෙසින්, ‘නයින් ප්‍රකාශනයක්’ ලෙසින් අපහමුවට එන ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන’ කාව්‍ය සංග්‍රහය වෙත එබෙමු.

    (මා ඉන් කවි කෑලි කිහිපයක් බෙදාගන්නම්…)

    බත් කෑ පිඟාන වේලී ගොසිනි
    අම්මාගේ පොල්කටු හැන්ද වේලී
    දුම් මැස්සේ ඔහේ තිබුණි

    රන් මිලට ගත් පෑන
    නිතර නිතර බිම පතිත වෙයි
    අකුරු කුඩා වී උතුරයි
    වෙව්ලනා ඇඟිලිතුඩු අවපැහැ ගනියි


    කොත්තු රොටී කඩයක්
    නාඳුනන මළ කුණක්
    වටකරගත් නගරයක්;
    යාපනය නිහැඬියාවක්

    මා කවුදැයි ඔබ නොදන්නව ඇතී
    එය සෙවීමට උනන්දුවක් නැතිවත් ඇතී

    හෙට පිපිරීමට නියමිත ප්‍රචණ්ඩත්වයට
    ඇඳිරිනීතියට – ඔබ සූදානම් වෙනවත් ඇතී

    පොරකමින් කඩ ඉදිරියේ – ඔබ බඩු ගන්නවත් ඇතී
    අඩු බඩු වලින් – වැඩි ජීවන බරින් – ගෙදර යනවත් ඇතී

    වසා දැමූ දොර සෙමින් තට්ටු කර ඇහැරවා
    දොර ජනේල තදින් වසාගන්නවත් ඇතී

    පණ නැති මා නිහඬය
    පණ ඇති ඔබත් නිහඬ ය


    මව්වරුන්ගේ සිඳුණු තන් පුඩු වල
    කැඩුණු පා ඇති දරුවන්
    තදින් එල්ලී සිටී
    සෙරෙප්පු ද දිරාපත් වී ගොසිනි…

    මා උපන්නේ ද
    යුද්ධය මැද බැව් – අම්මා කියා තිබුණි…

    මගේ දරුවා ප්‍රසූත කළේ ද
    බංකරයක් තුළ ය…


    මගේ අම්මා
    බර පොදියක් හිස තබාගෙන
    නොදන්නා වීදියක යනු ඇත…
    මම ද
    මගේ වයසටත් – සිරුරටත් දැරිය නොහැකි බරක්
    හිස තබාගෙන යමි…

    අපේ අහස අපෙන් උදුරාගෙන ය
    අපේ ම තාරකා අපෙන් සොරාගෙන ය

    ෂෙල් වෙඩි මිදුලට පාත් වෙයි
    දොරකොඩ අවුලුවා ගඳ ගසයි
    අහස් යක්ෂයින් ගුවන ඉරමින්
    ගම්මාන ගිල දමයි…

    ඒ ගම් නිදහස් කළ බව
    රජයේ රේඩියෝවෙන් දැනුම් දෙයි…

    දීපචෙල්වන් යනු පශ්චාත් යුද ලංකාවේ අපට හමුවන යුද්ධය පිළිබඳ තමාගේ ම අද්දැකීම්  (firsthand experience) ලියන ප්‍රමුඛතම ලේඛකයා ය; එමෙන් ම ඔහුගේ ලිවීම් වල සාහිත්‍යමය ගුණය ද ඉතා ඉහළ ය. එහෙයින් මර්දනයෙන්, වාරණයෙන් මේ කුරුල්ලා නිහඬ කිරීමට කිසිසේත් ම ඉඩ නොදිය යුතු ය.

    ලේඛකයින්ට ලේඛිකාවන්ට නිදහසේ  සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන සමාජයක් ගෝත්‍රික ය; අසාධාරණ ය. විශේෂයෙන් මර්දන යන්ත්‍රණයක් මඟින් ලේඛකයින් වාරණයට ලක් කරන, ඔහු ඇය ලියන පොත පත අත්අඩංගුවට ගන්න දේශයක් නිර්මාණකරුවන්ට ‘අපායක්’ වන බව අමුතුවෙන් කිය යුතු නැත. ඒ අනුව පසුගිය සති කිහිපයේ රාජ්‍යය මඟින් ‘දීපචෙල්වන්’ වෙත එල්ල වෙමින් පැවතුණු රාජ්‍ය යේ බලපෑම ඔහුවෙත ගෙන දුන්නේ ‘අපාගත ලේඛකයෙකුගේ’ අද්දැකීම් මිස අන් කිසිවක් නොවේ.

    ඉන්දියාවේ මුද්‍රණය කර මෙරටට ගෙන්වන ලද ඔහුගේ කෘති හතරක පිටපත් 360 ක් මාර්තු මස 18 වැනිදා රේගු භාරයේ රඳවා ගැනුනි; මාර්තු 27 වැනිදා එම රඳවාගැනීම පිළිබඳව ඔහුට දැනගන්නට ලැබුණි.

    එතැන් සිට ඔහුට ඒවා නිදහස් කරගැනීම සඳහා විවිධ ආයතන වලට, පුද්ගලයින්ට ඉල්ලීම් කරන්නට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අප්‍රේල් 17 වැනිදා ඔහුව බත්තරමුල්ලේ සෙත්සිරිපායේ අටවැනි තට්ටුවේ සංස්කෘතික අමාත්‍යංශයට කැඳවා තිබුණි.

    ඔහු තමන්ගේ පොත් ටික රැගෙන යාමටත් සූදානම් ව කිලිනොච්චියේ සිට කොළඹ ආවේ ය; භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් එදා මෙදාතුර සටන් කළ මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ කලාකරුවන්, සමාජ ක්‍රියාකාරිකයික් පිරිසක් ද එදින දීපචෙල්වන්ගේ ප්‍රකාශන අයිතිය රැකීම වෙනුවෙන් සෙත්සිරිපායේ ‘අටවැනි තට්ටුවට’ එකතු වී සිටියහ. (ලියුම්කාරිණිය ද ඉන් එකියකි)

    එදින එම අවස්ථාවේ අමාත්‍යංශය ජාතික කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලය නියෝජනය කරමින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, කීර්ති වැලිසරගේ, කමල් පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර දීපචෙල්වම්ගේ පොත් අත්අඩංගුවට ගැනීම ගැන ඔවුන් කියූ ඇතැම් කතා අතිශයින් පිළිකුල් සහගත ය.

    එක් අයෙක් පවසා තිබුණේ, “වෙනත් ආණ්ඩුවක් තිබුණා නම්, දීපචෙල්වන් හිරේ…” යනුවෙනි. උතුරු – නැගෙනහිර – වතුකර දෙමළ ජනතාවගේ ඡන්දය ඇතිව පත් වූ වත්මන් ‘ජාතික ජනබලවේග ආණ්ඩුවේ’ ප්‍රකාශකයෙකු ට කියන්නට තිබුණු හොඳම වචන ඒවා ද…?

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තෛපොංගල් දවසට දෙමළ අම්මා කෙනෙකු වැළඳගෙන පිංතූරයක් දමයි; ඒ හැර ඔහු බලයට පත්වීමෙන් පසුව ජාතික ගැටළුව සම්බන්ධ ඊට ඓන්ද්‍රීය විසඳුම් දෙන කිසියම් පියවරක් ගත්තේ ද?

    මීළඟ ට අප්‍රේල් 20 වැනිදා දීපචෙල්වන් වෙත, ශ්‍රී ලංකා රේගුව ඉදිරිපත් කළ ලිපිය වෙත හැරෙමු. ඉන් කියන්නේ කවරක් ද?

    ජාතික කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනු මණ්ඩලයේ නිර්දේශ මත, ඔබගේ “Bayangaravaathi” සහ “Cynide” යන කෘති දෙක නිදහස් කර ඇති මුත්, “Elluttal nan Yuttam Ceykiren” සහ “Ippothum Inge Irandu Thesangalthaan” යන කෘති රඳවා ගෙන ඇත. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ය.

    මෙහිදී මතු වන බරපතල ප්‍රශ්නය වන්නේ, හුදු දේශපාලන පත්වීම් මත යැපෙන ජාතික කලා මණ්ඩලයට හෝ සාහිත්‍ය අනුමණ්ඩලයට දණ්ඩ නීති සංග්‍රහය වැනි සංකීර්ණ නෛතික කරුණු අර්ථ නිරූපණය කිරීමට ඇති ප්‍රවීණතාව හෝ නෛතික බලය කුමක්ද යන්නයි. කලාව පෝෂණය කිරීමට දිවුරා සිටින පිරිසක්, මර්දනකාරී යාන්ත්‍රණයේ “අතකොලු” බවට පත්වෙමින් ලේඛකයෙකුගේ ප්‍රකාශන අයිතිය වාරණය කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම අතිශය සදාචාර විරෝධී මෙන්ම පිළිකුල් සහගත ක්‍රියාවකි.

    එමෙන් ම දණ්ඩනීති සංග්‍රහයේ 120 යනු දඬුවම් ලැබිය හැකි “රාජ්‍ය විරෝධී” වරදකි; කවියෙකු, නවකතාකරුවෙකු, ලිපි රචකයෙකු වන දීපචෙල්වම් මත ආණ්ඩුව විසින් පටවන්නට යන චෝදනා වල බරපතලකම ඒ තරම් ය.

    අඩුම තරමින් ඒ චෝදනා විධිමත්ව ඉදිරිපත් කළ යුතු ව ඇත. එනම් “අසවල් පොතේ, අසවල් පිටුවේ, අසවල් ඡේදයේ, අසවල් වගන්තියේ සඳහන් පරිදි මෙය ‘රාජ්‍ය විරෝධී’ ප්‍රකාශයක් ලෙස අර්ථගැන්විය හැකිය…“ ආදී වශයෙනි; එහෙත් ආණ්ඩුව එසේ කරන්නේ ද නැත.

    නමුත් ඇත්ත වශයෙන් ම ආණ්ඩුවේ ක්‍රියාව මඟින් සිදුව ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පුරවැසියෙකු සතු වන මූලික අයිතිවාසිකම් දෙකක් හෝ කිහිපයක් උල්ලංඝනය කිරීම යි; නියත වශයෙන් ම එය පුරවැසියෙකු ලෙස දීපචෙල්වන්ට හිමි විය යුතු අදහස් ප්‍රකාශනයේ මූලික අයිතිය උල්ලංඝනය කරයි; අනෙක, ඔහුට ‘වෙනස්කොට සැලකීමකට ලක් නොවිය යුතු‘ බවට වන අයිතිය උල්ලංඝනය කරයි (එනම් දෙමළ ලේඛකයෙකු ලෙස ඔහු සිංහල ලේඛකයෙකුට නොලැබෙන වෙනස්කොට සැලකීමකට භාජනය වන නිසා). එහෙයින් ආණ්ඩුව දීපචෙල්වන්ගේ පොත් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අසාධාරන හා අයුක්ති සහගත නොවනවා පමණක් නොව අනීතික ද වන්නේ ය.

    එපමණක් ද නොව ගෝලීය පුරවැසියෙකු ලෙස / මානවයෙකු ලෙස ඔහුට තිබෙන ‘මානව හිමිකම්‘ ද ආණ්ඩුව විසින් උල්ලංඝනය කර ඇත; එබැවින් ඉකුත් 21 වැනිදා යාපනය මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් ඊට ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු පියවර ගත්තේ ය.

    කෙසේවෙතත්, ආණ්ඩුව තවදුරටත් – දිගින් දිගටම ‘දීපචෙල්වන්ට‘ ත්‍රස්තවාදී – කොටි ලේබල අලවමින් සමාජ මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය යොදාගෙන අපහාස කරමින් සිටින්නේ ය. කලා මණ්ඩලේ චරිත ගෙන්වාගෙන රාජ්‍ය මාධ්‍යයේ ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහු ‘අන්තවාදියෙකු‘ බව ය. මෙම අර්බුදකාරී අවස්ථාවේ ඔහු වටා පෙළගැසුණු මාධ්‍යවේදීන්ගෙන් – කලාකරුවන්ගෙන් – ලේඛකයින්ගෙන් – සමාජ දේශපාලන ක්‍රියාකරුවන්ගෙන් සැදුම්ලත් අපගේ සාමුහිකයේ සාමාජික සාමාජිකාවන්ට ද පරිභව කරමින් සිටින්නේ ය.

    ‘ජාතික ජන බලවේග ආණ්ඩුව‘ බලයට පත්කිරීමට කඩේ ගිය ‘ජන නියමු කලාකරුවන්‘ සෙත්සිරිපායේ අටවැනි මහලට ගෙන්වා, ‘වොයිස් කට්‘ පටිගත කර සමාජ මාධ්‍ය පුරා විසුරුවා  හරින්නේ ය. ඔවුන් කියමින් සිටින්නේ මොනවා ද…? වත්මන් ආණ්ඩුව රහසින්වත් වරදක් නොකරන වර්ගයේ ඉතා පිරිසිදු ආණ්ඩුවක් බව ය – රේගුව ඇතුළු ආයතන නිසි ක්‍රමවේද පිළිපදින (කිසිම පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 300 කටත් වඩා නිදහස් කළ පසුත්) බව ය – මේ ආණ්ඩුව තරම් කලාකරුවන්ට නිදහස දෙන වෙනත් ආණ්ඩුවක් නැති තරම් වන බව ය.

    එම වොයිස්කට් – කලාකරුවන් ඊට කලින් ‘කලාවේ නිදහස‘ ගැන පෙනීසිටියවුන් ය ; දැන් ඔවුහු ආණ්ඩුවෙන් යැපෙන විට, මර්දනය සහ වාරණය සාධාරනීකරණය කිරීමට උත්සහ දරති.

    කෙසේ වෙතත්, අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ මෙය යි; 2/3 ත් සහිත වන වත්මන් ආණ්ඩුව පී.එස්.ටී.ඒ. – ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කළේ ය ; එය පැරණි ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (පී.ටී.ඒ) පවා ඉක්මවා යන ඉතාමත් දැඩි මර්දනකාරී පනතකි ; මොවුන්ට ඇති අසීමිත පාර්ලිමේන්තු බලය පාවිච්චි කරමින් අනාගතයේ සම්මත කළ හොත් කොහෙත්ම අපට මේ භූමියේ සිට නිර්මාණකරණයේ යෙදීමට ඉඩ නොදෙනු ඇත; අනිවාර්යයෙන් ම දීපචෙල්වන්ට පමණක් නොව අපට ද රට හැර යාමට සිදුවනවා ඇත; නොඑසේනම් සිරගතව කූරු ගැන ගැන ඉන්නට සිදුවේ. මන්ද එම පනත නිදහසේ ලිවීම පමණක් නොව නිදහසේ සිතීම ත් පාලනය කරවන බැවිනි. (අන්තර්ජාලයේ – නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් එම පනත් කෙටුම්පත සොයාගෙන කියවා බලන්න)

    එහෙයින් කොයිතරම් අහිංසක වීමට තැත් කළත්, මේ ආණ්ඩුව කැසකවමින් සිටින්නේ ‘මර්දනය‘ට මිස අන් කිසිවකට නොවේ. අද එය දීපචෙල්වන්ට; හෙට මට සහ ඔබට.

    සුරේඛා සමරසේන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here