කුවේණිගේ සනුහරේ (09) – කුවේණි ගේ පරපුර පුරුෂාධිපත්‍යයට නතු වුණු හැටි (ඉන්දු පෙරේරා)

Author

Categories

Share

අභියෝගවලට මුහුණ දීමේ දී පසු නොබැසීම, පිරිමි දහ දෙනෙකු වුව පැරදවිය හැකි මානසික ශක්තිය බොහෝ කාන්තාවන් තුළ අඩු වැඩි වශයෙන් පැවතිය හැකි ය.

නමුත් කුවේණිගේ සනුහරයේ විය හැකි බවට අනුමාන කරමින් අප දක්වන ලද මීගමුවේ වෙරළාසන්නව ඈත අතීතයේ ජීවත් වූ කාන්තාවන් තුළ මේ තත්ත්වය ප්‍රබලව කැපී පෙනෙයි. කණ්ඩායම් වශයෙන් ඒකරාශී වීම සහ එසේ ඒකරාශී වී වැඩ කිරීම ඔවුන්ගේ සුවිශේෂ ගති ලක්ෂණයකි. අප මේ සඳහන් කළේ කාන්තා සමිති හෝ සංවිධාන වැනි දෙයක් නොවේ. පවුලේ ජීවනෝපාය සරිකර ගැනීම සඳහා පිරිමින්ට වඩා වැඩි දායකත්වයක් ඔවුහු සිය පවුල වෙනුවෙන් ලබා දුන්හ. ධීවර කර්මාන්තය කර පිරිමින් ගෙන එන මාළු අලෙවි කිරීම සහ වේලා කරවල වශයෙන් සකස් කිරීම හා ජාඩි නිෂ්පාදනය ඔවුන්ගේ අතින් සිදුවිණි. රා මැදීමෙන් සකස් කර ගන්නා රා වලින් ද ඔවුහු නොයෙකුත් දේවල් නිෂ්පාදනය කළහ. ඒ ඔවුන් ගේ ගෘහ ක්‍රියාකාරකම්වලට අමතරව ය.

රා මදින්නෙක්

සිරිවර්ධන පෙදෙස නමින් හඳුන්වන ප්‍රදේශයක් මීගමු නගර මධ්‍යයේ වෙයි. අතීතයේ මෙය හඳුන්වා තිබුණේ හකුරු මුඩුක්කුව ලෙසිනි. දැන් මෙහි මුඩුක්කු ලක්ෂණවල ශේෂයක්වත් දක්නට නැති මුත් ඈත අතීතයේ මෙහි ඉන්දියාවේ කේරලයේ කොචින් ප්‍රදේශයෙන් පැමිණි රාමදින්නන් සමඟ පවුල් කෑ මීගමු කාන්තාවන් වාසය කළ බවක් පැවසෙයි. ඔවුහු පොල් ගස් මැදීමෙන් ලබාගන්නා තෙලිදියවලින් පැණි සකස් කිරීම මෙන්ම ඒ පැණි උණු කර හකුරු නිෂ්පාදනය කිරීමත්, රාවලින් විනාකිරි සෑදීමත් ගෘහ කර්මාන්තයක් ලෙස සරුවටම කරගෙන ගියහ. හකුරු මුඩුක්කුව ලෙසින් එම ප්‍රදේශයට නමක් සෑදෙන්නට බලපෑවේ මීගමු කතුන්ගේ මෙම ගෘහ කර්මාන්තයි. නමුත් මෙම ගෘහ කර්මාන්ත කළේ හකුරු මුඩුක්කුවේ සිටි මීගමු කාන්තාවන් පමණක්ම යැයි සැලකිය යුතු නොවේ. මීගමුවේ මෙම ගෘහ කර්මාන්ත කළ තවත් ගම් කිහිපයක් ඇති අතර මුන්නක්කරය ඉන් එකකි.  

මේ හැරුණු විට පැණි සහ හකුරුවලින් ඔවුන් නිෂ්පාදනය කළ මීගමුවට ආවේණික රසකැවිලි වර්ග ද තිබිණි. මීගමු අලුවා සහ පුස්නාම්බු ඒ අතරින් විශේෂිත වේ. වර්තමානය වන විට පොල් කේක් ලෙසින් හඳුන්වන කැවිලි වර්ගය පුස්නාම්බුවලට බොහෝ සෙයින් සමාන ය. මෙම කැවිලි වර්ග සාදාගෙන ඔවුන් කණ්ඩායම් වශයෙන් එක් ව රටේ දුර බැහැර ප්‍රදේශවලට පවා අලෙවිය පිණිස රැගෙන ගියහ. කැවිලි වර්ග අඩුක් කරගන්නේ බටකොළ වැනි දේවල්වලින් නිෂ්පාදනය කරන ලද පෙට්ටිවලට ය.

සංකපාල පෙරහැරෙහි නර්තනයක්

මේවා රැගෙන දවස් ගණන් පයින් ගොස් පෙරහර, පල්ලිවල මංගල්‍ය වැනි ස්ථානවල නතර වී හිඳගෙන මේවා ඔවුහු අලෙවි කළහ. මේ ගිය ගමන්වලදී නතර වී තිබුණේ අම්බලම්වල ය. ඔවුන් කණ්ඩායම් වශයෙන් ගිය නිසා මෙන්ම ස්වභාවයෙන්ම යකෙකුටවත් බය නැති නිසාත් ආරක්ෂාව සම්බන්ධ ගැටලු ඔවුන්ට පැන නැගුණේ නැත. මේ කාන්තාවන්ගේ හැසිරීම් මෙන්ම කතාබහේ පවා සාමාන්‍ය කාන්තාවන් තුළ බොහෝ විට දක්නට නොලැබෙන අන්දමේ රළු ස්වභාවයක් දැකිය හැකි විය. ඔවුන් තම වෙළඳාම් කටයුතු අවසන් කර ආපසු පැමිණෙන්නේ එම මංගල්‍ය හෝ පෙරහැර අවසාන වූ විට ය. මාතර දිස්ත්‍රිකයේ කොටපොල ගැටබරු දේවාල පෙරහැර, ඇඹිලිපිටියේ සංඛපාල විහාරයේ පෙරහැර ආදියට පවා ඔවුන් මෙලෙස ගොස් ඇති බව වාර්තා වෙයි.

සංඛපාල විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ ද මේ කාන්තාවන් සැරි සැරූ බව සඳහන් ය. මෙහිදී කාන්තාවන් ලෙසින් දැක්වූවද ඔවුන් සමග ජීවත් වූ පිරිමින්ද ඔවුන් හා සිටින්නට ඇත. නමුත් අනාදිමත් කාලයක ඔවුන් එම සමාජයේ ප්‍රමුඛත්වය හිමි කර ගෙන සිටි බවට සාධක තිබේ. යකුන් විසූ වල යක්වලය. වල යනු කැලයයි. යක් වල පසු කලෙක යක්කල විය. යක්කල ප්‍රදේශයේ සිට පහසුවෙන් යා හැකි ඊට ආසන්නව පිහිටි බෙම්මුල්ල යනු භීම මුල්ල ය. එහි අරුත බියජනක ප්‍රදේශය යන්නයි. භීම මුල්ල පසු කලෙක බෙම්මුල්ල වී ඇත. මෙම ප්‍රදේශයේද යකුන් හෙවත් යක්ෂ ගෝත්‍රික මිනිසුන් සිටි බවට ජනප්‍රවාද තිබේ. මොවුන් ගේ ශරීර ලක්ෂණ අප රටේ වැදි ජනතාවගේ ශරීර ලක්ෂණවලට බොහෝ සේ සමාන වූ බව පෙනෙයි.

මේ කාන්තාවන් සමූහ වශයෙන් වෙළඳාමේ ගිය කල නතර වූ බවට ජන වහරේ පවතින අම්බලමක් යක්කල අවරියවලෙහි පිහිටා ඇත. මෙය ද අතීතයේ යක්ෂයන් සිටි බවට සැලකෙන ප්‍රදේශයකි.

අවරියවල අම්බලම

වෙල්යායක් මැද ගල්පොත්තක් මත මෙම අම්බලම තිබෙන අතර ඒ අසල ජලාශයක් වෙයි. මේ වනවිට මෙය පුරා විද්‍යා ස්මාරකයකි. අම්බලමෙහි පාදම සකස් කර ඇත්තේ ගල් හතරක් මත ය. වළගම්බා රජු මේ අවට ප්‍රදේශවල සැඟවී සිටි සමයේ පලා යන අවස්ථාවක බිසවගේ හවරිය මේ අසල ජලාශයේ වැටී ඇත. හවරිය වැටුණු වල හවරිය වල වී පසුව අවරියවල වී ඇත. මෙම හවරිය වැටීම සාමාන්‍ය සිද්ධියක් නොවේ. එය දිය රකුසකුගේ පැහැර ගැනීමකි. මේ බිසව යක්ෂ ගෝත්‍රික කාන්තාවක් බවට ද ජන විශ්වාසයක් පවතී. කෙසේ වුවද රජු හවරිය සෙවීම සඳහා මිනිසුන් දමා මෙහි මුරකාවල් ද යෙදවූ බව කියැවේ.

පිළිකුත්තුව ගල්ලෙන්

පිළිකුත්තුව මේ ආසන්නයේ තිබෙන තවත් ගමකි. එම වනගත භූමියේ ගල්ලෙන් සියයක් පමණ ඇති අතර එක සමීපයේ එතරම් විශාල ගල්ලෙන් ප්‍රමාණයක් තිබෙන ස්ථාන අපේ රටේ ඉතා දුර්ලභ ය. මේවායෙහි යකුන් අරක් ගෙන සිටි බවට විශ්වාසයක් පවතී. මෑතක් වන තුරුම එම ප්‍රදේශවල යකුන් බැඳ ගැනීම සඳහා විවිධ යක්ෂ බන්ධන කළ බවට පුරාවෘත්ත තිබීමෙන් ඒ බව සනාථ වෙයි.

මින් පෙරද සඳහන් කළ පරිදි කුවේණිගේ සමයේ මෙන්ම ඇගේ සනුහරේ කාන්තාවන් ජීවත් වූ සමාජයන් ද මාතෘ මූලික විය. නමුත් පසු කලෙක එම මාතෘ මූලික සමාජය පුරුෂාධිපත්‍යය විසින් යටපත් කර ගැනීම නිසා ඒ තත්ත්වය මේ වනවිට උඩු යටි කුරු වී ඇති බව පැහැදිලි ය. මෙයට එක් නිදසුනක් ලෙස මෑතක් වන තුරුම සියනෑ කෝරලයේ සිංහල අලුත් අවුරුද්දට කලින් මාර්තු මාසයේ යෙදෙන “යකුන් පිදුම” නමින් ගෘහස්ථ ශාන්ති කර්මය දැක්විය හැකිය. “අලුත් බත් මගුල” ලෙසින් ද හඳුන්වන මෙම ශාන්ති කර්මයට සම්බන්ධ නොවන ගමේ කිසිවකුටත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් කොටා කැවිලි වර්ග සකස් කිරීම තහනම් විය. ඒ අනුව සිංහල අලුත් අවුරුදු උත්සවය සඳහා කිරිබත්, කැවුම් , කොකිස්, අතිරස ආදී කැවිලි සෑදීමට දෙවියන්ගෙන් අවසර ගැනීමක් ලෙස මෙය හැඳින්විය හැකිවේ. එසේ අවසර නොගෙන සහල් කොටා කැවිලි සෑදුවහොත් එම නිවසේ අයට දෙවියන්ගේ ලෙඩ වැනි නොයෙකුත් අපල උපද්‍රව ඇතිවන බවට විශ්වාසයක් ගැමියන් අතර තිබිණි.

ගමේ වී ගොවිතැන වැඩියෙන්ම කරන ලද නිවසේ යකුන් පිදීමේ මංගල්‍යය සිදු කරන ලද අතර ගමේ අනෙකුත් සියලු දෙනාම තමන් විසින් දෙවියන් උදෙසා වෙන් කරන ලද වී කොටස මෙම චාරිත්‍රය සිදු කරන නිවසට කල් තබාම ගෙනැවිත් බාර දිය යුතුවේ. ගමේ සියලු දෙනාගෙන්ම එක්රැස් වෙන වී එදින උදේම එම නිවසේදීම මෝල් ගස්වලින් කොටා පොලා සහල් කරගත යුතුය. මේ සියල්ල කරනු ලබන්නේ පිරිමින් විසින්ම ය. යකුන් පිදීමේ චාරිත්‍රයේ කිසිදු කටයුත්තක් උදෙසා කාන්තාවන්ව සම්බන්ධ කර ගත්තේ නැත.

මෝසුවෝ කාන්තාවෝ

එසේ සම්බන්ධ කර නොගැනීම තුළින් පළ වන්නේ කුවේණිගේ සනුහරේ කාන්තාවන් පුරුෂාධිපත්‍යය විසින් යටපත් කර ඇති ආකාරයයි. කුවේණි ගේ සනුහරේ ලෙස අප හඳුන්වන කතුන් කෙරෙන් අතීත මාතෘ මූලික සමාජ ලක්ෂණ පළ වුව ද මේ වන විට ලොව මාතෘ මූලික සමාජ නොමැති බව පොදු පිළිගැනීම ය. එහෙත් අද ද ලොව තැනින් තැන එවන් මාතෘ මූලික සමාජ ලක්ෂණ දක්නට ලැබේ.

මොසුවෝ (Mosuo ) යනු චීනයේ යුනාන් සහ සිචුවාන් පළාත්වල ජීවත් වන කුඩා ජනවාර්ගික කණ්ඩායමකි. ආසන්න වශයෙන් 50,000 ක ජනගහනයකින් සමන්විත වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යොංනිං ප්‍රදේශයේ, ලුගු විල අවට, ලබායි, මුලි සහ යාන්යුවාන් හි ජීවත් වෙති.මොසුවෝ බොහෝ විට හඳුන්වනු ලබන්නේ චීනයේ “අවසාන මාතෘ මූලික සමාජය” ලෙසය. එම ප්‍රජාව තුළ පවත්නා සුවිශේෂතාව එහි සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ද ඉවහල් වී තිබේ.ඒ එම ප්‍රදේශය අදටත් කාන්තා රජ දහන( Kingdom of Woman) ලෙස ජාත්‍යන්තරය තුළ හැඳින්වෙන බැවිනි. කෙසේ වෙතත් මොසුවෝ සංස්කෘතිය මුළුමනින්ම මාතෘ මූලික ලෙස වර්ගීකරණය කිරීම පහසු නොවේ. නමුත් එම ජන කොටස තුළ මාතෘ මූලික සංස්කෘතියක අංග ඇත: කාන්තාව බොහෝ විට නිවසේ ප්‍රධානියා වේ. නමුත් එහි දේශපාලන බලය පුරුෂ පක්ෂය සතු වේ. එසේ වුවද සුප්‍රකට ඇමරිකානු සංස්කෘතික මානව විද්‍යාඥ පෙගී රීව්ස් සැන්ඩි තර්ක කර ඇත්තේ මොසුවෝ මාතෘ මූලිකත්වයක් ලෙස සැලකිය යුතු බවයි. මේ ආකාරයෙන් මාතෘ මූලික ලක්ෂණ පළ කරන සමාජ ලොව තවත් කිහිපයක් ඇතත් මීගමු කතුන් හට එලෙස මාතෘ මූලික ප්‍රජා ආධිපත්‍යය දීමේ යුගය දැන් “කල් ඉකුත්ව” බොහෝ කලකි. සිංහල ජාතියේ වංශ කතාව ලෙස ප්‍රකට මහා වංශයේ එන විජය කුවේණි පුරාවෘත්තය ම ඊට කදිම නිදසුනකි.

තවත් කොටසකින් යළිත් හමුවෙමු.

සටහන : ඉන්දු පෙරේරා

theleader.lk

Author

Share