පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි.
අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big Girl Party) එකක් බව අපට දැනගන්නට ලැබුණේ පසුදා උදයේ ය.
“බිග් ගර්ල් පාටි” හෙවත් වැඩිවියට පත්වීමේ සාද යන්නෙන් අදහස් කරන්නේ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දැරියක වැඩිවියට පත්වීම මුල් කොට මේ වන විට ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතින නව සමාජ විලාසිතාවකි. මෙහි සම්මත ව්‍යවහාරය මල්වර උත්සවය/මංගල්‍යය (Puberty Ceremony) බව පැහැදිලි ය. එහිදී විශාල වියදමක් දරා මත්පැන් කේන්ද්‍රීය සාද පැවැත්වීම සේම, එම පවුලේ සාමාජිකයන් ඊට එක් වන ඥාති මිත්‍රාදීන් සමඟ කා බී විනෝද වෙමින් සංගීතයට අනුව රැඟුම් පෑමේ විනෝදාංශය මේ වන විට මධ්‍යම පාන්තික සමාජයීය පුරුෂාර්ථයක් බවට පත් වෙමින් තිබේ. එමෙන්ම වැඩිවියට පත් දැරිය ද තම යෙහෙළියන්, ඥාති මිත්‍රාදීන් හෝ තමන් සම්බන්ධ නර්තන කණ්ඩායම් සමඟ එම උත්සව අවස්ථාවේ නර්තනයක යෙදීම නව ප්‍රවණතාවක් බවට පත් වී ඇත. මෙය බොහෝ විට සාම්ප්‍රදායික නර්තනයකට වඩා විනෝදය සඳහා ඉදිරිපත් කරන ජනප්‍රිය සංස්කෘතියට අයත් සංගීතමය නර්තනයක් ලෙස දැකිය හැකි ය.

දැරියකගේ මල්වර වීම යනුවෙන් හැඳින්වෙන්නේ ඇගේ ප්‍රථම මාස් ශුද්ධිය බව කවුරුත් දනිති. අපගේ ජන සංස්කෘතියට අනුව ද එය “කිලි” සහිත අවස්ථාවකි. නමුත් විද්‍යාත්මක වශයෙන් බලන විට මෙය ජෛවමය මල්වර වීමක් නොවේ. ඊට හේතුව එම දැරිය මාතෘත්වය සඳහා වන මූලික සුදුසුකම සේ ගැනෙන, ජීවිතයේ මුල් වරට ඩිම්බ කෝෂවලින් පරිණත ඩිම්බ නිකුත් වීම ආසන්න වශයෙන් ඊට සති දෙකකට පමණ පෙර සිදු වන බැවිනි. මෙම මල්වර වීම යන සංසිද්ධියේ දී සිදුවනුයේ එම “සරු කාලය” තුළ ගැබ් ගැනීමක් සිදු නොවූ නිසා ඒවා ඔසප් මල ලෙස සිරුරින් බැහැර වීම ය. ඒ අනුව මීට වඩාත් උචිත නම “මල”වරය මිස මල්වරය නොවන බව ද යමෙකුට කිව හැකි ය. නමුත් ඒ විද්‍යාත්මක පක්ෂය පැත්තක තිබියදී, දැරියක මාතෘත්වයට පත්වීමේ ප්‍රථම සංඥාව ලැබෙන නිසා අපි ද මෙය මල්වරය ලෙසම හඳුන්වමු.
දැරියක මල්වර වීම මුල් කොට ගත් චාරිත්‍ර ලොව බොහෝ ජන සමාජයන් තුළ දක්නට ලැබේ. එමෙන්ම ඒවා සියල්ලේම එක් පොදු අරමුණක් ද තිබේ. එනම් යම් දැරියක් ළමා වියෙන් ස්ත්‍රීත්වයට පරිවර්තනය වීමේ මූලික අවස්ථාවේදීම ඒ සම්බන්ධ මනා වැටහීමක් සේම විධිමත් වගකීමක් ඇය වෙත ආරෝපණය කිරීම ය. එය එම දැරියගේ සේම ඉදිරි සමාජයේ යහපැවැත්මට හේතු වන්නක් බව බොහෝ ජන කොටස් පිළිගෙන ඇති බවට එය කදිම නිදසුනකි.

හින්දු සංස්කෘතිය තුළ මෙම අවස්ථාව ආධ්‍යාත්මික පක්ෂයට නැඹුරු වූ චාරිත්‍ර මාලාවක් වන අතර, ශ්‍රී ලාංකේය දමිළ ජනතාව අතර ද එය ‘රිතු කලා සංස්කාර’ ලෙසින් ඉතා ඉහළින් සමරනු ලබයි. එහිදී “පූප්පුවතී” ලෙසින් හැඳින්වෙන මල්වර දැරියට ආශිර්වාද කිරීමටත්, ඇය කාන්තාවක ලෙස සමාජයට හඳුන්වා දීමටත් නර්තන සහ සංගීත අංග භාවිතා කරන අතර, මල්වර දැරිය ඇගේ ජීවිතයේ මුල් වරට “පාවාඩයි තාවනී” නම් වන අර්ධ සාරියෙන් සැරසීම ද මෙහිදී සිදු කෙරේ.
ඉස්ලාම් ජාතිකයන් අතරේ ද මෙම මල්වර චාරිත්‍ර පැවැත්වෙන අතර එය හුදෙක් පවුල් පසුබිම හා සම්බන්ධ ආගමානුකූල චාරිත්‍රාවලියකි. මෙහිදී මල්වර වීම ‘බාලිඝ්’ නමින් හැඳින්වෙන අතරේ ‘ඝුස්ල්’ නම් වන විශේෂ ස්නානයක් ද සිදු කෙරේ.

එමෙන්ම වර්තමාන සිංහල සමාජයේ බහුලව දක්නට ලැබෙන බිග් ගර්ල් පාටි ජනප්‍රිය සංස්කෘතියෙන් ඔබ්බෙහි වූ යාග සම්ප්‍රදායක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ඒ පිළිබඳව විමසුම් කරන අපට පුළුවන. ශ්‍රී ලාංකේය සිංහල සංස්කෘතිය තුළ ප්‍රධාන වශයෙන් “කොටහලු මංගල්‍යය”, “කොටහලු යාගය” හෝ “කොටහළු නැටීම” යනුවෙන් හැඳින්වෙන මෙම මල්වර චාරිත්‍ර දාමය ගායන හා නර්තනාංගවලින් ද සමන්විත ය. අතීත සමාජයේ දැරියක වැඩිවියට පත් වූ පසු ඇයට සෙත් පැතීම සඳහා “කොටහලු යාගය” පවත්වනු ලැබීය.
කොටහළු යාගය බොහෝ විට පහතරට නර්තන සම්ප්‍රදායට අනුව සිදු කෙරෙන යාතු කර්මයකි. මෙහිදී ඇදුරන් විසින් බෙර වාදනයට අනුකූලව විවිධ ගායන හා නර්තන අංග ඉදිරිපත් කරනු දක්නට ලැබේ. මේ සඳහා යොදා ගනු ලබනුයේ දෙවොල් බෙරයයි. දක්ෂ හා පළපුරුදු ඇදුරන් විසින් ගිනි පන්දම් භාවිතා කරමින් සිදු කරන මෙම නර්තනය මඟින් මල්වර දැරිය හා සම්බන්ධ විශ්වයේ ඇති අශුභ ශක්තීන් පුළුස්සා හැරීම සංකේතවත් කෙරේ. මල්වර වූ දැරියන්ට බලපෑම් කළ හැකි යැයි ජන සම්මතයේ පවතින “කළු යකා” හෝ “කළු කුමාරයාගේ” දෝෂ ඉවත් කිරීම සඳහා විශේෂිත වෙස් මුහුණු පැළඳීම ද මෙහි දී සිදු කෙරේ.

එමෙන්ම මල්වර දැරියට වැළඳිය හැකි ලෙඩ රෝග සහ අපල දුරු කිරීම සඳහා සන්නි යකුන් නිරූපණය කරන කෙටි නර්තන අංග ද මෙයට එක් වන අවස්ථා තිබේ. ඊට අමතරව දැරියගේ විවාහ ජීවිතය සේම මාතෘත්වය සාර්ථක වීමට ආශීර්වාද කිරීම ඇදුරන් විසින් ගායනා කරන “කොටහළු උපත” වැනි ජන ගායනා මඟින් මෙය විස්තර කෙරේ. මෙම යාතු කර්මයේ දී රතු සහ සුදු වර්ණ මිශ්‍ර සාම්ප්‍රදායික ගැමි නර්තන ඇඳුම් භාවිතා වේ. වර්තමානයේ කලාතුරකින් දැකිය හැකි මෙම ශාන්ති කර්මය ශ්‍රී ලංකාවේ දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් පැරණි ගම්මානවල තවමත් සාම්ප්‍රදායික අයුරින් පවත්වන බවට අනුමාන තොරතුරු ලැබේ.
මෙම යාතු කර්මය ආරම්භ වනුයේ වැඩිවියට පත් වූ දැරිය චාරිත්‍රානුකූලව නැකතට ස්නානය කරවීමෙන් පසුව ය. මෙහිදී ‘කැවුම් කෝට්ට’, ‘කිරි උතුරවන හට්ටිය’ සහ විවිධ පූජා වට්ටි සකස් කෙරෙන අතර, සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය ආසන්නයේ සිට පසුදා අලුයම වන තෙක් කොටහලු යාගය පැවැත් වේ. ගැමියන් පවසන පරිදි “කොට හලු” යනු අලුත් රෙදි කැබැල්ලකි. දැරිය එතෙක් ඇඳි කොට රෙදි ඉවත් කොට වැඩිහිටි බවට ගැළපෙන රෙදි ඇන්දවීම මත මීට කොට හලු යන නම ලැබුණු බව ජන සම්මතයයි. මෙම “හළු” යන්න “සළු” යන වදනින් බිඳී ආ එකක් බව ද පැවසෙයි.

සෙසු ශාන්තිකර්ම සම්බන්ධයෙන් සේම “කොටහලු යාගය” හා සම්බන්ධ පුරාවෘත්තයක් ද තිබේ. කොටහලු උත්පත්තිය පිළිබඳ කතාව බැඳී පවතින්නේ ශාන්තිකර්ම බොහොමයක කේන්ද්‍රීය චරිතයක් වන මහා සම්මත මනු රජුගේ බිසව වූ මැණික්පාලිය සමඟ ය. මැණික්පාලිය ප්‍රථම වරට වැඩිවියට පත් වූ අවස්ථාවේදී ඇයට ඇති වූ දෝෂ ඉවත් කිරීමට මෙම ශාන්තිකර්මය මුලින්ම කළ බව ජනප්‍රවාදයේ එයි. පසුව ඇගේ යුග දිවිය සාර්ථක වනුයේ ඒ යාතු කර්මයේ අනුහසිනි.
දැරියගේ ආරක්ෂාව පතා කියනු ලබන ආශිර්වාද කවි, කලස පිහිටුවීම, පූජා වට්ටි සහ කලස් තබා දේව ආරාධනා කිරීම, දෙවිවරුන් උදෙසා මල් සහ පහන් පූජා කිරීම ආදී සාම්ප්‍රදායික අංග අනුව මෙය මුළුමනින්ම යාතුකර්මයකි. අතීත ජන සමාජය හා යාවජීව සම්බන්ධයක් දැක්වූ රජක කුලයට අයත් රෙදි නැන්දා විසින් දෙනු ලබන අලුත් වස්ත්‍රයක් හැඳ මල්වර යුවතිය මෙම චාරිත්‍රයට සහභාගී වීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. ඈත අතීතයේ දී මෙය දැරියකගේ ප්‍රජනන සෞඛ්‍යය, සදාචාරාත්මක යහපැවැත්ම සහ මානසික සුවය සඳහා කරන ලද නොවිධිමත් මනෝ චිකිත්සාවක් වනුයේ එකී අරමුණු උදෙසා ඇය විසින් සුරැකිය යුතු පිළිවෙත් සමුදායක් ද කොටහලු යාගයේදී හඳුන්වා දෙන බැවිනි. එය මනෝ චිකිත්සාවක දී සිදු කෙරෙන ප්‍රජානන චර්යාත්මක චිකිත්සාව (Cognitive Behavioral Therapy) හා පැහැදිලි සම්බන්ධයක් තිබේ.

මෙවන් පසුබිමක් යටතේ මෙම පැරණි යාතුකර්ම වෙනුවට මේ වන විට සමාජය පුරා ව්‍යාප්ත ව පවතින බිග් ගර්ල් පාටි සංස්කෘතිය තුළ මා අත්දුටු සිදුවීමකින් මේ සටහන නිමා කිරීමට කැමැත්තෙමි. ඒ මීට වසර කිහිපයකට ඉහත පැවැති මගේ මිතුරෙකුගේ දියණියකගේ මල්වර මඟුලකි. එම සාදය රාත්‍රිය එළඹෙත්ම ශීඝ්‍රයෙන් උණුසුම් වූ අතර, ඒ වන විට බමන මතින් සිටි මගේ මිතුරා තම මල්වර දියණිය ද එක් කර ගනිමින් පසුබිමින් ඇසෙන මිහිරි ගීතයකට රැඟුම් පාන්නට විය. “රූප් තෙරා මස්තානා” යනුවෙන් ඇරඹෙන ඒ ගීතය 1969 වසරේ තිරගත වූ ‘ආරාධනා’ චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ අතිශය ජනප්‍රිය හින්දි ගීතයකි. එහි සංගීතය සචින් දේව් බර්මන්ගෙනි. මගේ මිතුරා හා ඔහුගේ මල්වර දියණිය රැඟුම් පෑ වැසි සහිත සීතල රාත්‍රියක ගිනිමැලයක් සමීපයේ හිඳින පෙම්වතෙකු තම පෙම්වතිය අමතන “රූප් තෙරා මස්තානා” නම් වන ඒ ගීතයේ සිංහල අරුත මෙලෙසිනි:
“ඔබේ රුව මත් කරවන සුළුයි, මගේ ආදරය උමතුයි. අප අතින් කිසිදු වරදක් (බඹසර සම්බන්ධ) සිදු නොවේවා! රාත්‍රිය මත් කරවන සුළුයි, පරිසරයම ආනන්දනීයයි. අද මුළු ලෝකයම මත් වී ආදරයෙන් වෙලී ඇති බවක් දැනේ. මම සහ ඔබ එකි’නෙකා නෙතින් නෙත බලා සිටිමු.”

(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
[email protected]
(උපුටා ගැනීම- vinivida.lk)




